ඒ මගේ අයියාගේ බිරිදයි.බිරිද කීවාට පළමු බිරිද කීවොත් නිවැරදිය.වසර දහයක පමණ ප්රේම සම්බන්ධතාවයකින් පසු ලොකු නෑනා අයියා විවාහ කර ගෙදරට කැන්දන් ආවාය.මුලදී මගේ සිතේ ඇය ගැන පැහැදීමක් නොවීය.අපි අතර ගැටුම් ඇති නොවූයේ ලොකු නෑනා රැකියාවක් කිරීම හේතුවෙන් නිතර ගෙදර නොසිටීම නිසා විය හැක.
අපේ පවුලේ ලොකු අයියාට අමතරව තවත් දරුවන් පස් දෙනෙකි.සියල්ලෝම විවාහ වී පවුලෙන් දුරස්ව ගොස් ඇත.මා ද විවාහ වී කොළඹ පදිංචියට් පැමිණීමෙන් පසු අම්මාත් තාත්තාත් ලොකු නෑනාත් ගෙදර තනි විය.දරුවන් නොමැතිව දිගු කාලයක් පීඩා විදි ඇය අවසානයේ තිදරු මවක් වූවාය.
ලොකු අයියාද ගෙදර පැමිණියේ නිවාඩුවට පමණි.අපි සියල්ලන්ම එකතු වූවා නම් එකතුවූයේ අලුත් අවුරුද්දට හෝ බණක් දානයක් තිබුණහොත් පමණි.
ලොකු නෑනා අමුතුම චරිතයක් විය.අලුත් අවුරුද්දට පවුලේ සියලු දෙනාම එකතු වී බූරු ගැසීම ,කැට ගැසීම සිදු කළ ද ලොකු නෑනා ඒවාට සහභාගී නොවීය.එහෙත් අසළ සිට බලා සිටියාය.
“මම ඔයාට අතක් දාන්නද? “
සමහර වෙලාවට කැට ගසන විට ලොකු අයියා ඇයටත් එක්ක සල්ලි දැමීමට අසයි.
” එපා අමරේ.ඔයාල සෙල්ලම් කරන්න.”
ඇය සිනහ සී කියයි.ඇයට දරුවන් නොමැති කාලයේදී පවුලේ හැම දේටම සිටියේ ඇයය.අම්මාගේ හා තාත්තාගේ ක්ලීනික් දවස් එකක් වත් ඇය මග නොහැර එක්ක ගියාය.වෙලාවට බෙහෙත් ටික දුන්නාය.
එහෙත් අයියා රාජකාරී කරන ප්රදේශයෙන් කාන්තාවක් හා හාද වීම නිසා ලොකු නෑනාගේ ඉරණම වෙනස් විය.මුහුකුරා පිපි ප්රේමය සම්පූර්ණයෙන්ම කණපිට පෙරලුණි.ලොකු අයියා ඇගෙන් බල කර දික්කසාදය ඉල්ලුවාය.
දරුවන් රැගෙන මහ ගෙදර ගිය ලොකු නෑනා දික්කදසාදයට අත්සන් කර තිබුණි.පුදුමය නම් වන්දියක් හෝ නඩත්තුවක් ඉල්ලා නොතිබීමය.අම්මා හා තාත්තාත් සහෝදරයෝ අපි සියලු දෙනාත් ලොකු අයියාට කෙතෙක් කීවද කිසිවක් වෙනස් කිරීමට අපට නොහැකි විය.
ලොකු අයියා දෙවන බිරියගේ ගෙදර නතර වූවාය.අපේ බැදීම් තවත් වැඩි වූයේ දික් කසාදයෙන් පසුව බව මම හගිමි.සෑම සති අන්තයකම ලොකු නෑනා මහ ගෙදර ගොස් අම්මාට අඩුවැඩිය සලසා දී නහවා කවා පොවා එන බව අපි කවුරුත් දනිමු.ලොකු නෑනා අම්මාගේ හා තාත්තාගේ දුව වෙද්දී අපි ලේලිලා වුණෙමු.
ලොකු නෑනා අයියාගේ ළමා කාලය අම්මාගේ කටින් ඇසීමට ප්රිය කළාය.
පොඩි කාලේ අයියා රෑ හොරෙන් සීනි කෑ හැටි, කිරි බෝතල් බිදින හැටි,ලොකු අයියාගේ බත් ටික අක්කා කෑවා කියා අක්කාව පෝර කවරයකට දමා අයියා විසින් තඩි බෑ හැටි,ටීක් බෝල ගැනීමට රුපියලක් නොදුන්නායැයි කියා කේන්ති ගිය අයියා මහ ගෙදර වහලයට ගල් ගැසූ හැටි,පොඩි අම්මා වත්ත පහල ගෙල වැල දාගෙන සිටින විට ලොකු අයියා අඹ ගසේ නැග කඹය කපා පොඩි අම්මාව බේරා ගත් සැටි ඒ රස කතා අතර විය.
ලොකු නෑනා අම්මාට ජංගම දුරකතනයක් ද අරන් දී තිබුණි.නිතර කතා කර දුක සැප විමසන බව අපි දනිමු.
.
“පොඩී අම්මාට ටිකක් අසනීපයි.පුලුවන් නම් ඇවිත් බලලා යන්න.”
දිනක් ලොකු නෑනා මට ඇමතුමක් දී කීවාය.එහෙත් මට යෑමට වූයේ අම්මාගේ මළ ගමටය.එදා උදේ නවයට පමණ ලොකු නෑනාගේ උකුල උඩ අම්මාගේ හුස්ම ටික ගිය බවත් ලොකු නෑනා එහෙත් කදුළු බිදුවක් වත් නොසැලූ බවත් එහා ගෙදර සෙදෝ නැන්දා මට කීවාය.
අවමගුල් උත්සවයෙහි සියලු වැඩ රාජකාරි කෙරුණේ ලොකු නෑනාගේ අතිනි.යමෙක් උපදෙසක් ගත්තේද ලොකු නෑනාගෙනි.කුසින් වැදූ දූවරුන් දෙදෙනෙක්ම සිටියදී අම්මාට දූ වූයේ ලොකු නෑනාය.හාමුදුරුවන්ට බැනට ආරාධනා කරන්නට බුලත් හෙප්පුව පිළි ගැන්වූයේ ද , පිරිකර පූජා කළේ ද ලොකු නෑනාය .හාමුදුටුවෝ බණට කීවේද ලොකු නෑනාගේ ගුණය.ඒ සෑම අවස්ථාවකදීම ලොකු අයියාගේ මුහුණ ලැජ්ජාවෙන් රතු වනු මම දිටිමි.
දානය පූජා කිරීමෙන් අනතුරුව
” පොඩී මම ගිහින් එන්නම්.”
කියූ ලොකු නෑනා දරුවන්ට වත් බත් එකක් කැවුම් ගෙඩියක් ඔතා නොගෙනම ගෙදරින් පිටත් වූවාය.
මම කල්පනා කරමි.වැරදුණේ ලොකු නෑනාටද නැති නම් ලොකු අයියාටද යන්න නැවත නැවතත් කල්පනා කරමි.
………කේ.ස්වර්ණමාලි……..
උපුටා ගැනීම: පූජා කවින්සි විමලසේන