මහ පැරකුම් රජු කරවූ වෛජයන්ත ප්‍රාසාදය (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ලාංකීය අතීත හෙළයන් සැබැවින්ම අපූරු හැකියාවන් දස්කම් සහිත අය. ලාංකීය නාමය ලෝකය පුරාම ප්‍රචලිත කරන්නට එදා ඔවුන් භාවිතා කළ අපූරු තාක්ෂණික ක්‍රමවේද හේතුවෙලා තියෙනවා. ඉතින් අද වෙද්දි අපිට දකින්නට ශේෂව ඇති නිර්මාණ සීමිත වුණත් ඒ විශිෂ්ඨ නිර්මාණයන්ගෙන්  අපිට අතීත හෙළයන්ගේ අපූරු ඥානය පිළිබඳව දැන කියා ගන්නට අවස්ථාව හිමිවෙනවා. ඉතින් ලක්රජ දරුවන් කරවූ විශිෂ්ඨ නිර්මාණයන් ලංකාවේ ඕනෑ තරම් තියෙනවා.ඒවා අතුරින් වෛජයන්ත ප්‍රාසාදය නැත්නම් සත්මහල් ප්‍රාසාදය කියන්නේ අපේකම මුළු ලෝකයටම ගෙන ගියපු තවත් අපූරු නිර්මාණයක්. ඉතින් මේ සුවිශේෂී නිර්මාණය පිළිබඳව දැන කියා ගන්නටයි මේ සූදානම.

ඉතින් මේ සත්මහල් ප්‍රාසාදය පිහිටා තියෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතුළු පුරයේ දකුණු දෙසට වන්නටයි. අනුරාධපුර රාජධානිය බිඳවැටීමෙන් පසුව ශ්‍රී ලංකාවේ අග නගරය වුනේ පොළොන්නරුව. ඉතින් මේ පොළොන්නරුව රාජධානි සමයේ ඉතා වැදගත් පාලකයෙක් ලෙසට සලකන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා. මොකද භේදබින්න වූ අභ්‍යන්තර දේශපාලනය ජයගෙන රට එක්සේසත් කළ පාලකයෙක් වුනේ මහ පැරකුම්බා රජු. ඉතින් රට සශ්‍රීක කරන්නට ඉදිකළ පරාක්‍රම සමුද්‍රය වගේම පැරකුම්බා රජුගේ තවත් විශිෂ්ඨ නිර්මාණයක් වෙන්නේ මේ වෛජයන්ත ප්‍රාසාදය.

මේ ගොඩනැගිල්ල ඉදි වූ බවට සැලකෙන්නේ ක්‍රි. ව. 1153- 1186 කාලයේ දී. මෙවැනි නිර්මාණයක් එදා ඉදිකරන ලද්දේ කුමණ අරමුණින් ද යන්න තවමත් නිශ්චිත නැතත් ඒ සම්බන්ධව විවිධ  මතවාද පලවී තියෙනවා. ඒ අතුරින් සත් මහල් ප්‍රාසාදය චෛත්‍යයක් විදියට කරන ලද ඉදිකිරීමක් බවට පවතින මතය වාඩත් ප්‍රචලිතයි. ඒ හැරුණම මෙය රජුගේ මාළිගය සඳහා කළ ඉදි කිරීමක් බවටත් පැවසෙනවා. මේ වෛජයන්ත ප්‍රාසාදයට බටහිරින් මහා පරාක්‍රමබාහු රජුගේ බිසෝවරු දෙදෙනෙක් වුණු ලීලාවතී සහ පද්මාවතී යන බිසෝවරුන්ට මාලිගා දෙකක් ද සාදා දී ඇති බවට සඳහන් වන නිසා මෙය පැරකුම් රජුගේ මාලිගය සඳහා කරවන ලද්දක් බවත් සිතන්නට පුළුවන්.තවත් ඇතැමුන් කියන විදියට මෙය ශක්‍රයාගේ වාසභූමිය අනුකරණය කරමින් ඉදිකළ එකක්.

කොහොමවුණත් එදා මෙය තට්ටු හතකින් සමන්විතව පැවති බව සඳහන් වුණත් අද වෙද්දි දැකගත හැකි වෙන්නේ මහල් තුනක ශේෂයන් පමණයි.  මහාවංශයේ මේ විජයෝත්පාය නැත්නම් සත් මහල් ප්‍රාසාදය ගැන මෙසේ සඳහන් කර තියෙනවා.

“ඉක්බිති සියළු රජවරුන්ට අග්‍ර වූ රජු කාමර දහසකින් යුක්ත වූ නොයෙක් සිය ගණනින් විසිතුරු කණුවලින් අලංකාර වූ  කෛලාශකූඨය බඳු කුළු ගෙවල් සියයකින් යුක්ත් වූ නොයෙක් ආකාරයේ ලියකමින්, මල්කමින්, බබලන, රනින් කළ මහ දොරවල් කුඩා දොරවල් ද කවුළු ද ….සඳ රැස් සේ සුදු වූ සිව් කොණෙන් එල්ලෙන මහත් වූ මුතුවලින් නිතර අතිශයින් ශෝභන වූ ස්වර්ණමය මහා ප්‍රදීප මාලාවෙන් අලංකාර වූ, මලින් හා දුමෙන් නිතර සුවඳවත් වූ, උතුම් සිරියහන් ගැබයෙන් යුක්ත වූ ….ඒ ඒ තැන එල්ලෙන රන්මුවා කිංකිණි දැලින් යුත් විශ්ව කර්මයාගේ අසමාන නිර්මාණයක් බඳු වූ වෛජයන්ත නම් වූ ප්‍රාසාදය දනවන උසස් ප්‍රාසාදයක් කරවීය.”

ඉතින් මේ සඳහනට අනුව එය නිසැකයෙන්ම පරාක්‍රමබාහු රජුගේ රජ මාලිගය විය හැකි බව සිතන්නට පුළුවන්. ඒ වගේම මේ විස්තරයේ සඳහන් සියල්ල අතිශයෝක්තියක් පමණක්ම නොවන වග අද දකින්නට ඇති නටබුන්වලින් පැහැදිලි වෙනවා. ඒ වගේම ශේෂව පවතින ගඩොල් බිත්ති කොටස්වල ඝනකම, ස්වරූපය වගේම බාල්ක සඳහා වූ සිදුරු මගින් මෙහි මහල් 7ක් පැවති බව සිතන්නට හැකියි.

මහාවංශය සඳහන් කරන ආකාරයට මේ වෛජයන්ත ප්‍රාසාදය රාජ පරිහරණය සඳහා වූ කාමර ,ගබඩා කුටි, සනීපාරක්ෂක කුටි සහ මෙහෙකරුවන් සඳහා වූ කාමරවලින් ද සමන්විතව පැවත තිබෙනවා.

ඒ වගේම මේ සත්මහල් ප්‍රාසාදය පඬුවස්නුවර ඇති මාලිගය හා සමානකම් දක්වන බවටත් මතයන් පවතිනවා.ඉතින් මේ මාලිගා දෙකම මහා පරාක්‍රමබාහු රජු ඉදිකළ බවටයි සඳහන් වෙන්නේ. ඒ නිසා ඒවායේ යම් යම් සමානකම් ඇතිවීම සාධාරණ බව පැහැදිලියි. ඒ වගේම නැගෙනහිර දිශාවෙන් ප්‍රධාන පිවිසුම සහිතව නිර්මාණය කර ඇති මේ මාළිගයත් අනුරාධපුර පඩුවස්නුවර ආදි වෙනත් රජ මාලිගා ඉදිකිරීම සඳහාත් උපයෝගි කරගෙන ඇත්තේ එකම බිම් සටහනක් බව පැවසෙනවා. මේ ඉදිකිරීම්වලට සමාන තවත් ගොඩනැගිල්ලක් ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතානයන් පෙන්වා දී ඇත්තේ තායිලන්තයේ පිහිටා තියෙන “ලමියුන්ගු වාත්කුකුන් ” විහාරයේ “ සන් මහ යොන් ගොඩනැගිල්ල.”

ඉතින් අද වෙද්දි එදා කළ මේ අපූරූ නිර්මාණයේ දකින්නට ඉතිරිව ඇති නටබුන් නරඹන්නට දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙනවා. කොහොමවුණත් මේ දකින්නට ඇති නටබුන් අතර දෙවනි මහලට පිවිසීම උදෙසා ඉදිකළ ශෛලමය පියගැට පෙලක් දකින්නට හැකියි. ඒ වගේම බිත්තිවල විශාලත්වය සහ මෙහි තිබුණු බවට සාධක ඇති දැව කණුවලට අනුව දෙවන මහලින් ඉහළට ද තවත් මහල් තිබුණු බව පැහැදිලි වෙනවා.ඒවා දැවයෙන් ඉදිකර තිබෙන්නට ඇති නිසා අද වෙද්දි දකින්නට නැතිවුණත් වංශකතා සඳහන් කරන පරිදි එහි තට්ටු සතක් තිබුණු බවට වන තොරතුරු ප්‍රලාපයක් ලෙස  අපිට බැහැර කරන්නට හැකියාවක් නැහැ.

ඒ විතරක් නොවෙයි මෙහි ප්‍රධාන ගොඩනැගිල්ල සහ ඉදිරිපස ඇති ශාලාව වටා දැනට කුඩා කුටි 50කට අධික ප්‍රමාණයක් දක්නට තියෙනවා. එහි ඉහළ මහල සහ රජ මාලිගය වටා පිහිටා ඇති වෙනත් ගොඩනැගිලි කුටි ද එක්ව ගත්විට මේ මාලිගයේ කාමර දහසක් පමණ තිබෙන්නට ඇති බව සිතන්නට හැකියි.

දැනට ශේෂගතව දකින්නට ඇති මාලිගයේ ඇතැම් බිත්ති කොටස්වල මුල් බදාම තට්ටු තවමත් ඉතිරිව ඇති ආකාරය දැකිය හැකියි. ඒ අතර වර්ණ ස්ථාපිත ස්ථාන ද දකින්නට ලැබෙන අතර හුණු බදාමයෙන් සකසන ලද බොරදම් වැනි කැටයම් ද බිත්තියේ ඇතැම් ස්ථානවල දකින්නට තියෙනවා.ඒවායින් ඇතැම් බිත්ති කොටස් අඩි 30 පමණ උසට විනාශ නොවී ඇති අතර ඒවායේ හාරන ලද පීලි ද දකින්නට හැකියි. ඒවා ඉහළ මහල්වල තට්ටුව  සඳහා යොදා ගන්නා ලද දැව කණු සඳහා බිත්තිවල ඇතුලතින් සහ පිටතින් සාදන ලද ඒවා විය හැකියි.ඒ වගේම බටහිර දෙසට වන්නට ඇති කොරවක්ගල සහිත පියගැටපෙල අද මුල් ස්වරූපයෙන් දකින්නට හැකියාව ලැබෙනවා. මේවා හැරුණු විට මේ මාලිගා ගොඩනැගිල්ලෙන් වැසිකිලියක අවශේෂ ද හමුව තියෙන බව සඳහන්.

ඒ වගේම සුඛෝපභෝගී ජීවිතයකට අවශ්‍ය මූලික ලක්ෂණ මේ මාලිගාවේ පැවති බව සිතන්නට හැකි නටබුන් ශේෂගතව පවතිනවා.මන්දිරය ඇතුළත කාමරයක ප්‍රතිමාවක් තබන ලදැයි සිතිය හැකි පීඨිකාවක් ද වන අතර මේ සුවිසල් මැදුරේ බිම ගල් අල්ලා සිමෙන්ති අතුරා තිබුණු බවද පෙනෙයි. නමුත් මේ වෛජයන්ත ප්‍රාසාදයට ජලය ලබා ගත්තේ කෙසේ ද යන්න නම් සාධක නැති නමුත් ප්‍රාසාදය වටා ඇති ළිං තුළින් හෝ සේවකයන් ලවා ගෙන්වා ගෙන හෝ ඒ ජල අවශ්‍යතාවයන් සපුරා ගත්බව සිතන්නට පුළුවන්.නමුත් මෙය නිශ්චිතව තවමත් තහවුරු කරගෙන නැති කාරණයක්.

කොහොමවුණත් අපේ වටිනා උරුමයක් අපිට සියැසින් දැක ගන්නට නොහැකි වුනත් ශේෂවී ඇති නටබුන්වලින් පවා අපේකම ලෝකයටම පෙන්වන්නට අවස්ථාවක් හිමිව තියෙනවා. ඉතින් සැබෑවටම ලෝකයේ අනෙක් රටවල තාක්ෂණය ප්‍රාථමික අවධියක තිබියදී අපේ මේ බිහිව ඇති මෙවැනි නිර්මාණ නිසාවෙන් අපි සැබෑවටම ලාංකිකයන් විදියට ආඩම්බර විය යුතුයි.

කොහොමවුණත් මහා පරාක්‍රමබාහු රජුගේ සත්මහල් ප්‍රාසාදය සැබැවින්ම උසස් ගෘහ නිර්මාණ ලක්ෂණ පිළිබිඹු කරන විශිෂ්ඨ නිර්මාණයක් බව ඉඳුරාම කියන්නට හැකියි.

 

උපුටා ගැනීම: The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!