” කුමාරි ” (පෙම් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
වී ඕ ජී මහත්තයගෙ කාමරේ ලග පුදුම පෝලිමක්. කිව්ව වෙලාවත් පරක්කු උනත් තාම ආවෙ නෑනෙ. මගෙ අංකෙත් හතලිස් හය. කීය වෙනකන් ඉන්න වෙයිද මන්ද. හොද වෙලාවට ගයාන් එක්ක නාවෙ. ආවනම් ඉතින් එයා කියවන එක අහගෙන ඉන්නත් එපැයි. එතකොට ඉසරද දෙකයි. බලං ඉන්න එකයි, කියවිල්ල අහන් ඉන්න එකයි. සමහර අම්මල එක්ක නම් දෙතුන් දෙනෙක් ඇවිත් හිටියා. මහත්තයා , අම්මා එතකොට නැන්දම්මා. අංකෙ කිව්වම ඔක්කොම කාමරේට යනවා. කුලුදුලේ හම්බවෙන්න ඉන්න දරුව බලන්න ආච්චිලත් ආස නැතුවයෑ.
දොස්තර මහත්තයා ආවම වටේ විසිරිලා හිටපු ඔක්කොම සෙනග කාමරේ ලගට ආවා. මගෙ අංකෙ කතා කරන්න තව පැයක් වත් යන හින්දා මම ගෙනාපු පොතටම එබීගෙන හිටියා. මට පොතක් කියවන්න තැනක් නොතැනක් නෑ. ෆෝන් එකෙත් ඔය හැටි බලන්න දේවල් නෑනෙ. කීපාරක් බැලුවත් එපා වෙන්නෙ නැති පොත් ගොඩක්ම මගෙ ලග තියෙනවා. ඒවා තමයි පෝලිම් වල කාලෙ ගත කරනකොට මාත් එක්ක ඉන්න මගෙ යාලුවා. මගෙ දරුවත් මං වගේම පොත් කියවාවි කියල හිතුනම අමුතු හැගීමකින් හිත පිරිල ගියා.
අංක දහයක් විතර කිව්වම කොහෙදෝ ඉදන් දුවගෙන ආව අම්මා කෙනෙක් නර්ස් නෝනාට තුන්ඩුව දුන්නා. හුරු පුරුදු රූපයක් නිසා මම ආයිත් පාරක් ඇගෙ දිහා බැලුවා.
” කුමාරි “
ඒ කුමාරිම තමයි. ක්රේල් කොණ්ඩෙ පිරිච්ච ඔලු ගෙඩිය කොහේ දැක්කත් අදුනගන්න පුලුවන්. කුමාරි කියන්නෙ අපේ ගෙදර අත් උදව්වට හිටිය ගෑණු ලමයා. අපේ ගෙදර ආවෙ මං පුංචි සන්දියෙ. එතකොට මට අවුරුදු දොලහක් විතර ඇති. කුමාරි අපේ පොඩි අයියට වඩා අවුරුදු දෙකක් විතර බාල ඇති. ඒ කියන්නෙ මට වඩා අවුරුදු හතරක් වැඩිමල්.
කුමාරිගෙ අම්මා නැති උනාම අපේ අම්මා කුමාරිව අපේ ගෙදර එක්කන් ආවා. ඉලන්දාරි දෙන්නෙක් ඉන්න ගෙදරක ලමිස්සියෙක් තියන් ඉන්න එක ගින්දරයි පුලුනුයි එක ලග තියනව වගේ බව අම්මා නොදන්නව නෙමෙයි. ඒත් කුමාරිට යන්න වෙන තැනක් තිබුනෙ නෑ. එයා අම්මට දුරින් නෑදෑයො උනා. එයාගෙ අම්මටත් සහෝදර සහෝදරියො නොහිටපු නිසා අම්මා එයාව අපේ ගෙදර එක්කන් ආවා.
කුමාරි අත් උදව් දිදී ගෙදරක ඉන්න ඕන කෙනෙක් නෙමෙයි. එයාගෙ අම්මාගෙන් හම්බවෙච්ච ලොකු දේපලක් එයාට තිබ්බා. එහෙම නොවෙන්න අපෙ අම්මා කීයටවත් එයාව අපේ ගෙදර එක්කන් එන්නෙ නෑ අම්මගෙ යටි හිතේ තිබුනේ ලොකු අයියාට කොහොම හරි කුමාරිව ජෝඩු කරල දෙන අදහස. ඒක ප්රකාශ නොකරට පුංචි උනත් මගෙ හිතටත් දැනුනා.
තාත්තා නම් කිව්වෙ ඕවා ඔලුවට දාල ලමයින්ගෙ හිත්වල නැති ප්රශ්න ඇති කරන්න එපා කියලා. ඊට එහා දෙයක් තාත්තා කියන්න නොගියෙ අපෙ අම්මා, තාත්තා කියන දෙයක් අහන ගෑනියෙක් නොවුන නිසා.
අපේ ලොකු අයියා මහ මුඩුමයෙක් වගේ මිනිහා. මූනෙ කිසි හිනාවක් නෑ. තෙත් බවක් පිරුණු පපුවක් නෑ. නිතරම හිටියෙ පොත් එක්කම තමයි. ඒ ගැන මතක් වෙන කොට මගෙ දරුවා ඕනවට වඩා පොත් කියවාවි කියල හිතල බයත් හිතෙනවා. ඒකට අපේ පොඩි අයියා. එයා තාත්තාගෙ කපාපු පලුව. බොහොම කරුණාවන්තයි. පොඩි අයියාව මතක් වෙනකොටත් මගෙ පපුව හිර වෙනවා. කොහේ ඉන්නවද මොනව කරනවද කවුරුත් දන්නෙ නෑ.
පොඩි අයියා ගෙදරින් ගියේ තරහ වෙලා. නොහිතපු වෙලාවක තාත්තා නැති වුනාම අපේ ජීවිත ඔක්කොම උඩු යටිකුරු උනා. එතකොට ලොකු අයියාත් මණ්ඩලේ රස්සාව කරනවා. පොඩි අයියා කැම්පස් එකේ. තාත්තාගෙන් ගෙදර ඇතිවෙච්ච හිඩස පුරවන්න ලොකු අයියා ඉදිරිපත් උනා. මුලු ගෙදරම අය වැඩ කරන්න ඕන උනේ එයා කියන විදියට. අම්මටත් එයාට වඩා කෙනෙක් හිටියෙ නෑ.
තාත්තා නැතිවෙලා රස්නෙ යන්නත් කලින් ලොකු අයියා නර්මදාව කසාද බැන්දා. කුමාරි අපේ ගෙදර විකාර වැඩ බල බල ඉන්න බැරි හින්දා එයාගෙ දහඅට වෙනි උපන්දිනේට පස්සෙන්දා ගෙදරින් පැනල ගිහින් තිබ්බ බව මට කියන්න බැරි උනානෙ. ඒ ගැන අම්මා හරියට දුක් වුනා. අතට ආව වාසනාව රැකගන්න බැරි උනා කියලා. අපේ තාත්තා නම් කිව්වෙ ඒක එහෙම වෙච්ච එක හොදයි නැත්නම් ඒ කෙල්ල පව් කියලා.
ලොකු අයියා නර්මදාව බැන්දම දේපල බෙදන්න ඕන උනා. පොඩි අයියාට මහ ගේයි ඉඩමයි ලියල ලොකු අයියා අනිත් ඔක්කොම දේපල අම්මට කියල ලියව ගත්තා. මගෙත් බැංකු පොතේ සල්ලි තියෙන නිසා මොනම දෙයක්වත් දුන්නෙ නෑ. පොඩි අයියා මේ ගැන හිටියෙ හරිම හිතේ අමාරුවෙන්. අම්මට මේ ගැන කිව්වත් තේරුමක් උනේ නෑ. අන්තිමේදි පොඩි අයියා රණ්ඩු වෙලා ගෙදරින් යන්න ගියා. ඒ තමයි මම එයාව දැක්ක අන්තිම දවස. පස්සෙ එයා ගේයි ඉඩමයි තෑගි ඔප්පුවකින් මගේ නමට පවරල ගෙදරට තැපෑලෙම ඔප්පුව එවල තිබුනා. තමන්ට හම්බවෙච්ච එකම දේපලත් එයා මගෙ නමට ලියල තිබුනා. ඒ දවස් වලම එයා රට ගියා කියලා කැම්පස් එකේ යාලුවෙක් හම්බ වුනාම දවසක් කිව්වා.
බැදපු අලුත ගයානුයි මායි අයියගෙ යාලුවො දෙතුන් දෙනෙක්ම හොයන්න ගියත් කවුරුවත් අයියා ගැන අලුත් විස්තරයක් දැන ගෙන හිටියෙ නෑ. පොඩි අයියාව මතක්වුන කොයි වෙලාවෙත් මගෙ ඇහැට කදුලක් එනවා. අයියා කොහේ ඉන්නවද මොනව කරනවද අපි කවුරුවත් දන්නෙ නෑ.
කුමාරි එලියට ආවමත් මට කතා කරන්න හිත දුන්නෙ නෑ. අපේ ගෙදර අය එයාට කරපු දේවල් මතක් උනාම ඇත්තටම හිතට දැනුනෙ ලැජ්ජාවක්. පෙනුමෙන් කුමාරිට සරුයි වගේ. මම මූන පොතේ ඔබා ගත්තා. අවුරුදු කීයකින්ද දැක්කෙ. අදුනන එකක් නෑ.
දොස්තර මහත්තයාට වැඩි වයසකුත් නෑ. ඒත් හරිම කරුණාවන්ත මහත්තයා.
” තාම කියන්න බෑ දුවද පුතාද කියලා. ඊලග පාර කියන්න පුලුවන්” දොස්තර මහත්තයා හිනා වෙලා කිව්වා.
” මටනම් කවුරු උනත් කමක් නෑ ඩොක්ටර් . නිරෝගී දරුවෙක් නම් එච්චරයි. “
” මිසිස් සමරවික්රම මේ කිට්ටුවද? කාඩ් එකේ තියෙන ක්ලිනික් එකනම් තියෙන්නෙ ටිකක් දුරකනෙ”
” ඔව් මම ටිකක් දුර. ඔය ගමේ ක්ලින්ක් එක. ඩොක්ටර්ට පෙන්නන්න ඕන නිසා ගාල්ලටම ආවා පොඩ්ඩක් දුර උනත්. “
” මගෙ යාලුවෙකුත් ඉන්නවා මේ හරියෙ. ඒත් සමරවික්රම කෙනෙක් . දැන් ටිකකට කලින් වයිෆ් ඇවිල්ලා ගියා එයාලගෙත්. එහෙනම් හොදට කාල බීලා බෙහෙත් ටික වෙලාවට බොන්න. සන්තෝසෙන් ඉන්න “
” ඒ කිට්ටුව ඔක්කොම ඉන්නෙ සමරවික්රමල තමයි ඩොක්ටර්. මම ගිහින් එන්නම් ඩොක්ටර් . තැන්ක්යූ ” මම හිනා වෙලා කිව්වා.
හරිම හොද දොස්තර මහත්තයා. මම හිමීට පඩි පෙල බැස්සෙ වාහනේ කොහේ පාක් කරන්න ඇත්ද හිතාගෙන. සිරිපාල මාමාට පත්තරයක් අහු උනොත් නම් සිහියක් නෑනෙ. පොඩි අයියට පින් සිද්ද වෙන්න ගෙවල් දොරවල් හදන්න ඕන උනේ නැති නිසා ඒ සල්ලි වලින් වාහනයක් ගත්තා. තාමත් මට ඉදහිට අයියාගෙ කට හඩ ඇහෙනවා වගේ.
” චුට්ටි”
” චුට්ටි” ඔය ආයිත් ඇහෙනවා.
කවුදෝ පිටිපස්සෙන් ඇවිල්ලා මගෙ උර හිසට අත තිබ්බා. ගයාන් ඇවිල්ලා වත්ද. මම හැරිලා බැලුවෙ බණින්න. මුලින්ම එන්න තිබ්බනෙ. දැකපු දෙයින් මාව ගල් ගැහිලා ගියා.
” අක්කා කිව්වා ඔයාත් ඩොක්ටර් ලග හිටියා කියලා. ඔයා එයාව දැක්කෙ නැති උනාට එයා ඔයාව දැකල. අපි ඉතින් ඔයා එනකං හිටියෙ. “
මම පැනපු ගමන් පොඩි අයියව හයියෙන් බදා ගත්තා. මට අඩන්න ඕන උනා මහ හයියෙන්. කුමාරි අයියාගෙ අත අතෑරල මගෙ පිටට තට්ටුවක් දැම්මා.
පින්තූරය අන්තර්ජාලයෙන් – මුල් හිමිකරුට ස්තූතියි
උපුටා ගැනීම: Buddhika Abeysundara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!