මගුල් කාර් එක (පෙම් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
” ඒයි අන්න සිරිපාල මාමගෙ මගුල් කාර් එක ඇවිල්ලා යමූ” කියල නල ලිද ගගහ හිටපු අයියා මාවත් දාල පාරට පැනල දුවන්න ගත්තා. හැබෑ නේන්නම්. ඒ මගුල් කාර් එක තමයි. මම හිටියෙ ඇග හෝද හෝද. මාත් එහෙම්මම පාරට පැනල කාර් එක නවත්තපු දිහාවට දිව්වා.
” කොහෙද බොල තෝ ජංගියකුත් ඇදන් වතුර බේරි බේරි දුවන්නෙ. ගැණු ලමයි ඔහොමද? දුවපන් ගෙදර” අපේ මාමා බයිසිකලේ නවත්තලා කවදාවත් නැතුව කෑ ගැහල මාව මගදිම ගෙදර පැන්නුවා. ආපහු ගෙදර දිව්ව මම වැලේ තිබ්බ ගවුම ඇදල අරගෙන ඇද ඇද පාර දිගේ දිව්වෙ මනමාලි දකින්න බැරි වෙයිද හිතාගෙන.
සිරිපාල මාමලගෙ ගේ තිබ්බෙ දොලෙන් එගොඩ. දොලෙන් යන්න ඒදණ්ඩක් දාල තිබ්බා. ඩොංගා ගහ යට නවත්තපු කලු පාට කාර් එකෙන් බැහැලා මනමාලි නැන්දා කෝල විදියට කට්ටිය එක්ක හිනා උනා. සුදු පාට සාරියක් ඇදලා, වේල් එකක් දාල,ඔලුවෙ මල් ගහලා , අතෙත් මල් එකක් තිබ්බා. ඒ නැන්දා හරි සිරියාව පාටයි. සිරිපාල මාමා නම් ඇදන් හිටියෙ නැසනොල් එක. මාමා නැන්දත් එක්ක ඒදණ්ඩෙන් එගොඩ වෙන්න කලින් එතන බීම සංග්රහයක් තිබ්බා.
ටීපෝ එකක් උඩ තියපු ඔරෙන්ජ් බාර්ලි බෝතලෙයි නෙක්ටො බෝතලෙයි කඩලයි තිබුනෙ. වීදුරු දෙකකුත් තිබ්බා. සිරිපාල මාමා ඔරෙන්ජ් බාර්ලි බෝතලෙන් පොඩ්ඩ පොඩ්ඩ වක්කරලා නැන්දටත් එකක් දුන්නා. අපරාදෙ මම නම් හිතුවෙ නෙක්ටො බෝවි කියලා. මම නම් මනමාලි උන දාට බොන්නෙ නෙක්ටො තමයි.
” ඕයි කන බොන දිහා බලන් ඉන්න එපා කියල අම්මා කියල තියෙනවා නේද? ” පොඩි අයියා මට වැලමිටෙන් ඇන්නාම මම අහක බලා ගත්තා. ඒත් ගිලෙන්න ආව කෙල ටික එහෙම්මම උගුරෙ. ගිලිනවා කවුරුහරි දැකල අම්මට කිව්වොත් ගුටි කන්න වෙන්නෙ. අනිත් අයගෙ කෑම බීමට කෙල ගිලින්න එපා කියලා අම්මා නිතරම කියනවා. මම බිම බලාගෙන කෙල ටික ගිලලා දැම්මා.
බීම බීල ඉවර වෙලා සිරිපාල මාමා නැන්දා එක්ක ඒදණ්ඩෙන් ගොඩ වෙලා ගෙදර ගියා. මනමාලි පණ්ඩිත නැතිව ඇති. පණ්ඩිතයින්ට ඒදණ්ඩෙ යන්න බෑ කියලා අපෙ ආච්චි නිතරම කියනවනෙ. ඒ නැන්දා නම් යසට ඒදණ්ඩෙන් එගොඩ උනා. නැන්දා එක්ක ආව එයාගෙ නෑදෑයො, සිරිපාල මාමාගෙ නෑදෑයො ඒ කිව්වෙ අපේ සොපි ලොකු අම්මල හෙම ජෝඩුව පස්සෙන්ම ඇදුනා. සොපි ලොකු අම්ම හිටියෙත් හැමෝම වගේ සාරිය ඇදලා ගස් මුට්ටියක් වගේ කොණ්ඩයක් දාගෙන. එයා නම් මනමාලිට වඩා ගෞරවෙන් ගියෙ. අපි දිහා බැලුවෙම නෑ. පිටි පස්සෙන් ආපු ලොරි භාගෙග බඩු වගේකුත් තිබ්බා. ජෝඩුව බලන්න ආව කොල්ලො ටික එකතු කර ගෙන සෝම මාමා බඩු ටික බාල සිරිපාල මාමලගෙ ගෙදරට යවන්නයි හැදුවෙ. පොඩි අයියා එතන නැවතුන හින්දා මම ගෙදර ආවා.
අපේ ගෙදර තියෙන්නෙ කන්ද උඩ. ඒ නිසා ලිං කැපුවට වතුර අහු උනේ නෑ. හැමදාම පාරෙ ඉදන් වතුර අදින්න බෑ කියල අම්මා කන්කෙදිරි ගානවා කියලා තාත්තා බාස් කෙනෙක් එක්කන් ඇවිල්ලා ගෙදරට යන පාරෙ මග හරියෙන් නල ලිදක් ගැහුවා. ඒ කාලෙ නල ලිං කියල ජාතියක් ආවම කාලෙ කියලයි තාත්තා කිව්වෙ. අපි නෑවෙනම් දොලේ ගිහින්. හවසට අම්මා දොලේ යන්න දුන්නෙ නැති හින්දා නල ලිදෙන් ඇග හේදුවා. මම ඇග හෝදනකොට පොඩි අයියා වතුර ගැහුවා. එයා ඇග හෝදන කොට මම වතුර ගැහුවා. මට නම් වතුර ගහන එක ඒ තරම් ලේසි උනේ නෑ. මම යකඩ බටේ උඩට ආවම ඒකෙ එල්ලුනා. එතකොට වතුර ගන්න පුලුවන්. ඒකත් හරියට සෙල්ලමක් වගේ.
” උඹල දෙන්නා සන්නිය හදා ගන්නද හදන්නෙ. මං ඔතනට එන්න කලින් ආවොත් හොදයි” කියල අම්මා කියන කම්ම අපි ඇග හේදුවා. දොලේ නානකොට නම් අම්මා හැමදාම කෝටුවකුත් අරන් දොලට ආව අපිව එක්කන් යන්න. කෝටුව ගෙනාවට ගැහුවෙ නම් නෑ. බය වද්දන්න කෝටුවක් කඩන් ආවා.
මම ගෙදර යනකොට මාමා බිත්ති කෑල්ල උඩ වාඩි වෙලා පත්තරේ දිහා බලන් හිටියා. ඒ උනාට හිටියෙ වෙන කල්පනාවක වගේ. මාමා හැමදාම චිත්ර කතා පත්තර අරන් එනවා. අපිටත් මැද තියෙන කාටුන් කෑල්ල බලන්න පොඩ්ඩක් ඉල්ල ගන්න පුලුවන්. මම නම් ආස අර ” නෙල්ලි කැලේ බුරියා” කතාවට. ගජමෑන් කතාවෙ ගජමෑන්ව ඇදල තිබ්බ විදියටත් මම හරි කැමතී. මම වැඩියෙන්ම ආස කලේ ගජමෑන්ගෙ කොන්ඩෙට. අපේ ගෙදර පත්තරයක් කියල ගෙනාවෙ ඕක විතරයි. ඉතින් අපේ ආච්චි බුදුගෙයි පෙට්ටිය අලවල තිබ්බෙත් චිත්ර කතා පත්තර වලින්. ඒකෙ බුදු පිලිම දෙක තුනක් තියන්න ඉඩ තිබ්බා. එලිය පෙට්ටියක් විතර ඇති. අපි වාඩි වෙලා ගාතා කියනකොට මම බලන් හිටියෙ පොල් තෙල් පානෙ එලිය වැටිල හොදටම පෙනුන ටෝගව.
ආච්චි වාඩි වෙලා ගොටුකොල සුද්ද කරන ගමන් කතාව.
” උඹට තමයි තාම ගෑණියෙක් ගේන්න බැරි උනේ. උඹේ පෙලේ හිටපු ඔක්කොම දැන් ගෑණු ගෙනල්ලනෙ . එහා ගොඩේ කරුණෙ, කන්ද උඩ චූටි , එතකොට මහතුන්ලහ සෝමෙ. උඹ තමයි තාම විත්තියක්වත් නැත්තෙ. හැබෑටම ඔය මල් බෙරියට හොද ගෑණු ලමයි එන්නෙ නැද්ද බං වැඩට. ඔය සිරිපාල කැන්දන් ඇවිත් තියෙන්නෙ ඉස්සර මල්බෙරියෙ වැඩ කරපු ලමයෙක් කියන්නෙ. උඹ දන්නවත් ඇති මයෙ හිතේ. ” ආච්චි ගොටුකොල වල මුල් කඩල හොද ඒවා කොලපතට දැම්මා. අපේ මාමා වැඩට ගියේ මල්බෙරියෙ. ඒකෙ ඔය පට පණුවො ඉන්න තැනක් කියලයි කියන්නෙ. පට පණුවො මල්බෙරි කොල කාල සේද රෙදි වියල දෙනවා ඇති. හරි පුදුමයි.
” මාමෙ මටත් දවසක පට පණුවෙක් ගෙනත් දෙන්නකො” මම චිත්ර කතා පත්තරේට එබෙන ගමන් මාමට කිව්වා.
” අන්න අරෙහෙට පලයන් මෙතන ඇගේ ඇලෙන්නෙ නැතුව. ” අදනම් මාමට මොකක් හරි වෙලා. මම ඇගිල්ලත් කටේ ගහන් ආච්චි ලගට ගිහින් වාඩි උනා.
” මොකද බං උඹට වෙලා තියෙන්නෙ. පොඩි එකීට සැර කරන්නෙ. අර වක් කරපු කහට එකත් ඇල්වෙලා ඇති. කී පාරක් ඒක බොන්න කිව්වද, මම බලාගෙන අද උඹ එක විදියක්” ආච්චි මාමට කිව්වා.
” අනේ අම්මෙ පොඩ්ඩක් කට වහන් ඉන්නකො. පුදුම කියවිල්ලක් තමයි” කියපු මාමා පත්තර ටිකත් වීසි කරල පාර පැත්තට යන්න ගියා. අද නම් මාමට යකෙක් වැහිල තමයි. වෙනද නම් ඔලුව බලන්න කියල සත පනහක් දෙනවා. අද නම් මගෙ පැත්තවත් බැලුවෙ නෑ.
” වරෙන් කෙල්ලෙ අපි මල් කඩන්න යන්න. උඹලගෙ අම්මත් කොහේට හරි ගියාම පැලවෙනවා. දැන් රෙදි මහන ගෙදරට ගිහින් දෙපාරක් එන්න වෙලා. සුද්දි එක්ක කදේ දාගෙන ඇති” පොඩි අයියා තාම ආවෙ නෑ. අම්මා නැති උනාම ගෙදරම පාලුයි. තාත්තා එන්නෙ නම් ටිකක් රෑ උනාම.
අපි මල් කඩාගෙන එනකොට අම්මා ඇවිල්ලා තේ බොනවා. අම්මා මේසෙ උඩ තිබ්බ කඩදාසි බෑග් එක ඇරල සුදු පාට සව් කඩදාසියෙ ඔතපු කේක් කෑල්ලක් මගෙ අතට දුන්නා. ඒවට අපි කිව්වෙ වෙඩින් කේක් කියලා. වෙඩින් කේක් කිව්වට මගුල් ගෙවල් වල දෙන ඒව නෙමෙයි අපි දාපු නම. මේවා පොල් වන්ඩුත් නෙමෙයි. ඊට වඩා කලු පාටයි. පොල් දාල නම් නෑ. සමහර ඒවයෙ උඩට සුදු පාටට ගනකම් සීනි ටිකක් දාලත් තිබ්බා. අම්මා නම් කිව්වෙ ඒ අයිසිං කියලා.
” අයියගෙ එක එහෙම කන්නෙ නෑ. එක්කෙනාට එකයි. ” අම්මා කිව්වෙ බෑග් එක අතට අරන් ලොකු ටින් එක උඩින් තියන ගමන්.
මම සව් කඩදාසියෙන් කේක් කෑල්ල අරන් පොඩ්ඩ පොඩ්ඩ කඩ කඩ කෑවා. ඉක්මනට ඉවර කර ගන්නත් ලෝභ නිසා භාගයක් තිබ්බා පොඩි අයියා ආවම කන්න. නැත්නම් එයා මට පෙන්න පෙන්න කන එක නම් පේන්නන්න බෑ. අද මගුල් ගෙදරත් කේක් දුන්නද දන්නෙ නෑ. මම කල්පනා කරා. අපේ ගෙදට්ටත් කියලා මං හිතන්නෙ මාමා යාවි. රෑට තියෙන ඒවට එක්කො යන්නෙ මාමා, නැත්නම් තාත්තා .
” කොයි අම්මෙ මල්ලි” අපෙ අම්මා හොරෙන් වගේ ආච්චිගෙන් ඇහුවා.
” අර වෙඩි කාපු ඌරා වගේ පල්ලෙහාට ගියෙ. මං හිතන්නෙ මගුල් ගෙදරට උදව් කරන්න යන්න ඇති. තව ටිකකින් ඒවි මගුල් ගෙදර යන්න ලෑස්ති වෙන්න.” ආච්චි කිව්වා.
” මගුල් ගෙදර යන්න නෑ තාම. ඔන්න ඔහේ අපි විජේසිරිව යවමු. මල්ලිට යන්න කියන්න ඕන නෑ” අපෙ අම්මා කිව්වා. විජේසිරි කියන්නෙ අපේ තාත්තා ඒ මොකෝ ඒ. මට හිතුනා. මාමා යන්නෙ නැති සිරිපාල මාමගෙ මගුල් ගෙදරක් ඒ දෙන්නා ගජ යාලුවොනෙ. මම හිතපු එක ආච්චි ඇහුවා.
” උඹට ආර පයිත්තියන්ද? ඌව යවන්නෙ නැතුව විජේසිරිව යවන්න. ඕන නම් විජේසිරිවත් යවමු. මල්ලි නොගිහින් ඉන්නවද බං සිරිපාලගෙ මගුල් ගෙදර. ඉස්සර ඉදන්ම උන් දෙන්නා හිටියෙ එකටම කොට. ” ආච්චි හාල්මැස්සො ඉහටි කඩන ගමන් කිව්වා. පූසිත් ඇවිල්ලා ආච්චි ලග දැවටෙන්න ගත්තෙ හාල්මැස්සො සුවදට වෙන්න ඕන. ඒ වෙලාවට අපි සේ සේ කිව්වට එන්නෙම නෑ.
” මම කියල තියෙනවා ලොකු අය කතා කරන තැන් වල පොඩි ලමයි කට දිහා බලන් ඉන්නෙ නෑ කියලා. යන්න කිව්වෙ අරෙහෙට. ” අම්මා මං දිහා බලලා කිව්වා. මම බලං හිටියෙ පූසි දිහා. කතා කරන ඒවා ඇහුනට මම මක් කරන්නද. මම පූසිට සේ සේ කියාගෙන එලියට ගියා. ඒ උනාට ඌ මං පස්සෙ ආවෙ නෑ.
කුස්සියෙන් එලියට ඇවිල්ලා කුස්සිය මෙහා පැත්තෙ පිල ගාව වාඩි වුනාම අම්මට මෙතනට මාව පේන්නෙ නෑ. ඒ උනාට මට කියන ඒවා හොදට ඇහුනා.
” අම්මා මල්ලිට මගුල් ගෙදර යන්න කියන්න ඕන නෑ. එයා යනවනම් ගිය දෙන්. ඔය සිරිපාල කැන්දන් ඇවිල්ලා තියෙන්නෙ මල්ලි ඉස්සර යාලු වෙලා හිටපු ගෑණු ලමය කියන්නෙ” අම්මා හිමීට කියනවා මට ඇහුනා.
” නොදකිං මේ බැලලි. පල යන්න පැත්තකට.” වෙනද කවදාවත් සතෙක්ට කරදර නොකරන ආච්චි පූසිට පයින් පාරක් ගැහුවා. පයින් පාර කාපු පූසි “ඤෑස් ” ගාගෙන මගෙ ලගට ආවා.
” හොද වැඩේ උඹට. ලොකු අයගෙ කතා අහන් ඉන්න යනවට. ඇද්ද ?” මම පූසිව මගෙ ඔඩොක්කුවට ගත්තා
උපුටා ගැනීම: Buddhika Abeysundara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!