මැණිකෙ (පෙම් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“නිදිද සුදු මැණිකෙ ?”
විසල් සයනයේ කෙළවරක ගුලිවී සිටිනා ,පුණ්ණා සිය සැමියා නෑසු කණ්ව සිටියා .තවත් මොහොතක් ගතවූ තැන ,ඔහු දොර වසා පිටත් ව යන හඬ ඇසුණු පසු ඈ බොරු නින්දෙන් දෑස් හැර තමා,තමන්ට වඩා දහ අට වසරකින් වැඩිමහළු මිනිසෙකු හා දීග ආ කතන්දරය පුරුද්දට කරනවා වගේ අදත් නැවත නැවත සිහිපත් කරනව.
“අප්පච්චිගෙ උඩහ පොල් වත්තත් සින්න වෙන්නයි යන්නෙ. “
මීට මාස ගණනාවකට උඩදී ලීලාවතී,කියන කොට පුණ්ණා තිගැස්සිල අම්ම දිහා බැලුව.
“මොනවා?ඒ ඉඩමත් සින්න වෙන්නද යන්නෙ අම්මා? මොනවද අපේ අප්පච්චි ට වෙලා තියෙන්නෙ හැබෑට?දැන් කීයක් නම් ඉඩං එක එකාට සින්න උනාද?”
ලිලාවතී ඊගාවට දියණිය දෙස හොරැහින් බලමින් බෙල්ල අතගාන ගමන් කතා කරන්නේ බොහොම යාප්පුවෙන් .
“ඔයා අර අප්පච්චි ගෙනාපු යෝජනාවට කැමති වෙනව නම් සන්නස්ගල මහත්තය ලෑස්තියි අප්පච්චි ට ඉඩං සේරම වුණත් බේරලා දෙන්ඩ!”
පුණ්ණා රැවුම පහව නොගිය මුහුණින් ලීලාවතී දිහා බැලුව.
“අප්පච්චි සූදු කෙළලා හැමදේම නැති කොරගත්තා..!දැන් මාව ඉඩ කඩං ටිකයි, පට්ටම බේරගන්නයි කියලා අප්පච්චි මනුස්සයෙක්ට දෙන්නද ලෑස්තිය..?”
පුණ්ණා ගේ හඬ බලාපොරොත්තු වුණාටත් වඩා උස් වුන හින්දා ලීලාවතීගේ හඬ තවත් බැගෑබර වෙනව.
“ඔය යෝජනාවට කැමති වෙයං මගෙදුවේ!අප්පච්චි යි මමයි ඔයාට නරකක් කොරන්නෑ නෙව! සන්නස්ගල කියන්නේ අපි හොඳාකාරවම දන්න කියන හොඳ වැදගත් මනුස්සයෙක් ..එකම දේ ඔය පොඩ්ඩක් ඔයාට වඩා වැඩිමාළු එකනේ රත්තරන් දුවේ!”
මවගේ ආයාචනය හමුවේ ,ඉහවහා යන කේන්ති ය මැඩගනිමින් පුණ්ණා කතා කළා.
“අම්මල හදන්නේ මට හොඳක් කොරන්න නොවෙයි,මාව විකුණලා අප්පච්චි ගෙ පට්ටම රැකගන්න.!!.අමතක කරන්න එපා අම්මා,,අප්පච්චි ඔය සේරම හරි හම්බ කලේ සූදුවෙන්මයි,නැති කරගන්න යන්නෙත් සූදුවෙන්මයි කියලා!”
ඒත් එක්කම අම්මල දුවලගේ මූණු දිහා එක එල්ලේ බලාගෙන ,දෑත් පිටිපස්සට බැඳගෙන ම ලයනල් ගෙට ගොඩ වෙනව. රතු වී ගිය දෑස් වලින් හෙලපු දැඩි බැල්මකින් පුණ්ණා දිහා බලලා මෙහෙම කිව්ව.
“ඔව් මං සූදු කෙළියා! එහෙම කොරලා හම්බ කොරපු දෙයින් තමයි මේ හැමදෙයක්ම මං හරි හම්බු කොරගත්තේ,,මට ඒක අමතක නෑ දුවේ..දැනගනින් මං උඹල දෙන්නව අඩු පාඩුවක් නොකර රැක්කෙත් ඒකෙන් වග! එහෙම රැකි කාලේ උඹ මට ඔහොම කථා කරලා නෑ .දැන් අපිටත් වඩා උඹට හොඳක් වෙන්න යන දෙයක් අපි කථා කලාම ,,උඹට බෑ!”
සන්සුන් ස්වරයෙන් ඔය ටික කියලා ගෙතුළට යන ගමන් ලයනල් මෙහෙමත් කියාගෙන යනව.
“හොඳයි ,අපි තුන්දෙනාම මේ සේරම විකුණලා,පාරට බහිමු..උඹල දෙන්නව මං බලාගන්නම්.මට බැරි නෑ…”
ඉන්පසු එලඹුන දවස් කීපයකදී අප්පච්චි ගේ නිතර කල්පනා කරන දසුනත්,අම්මාගේ තඩිස්සි වී ගිය දෑස් වලින් තවදුරටත් නැගූ ආයාචනාත්මක බැල්මත් හමුවේ තමන් තීරණයට එළැඹි අයුරු මෙවෙලේ කල්පනාවේ ගැලී ඉන්න පුණ්ණාට මතක් වෙනව.
“හොඳයි අම්ම අප්පච්චි ඔය තරම් කියනවා නම් මං කැමති යි සන්නස්ගල මහත්තයව බඳින්ඩ!”
ඉතින් පුණ්නා ,සන්නස්ගල නම් ඒ තමා මෙන් දෙගුණයක් වයස් මිනිසා හා දීගයට එලෙඹි දවසේ ලීලාවතී සිය කණට ලංවී කෙඳිරූ වදන් යලි සිහිපත් කරනව.
“බලන්නකෝ දුවේ,,මෙහෙව් මඟුලක් කෑවද මේ ගමේ තියා අහල ගං හතකවත්!බලන්නෙපායෑ සන්නස්ගල මහත්තෙයගෙ වාහනේ! සුද්දො ත් පදින්නෙ ඒ ජාතියේ එව්වලු ඕං.වෙන කාටද මේ ගමේ වාහනයක් තියෙන්නේ? උඹට රැජිණක් වගේ ඉන්නැහැකි දුවේ !!”
අනතුරුව ලීලාවතී දියණිය වෙනුවෙන්ද,තම සැමියාගේ තත්වය රැකුණු නිසාද යනුවෙන් වෙන් කර කිව නොහැකි කඳුලකුත් මඟුල වෙලේ සාරි හැට්ට අතෙන් පිසදා හැරිය.
සරුසාර ඒ මඟුලෙන් පස්සේ ‘සුද්දන් පදින වාහන’ යනුවෙන් ලීලාවතී හඳුන්වා දුන් සන්නස්ගල ගේ රියෙන්, ඔහුගේ සුවිසල් වලව්වේ පතිනිය වෙලා පුණ්ණා ආවේ ආන්න එහෙම.
“මං පුණ්ණාගේ අප්පච්චි ට උදව්වක් වසයෙංම නෙවෙය් මේ දේ ඇත්තටම කළේ…”
එදින රාත්රියේ මඟුල් සාරියෙන් මිදී ,දිය නා ඇඳට පැමිණි පුණ්ණා අසලට ආපු සන්නස්ගල ,ඈ දිහා බොහෝ වේලාවක් බලං ඉඳල ඔය ටික බොහොම සන්සුන්ව කියද්දී පුණ්ණා ඇඳේ හිඳගෙනම කෙස් වැටිය පීරමින් ඈතක් බලාගෙන හිටිය.
“මගෙ හිතේ ඇඳිච්චි රූපයක් තිබ්බා පුණ්ණා වගේමයි…මං හිතන්නේ මට ඒ රූපේ හොයාගන්න ටිකක් කල් ගියා…”
පුණ්ණා පනාව කණ්නාඩි මේසය උඩින් තියලා,නැවත ඇඳ වෙත එනවා.
“මට මේ කමරේ හොඳයි තනි පාවිච්චියට !.මට නිදිමතයි,ඕං ඔය දොරත් වහගෙන යන්ඩ!”
වයසින් බොහෝ වැඩිමල් වුවද තවමත් තරුණව තේජසින් බබලන කඩවසම් උස් රුවින් යුතු සන්නස්ගල ගේ මුහුණ වුවමනාවෙන්ම මඟහරිමින් පුණ්ණා බොරුවට මුව බොහෝ සේ පළල් කරලා ඈනුමක් ඇරලා එදා රෑ අනික් පසට හැරී ඇඳේ වැතිරුණේ ඔන්න ඔය ටික කියාගෙන.වචනයක් එවෙලේ නොකියූ ඔහුගේ මුවේඇඳුන සිහින් සිනාව ඈ නොදුටුවද ,දොරත් වසා ඔහු පිටවී යනහඬ එදත් ඇයට ඇහුණ.
තවමත් අවදියෙන් ඒදා ඒ මතකයේ ආවර්ජනයේ නියැළුණ පුණ්ණා ,ඒ සියල්ල නැවත වෙනත් දවසක මතක් කරන්නට තියල ආයෙ නින්දට වැටුණ…..
“කොරන්නම්කො මං මේ මිනිහට හොඳ වැඩක්.වයසට ගැළපෙන කසාදයක් එපැයි කොරගන්ඩ..ආව මෙතන හිතේ ඇඳිල තිබුඥා ,අරහෙ ඇඳිල තිබුඥා ගාගෙන..!
මඟුල දවසේ නැගූ සිතිවිල්ලෙන් යුතුව ඊලඟට එලඹුනු මාස ගණනාවටම පුණ්ණා හැකි හැම විටකම සිය සැමියාට රිදවන්න ගත්තෙ එහෙම.
**********
උවමනාවෙන්ම පරක්කු වෙලා අවදි වෙන පුණ්ණා මුලුතැන්ගෙයට එනව.මේ එද්දි කලුහාමි සන්නස්ගල ට උදේ තේ එහෙමත් පිළිගන්වලා ඉවරයි.පුණ්ණා උවමනාවෙන්ම සිය සැමියාගෙ කටයුතු මඟහරින බව දැන් වලව්වේ හැමෝම දන්න කාරණයක් වුණත්,කිසිදිනෙක තම හාම්පුතා ඇයට එකදු වදනක් සැරෙන් පවසනු ඒ කිසිවෙකු දැකල නම් නෑ.
“මෙන්න මැණිකෙ කිරි එක..”
වලව්වේ පරණම සේවිකාව වුණ කලුහාමි,සන්නස්ගල ගේ දෙමව්පියෝ ඉන්න කාලෙ ඉඳන් වලව්වේ වැඩලු.පුණ්ණා කිරි වීදුරුව අතට ගන්න ගමන් කෑම මේසයේ වාඩි වෙලා ජනේලයෙන් එලිය බලාගෙන ඉන්නවා.වත්තෙ වැඩ කරන ඥාණපාල මේ දිහාව බලල ස්වාමිදුවට බැගෑබර හිනාවක් පාලා ආයෙ වැඩ.
“මහත්තය, නීල් එක්ක තේ වත්තට ගියා මැණිකෙ”
පුණ්ණා අහන්නෙ නැති වුණත් හැමදාම මේ වෙලාවට කියන වචන ටික කලුහාමි කියනව.
නීල් ,සන්නස්ගලගේ වාහනේ ගෙනියන තරුණය.ඕන්නැං අවුරුදු තිහක් විතර වෙන නීල්ගේ කෙසඟ රුව දකින හැම වෙලේකම පුණ්ණාට තමන් විවාහයට පෙර පොඩි ඉඟි බිඟියක් තිබ්බ ගාමණීව මතක් වෙනව.වයසේ වැරද්දටදෝ හිත යන්න ඇති වුණත් හරි හමන් රස්සාවක් නැතුව උන්න ගාමණීගෙයි තමන්ගෙයි සම්බන්දෙට ගෙදරින් විලංගු ලෑව හැටි මතක් වෙනකොට තවමත් පුණ්ණාට සුසුමක් එහෙම ඉබේම හෙළෙනව.
හවස් වරුවේ සන්නස්ගල නීල් එක්ක වාහනෙන් එනව ..සන්නස්ගල වත්තෙ කොණක කඩපු පොල් ගොඩ ගාව වැඩට ඉන්න මනුස්සයෙක් එක්ක කතාව.
පුණ්ණා වලව් දොරකඩ බලන් ඉද්දී නීල් හිනාවීගෙන වාහනෙන් බැහැල උජාරුවෙන් එන්නෙ,හරියට තමංගේ වාහනේකින් බැහැල එනව වගෙ.නීල් සන්නස්ගල ගේ දුරිං ඥාති පුතෙක්ලු.
“මැණිකෙ, “
සන්නස්ගල දිහාටත් හොර ඇහ දාලා එහෙම රත්තරන් පාටින් දිලිහෙන පුණ්ණාගේ මූණ දිහා තණ්හාවේ බලාගෙන නීල් ඉන්නවා.
‘මැඥිකෙ තමයි!” ඈ හිතින් බනිමින් ඔහුගේ ඒ අනඟ බැල්ම ගණන් ගන්නට කිසිසේත්ම උවමනාවක් නොතිබ්බත්,සන්නස්ගල පොල් ගොඩෙන් මෑත් වී වලව්ව දිහාට එනව දැකල පුණ්ණා බොරුවට නීල් එක්ක හිනාවෙලා දොඩමළු වෙන්නේ සන්නස්ගල ට පේන්න ඕන නිසාමයි.
“නීල් ,ලඟකදි ගෙදර හෙම යන්නෑ?”
ඇය නීල් හා කතා කරන තැනින් එකදු වදනක් හෝ නොදොඩා සන්නස්ගල යන දෙස පුණ්ණා යටැසින් එවෙලෙට බලනව.
තමා කොපමණ වෙනස් කම් කලත් ඔහු කවදාකවත් තමාට වචනෙකින් වත් අඩු පාඩුවක් නොකරන බව දැන දැන වුණත්,ඔහුට කිසිම දයාවක් පෙනනන්න පුණ්ණාට ඕන වුනේ නෑ.
මුළු කාමරයම ඈ අත් පත් කරගෙන තමා වෙනත් කාමරයකට පල නොකියා පළවා හැරි ඇයට ඔහු එකදු වදනක් හෝ කවදාවත් කිව්වේත් නෑ.
දවස් ගණනකට පස්සේ එක දවසක හවස් වරුවක සන්නස්ගල කාමරයට එනකොට පුණ්ණා හිටියේ පූසි උකුලේ තියාගෙන.දෙපතුල් වැහෙන දිගු බෝරිච්චි ගව්මකින් සැරසුණ ,ලියවිල්ලකට පමණක් තවමත් සීමා වුණ තම සුන්දර ළාබාල බිරිය දෙස බලා හුන් සන්නස්ගල හඬ අවදි කළා.
“සුදු මැණිකෙ මින් පස්සේ නීල් එක්ක බජනෙට නොයනවනං හොඳා..”
නැගීගෙන එන කෝපයෙන් යුතුව පුණ්ණා බැළලියව බිමට දැම්ම..සන්නස්ගල ට රිදවීමට විනා වෙනයම් හේතුවකට තමා නීල් හා කතා නොකල බවත්,වත්තේ වැඩ කරන නාකි ගෑනුන්ට පවා ඔහු නොමනා විහිලු කර ඇති බවට තමා අසා තිබුණත් මෙවෙලේ සැමියා පවසන දෙයට ඈ කෝප ගත්තා.
“නෑ මැණිකෙ,මං කිව්වේ…”
“නෑ තමයි!!මට තේරුණ..සැකේ..සැකේ!!වෙන මොකද්ද මන් ගැන ඔහේගේ සැකේ…!! පේනවනේ..?මට හිතුණ දවසක මේ ටික වෙයි කියලා …!”
ගසා බසා යන යුවතිය දෙස බලාගෙන හුන් සන්නස්ගල නිහඬවම තමන්ගේ කාමරයට පිය නැඟුව.
********
“අද උයන්නෙ මම !”
පහුවදා දවල් පුණ්ණා කුස්සියට ඇවිත් කියනකොට කලුහාමි හැරිල බලනව.
“අනේ,මැණිකෙ දැලි නාන්ට ඕන්නෑ.මට පුලුවනි”
පුණ්ණා ,හනි හනික ගිහින් කලුහාමි අවුලවන්නට ගත්තු ලිපට පිඹින්න ගත්තා.
“කලුහාමි ගිහිං වැඩක් බලාගන්ඩ..මං මහත්තයට ඉව්වට පස්සේ කලු හාමි අනික් අයට උයන්න!”
ටිකක් වෙලා බලාගෙන ඉඳලා හිනාවකුත් පාලා කලුහාමි ගියාට පස්සේ පුණ්ණා කෑම හදන්න ගත්ත.මාලු හොද්දට ගොරකා කැල්ලක් වත් නොදැම්ම ඇය ,එහෙන් මෙහෙන් තුන පහ එක් කරලා,කිරිවත් නොදා ඕනෙ ගාණටත් වඩා වැඩියෙන් හැම හොද්දකටම ලුණු එක්කහු කලා.
කෑම මේසයෙදී සන්නස්ගල කෑම කද්දී ඇය ලඟටම වෙලා බලන් හිටියේ කුරිරු හිනාවකුත් එක්ක.
කවදාවත් නැතුව, මුල්ම වතාවට බිරිය කෑම හදපු සතුටෙන්දෝ ඔද වැටුණ සන්නස්ගල හරි අහංකාරෙන් මේසෙට ඉඳගෙන බත් කනව,පුණ්නා ඔහුගේ මූණ කට දිහා හරි උවමනාවෙන් බලන් ඉන්නව.කිසිදු වෙනසක් නොමැතිව ,මේසයට වාඩි වෙද්දී තිබ්බ හිනා මුහුණින්ම බත් කාලා, සන්නස්ගල තවත් වතාවක් බත් බෙදාගනිද්දී පුණ්ණාගේ කට බාගෙට ඇරුණ.
“හරිම පංකාදුයි මැණිකේ කෑම ටිකනං..බොහෝම ජාති!…මෙච්චර කාලෙකට කාපු රහම කෑම ටික. මයෙ අම්මපල්ල මැණිකෙ..!”
බඩ පිරෙන්න කාලා මේසෙන් නැගිටින ගමන් සන්නස්ගල ඔය ටික හරි සන්සුන්ව කියලා යද්දී පුණ්ණා ගේ බාගෙට ඇරුණ කට ඊගාවට සම්පූර්ණයෙන් ම ඇරුණ.
*********
වලව්වට එද්දී සැමියාට රිද්දන්න පුණ්ණා ට තිබ්බ උවමනාව දැන් ටිකක් අඩුවෙලා ගිහින් ගාණයි.එදා තමන්ගේ කෑම වලට ඔහු එසේ කිව්වේ,අවන්කවමදැයි නැත්තම් ඇත්තටම තමා පිලිබඳ තියෙන සෙනෙහේ නිසාදැයි ඈට තවමත් හිතාගන්න බෑ.
ඊලඟට එලඹුණ හැම දවසකම ඇය උදේම අවදි වුණා.කුස්සියට ගිහින් තනිවම කලු හාමි බලං ඉද්දීම ගිනි මොළවලා,කිරි උණු කරලා පදමට සීනි එක්කහු කරලා ඇය කලුහාමි අතට කිරි එක දෙනව.
කලු හාමි ඒකත් ඇරන් යනකොට හෙමීට මෙහෙමත් කියනව.
“මං හැදුවෙ කියල මහත්තයට කියාපල්ල..!”
එවෙලෙට ඔලුව වනන කලුහාමිටත් යන්තං හිනාවක් එහෙම එනව.ඊට පස්සෙ පුණ්ණා දවල් කෑම පිළියෙල කරන්නත් කලුහාමිට උදව් වෙන්නේ කලුහාමිගේ විරුද්ධත්වය ගණන් නොගෙනම.
“අනේ මට ලොකු මහත්තය සෝළි තියයි මැණිකෙ…මට පුලුවනි උයන්ඩ!”
“මටත් පුලුවං උයන්න…කලු හාමි ඉන්නකො !..කෝ ඔය පොල් ටික මං ගාන්නං .මෙහෙ දෙන්න.”
ඉදහිටෙක කලාතුරකින් සන්නස්ගල මුලුතැන්ගෙයි දොරින් බැල්මක් එහෙමත් හෙළාගෙන යනවා පුණ්ණා දකිනව. ඇය එවෙලෙට ඔහුට පේන්නම යමරෙට වැඩ.මුකුත්ම නැත්තං කොස්ස හරි අතට ගන්නව.
“අද මොනාද දවල්ට උයන්නේ…?”
එක් දහවලක පුණ්ණා ඇවිත් අහද්දී හබරල කොලේක ඔතල තිබ්බ දඩමස් වගයක් කලුහාමි ඇයට පානව.
“කොහෙන්ද මේ?”
“මහත්තය දීලා ගියේ විඩේකට කලින්”
ඒත් එක්කම ඇයට මතක් වුණා ඊයේ කලුහාමිට උදව් කර කර ඉන්න ගමං ‘දඩමස් ටිකක් කන්න ආසයි ‘තමන් කියපු හැටි.
එක දවසක් කලුහාමි එක්ක ඉඳලොළු හතු කන්න ආසයි කිව්වට පස්සෙත් මේ විදියටම අනික් දවසෙ කෑමට හතු තිබ්බ හැටි ඈට මතක් වුණා. තවත් දවසක කකුළුවෝ.සන්නස්ගල ගැන ඈට එවන් විටෙක තෙතමනයක් මෝදු නොවුණා ම නෙවෙය් ..ඒත් එවෙලෙට ඈ ඕනකමින්ම ඒ හැගුම මගහරිනව.
“කෝ මං ගොරකා, සුදුලූණු ටික අඹරන්නං” පුණ්ණා මස් හොද්දට අඩු වැඩිය අඹරන්න , මිරිස් ගල හෝදන්න ගත්තා.
“අනේ අපොයි..මැණිකෙට බෑ..මං අබරන්නං..මං අඹරන්නං!!”
“මෙන්න මෙහෙට දෙන්න.”කලුහාමි අතේ තිබ්බ ගොරකා ටික එක අතකින් උදුරන්න යනකොට ම පුණ්ණගේ අත ලිස්සුවෙත්,කලුහාමි ලතෝනි තිබ්බෙත් එකට.
“සීවරං දෙයියෝ ! කකුලට වැටුණ නේද මිරිස්ගල!!!”
මුලුතැන්ගෙයට ඒ හඬත් එක්ක දුවගෙන ආපු සන්නස්ගල ,බියෙන් ගැහෙන කලුහාමි පසෙකට කරලා පුණ්ණාව හරහට දැතට අරන් එලියට දිව්ව.ඒ වෙනකොටත් පුණ්ණාගේ දකුනු කකුලෙ පොඩි ඇගිලි තුනකින් ලේ ගලනව.ඇය දත් මිටි කාගෙන හඬා වැටෙනවා.
“මට රිදෙන්නෑ මට රිදෙන්නෑ !!මට රිදෙන්නැතෝ!!!”
“නීලුත් නෑ නේදෑ දෙය්යෝ….!”
කලුහාමිත් ඒ පස්සෙන් දුවගෙන එනවා.වාහනේත් එක්ක නීල් කොහෙදෝ ගිහින්.අඩුම ගානේ කරත්තයක් වත් මිදුලෙ නෑ මෙවෙලේ..වැඩ කරන අයත් වටේට රැස් වෙද්දී සන්නස්ගල ඇදන් ඉන්න සරමෙන්ම තීරුවක් ඉරලා පුණ්ණාගේ කකුල වටේ යන්තම් ඔතාගෙන ඈවත් උස්සගෙනම පාරට පිවිසෙනව.ඒ පස්සෙන් ටික දුරක් මෙලෝ සිහියක් නැතිව දුවපු කලු හාමිට ඈතින් නීල් එනව පෙණුන.
************
දවස් ගාණක් ගත වෙලා ගිහිල්ලා.පුණ්ණා දැන් ටික ටික ගේ පුරා ඇවිදිනව.
“කකුලෙ ඇටකැඩිලා නෑ…ඇගිලි 3ක් තුවාල වෙලා තැලිල විතරයි”
වෙදමහත්තය කිව්වට පස්සේ සන්නස්ගල සැනසුම් සුසුමක් හෙළපු හැටි එදා හොඳටෝම පුණ්ණා දැක්ක.
වෙදමහත්තය බෙහෙත් ගල්වලා වෙළපු ඒව ඔක්කොම ආයෙ අලුතෙන් බෙහෙත් බදින්න ඈව එක්කන් යන්න කළින් ඉවත් කරලා, පිරිසිදු කළේ සන්නස්ගල .
පොඩි දරුවෙක් වගේ ඇයව නෑව්වේ සන්නස්ගල .කලුහාමි එයට ඉදිරිපත් වුණත් සන්නස්ගල ඇයට ඊට ඉඩ දුන්නේ නෑ.
“මට තනියෙන් නාගන්න පුලුවං.අමාරුවක් නෑ” පුණ්ණා ලැජ්ජාබර සෝබර හඬින් එවෙලෙට කිව්වත් ඔහු ඉවත් වුණේ නෑ.
කකුලේ ඉදිමුම බැහැලා තුවාල වේලිලා යද්දී පුණ්ණා ආයෙත් සාමාන්ය විදියට දින චරියාවට එක් වුණා.
අම්මයි අප්පච්චි යිත් ඇවිත් ගියාට පස්සේ දැන් පුණ්ණාට හොඳටම සනීප වෙලා.
“ඉක්මණින් හොඳ වෙයි දුවේ…” හොඳටෝම විස්සෝප වුණ අම්මා කලුහාමිගෙන් සන්නස්ගල ගේ සත්කාර ඔක්කෝම දැනගෙන.
“තවම නැද්ද පුතේ මුකුත් වෙනසක්…”හැම අම්මා කෙනෙක් ම විවාහයෙන් පස්සේ අහන ඒ ප්රශ්නෙදී විතරක් පුණ්ණා නිරුත්තර වෙලා අප්පච්චි එක්ක උස් හඬින් හිනාවෙවී කතා කර කර ඉන්න සන්නස්ගල දිහා එදා හොරැහින් බැළුව.
පුණ්ණා ඇදෙන් නැගිටල ජනේලය ගාවට ගියා.සන්නස්ගල මොකක්දෝ උවමනාවකට ගිහින්.කලුහාමි දවල්ට උයනවා වෙන්න ඕන.
ඥාන පාල හා කතා කරමින් ඉන්න නීල් මේ දිහාව බලද්දි ඔහු නැඟූ හිනාවට යන්තම් පිලිතුරු හිනාවක් පාලා පුණ්ණා ජනේලෙන්ඈත් වෙලා කොණ්ඩෙ පීරන්න ගත්තා.
වෙදමහත්තයා ලගට එක්කරගෙන යද්දී කලුහාමි පුණ්ණා ගේ ගවුමේ ලේ ගෑවෙන නිසා ගවුම මදක් ඔසවාගෙන හිටි නිසා නිරාවරණය වුණ තම කකුල දිහා නීල් එදා නගාගෙන හිටි පෙරේත බැල්ම සැරින් සැරේ පුණ්ණාට කොන්ඩෙ පීරද්දිත් මතක් වෙනව.
“සුදු මැණිකෙ!” හීන් හඬින් කියාගෙන නීල් කාමරයට එනකොට පුණ්ණා තිගැස්සිල ඇඳෙන් නැගිට්ටුණ.
“නීල්!මොකද මේ…?”
.”කකුල හොඳද මැනිකෙ?”
ඉතා අඩු ස්වරයකින් නීල් නගාගෙන එන බැල්ම එච්චර හොඳ නැති වුණ නිසා පුණ්ණා ඇඳෙන් මෑත් වුණා.
“ඔව් හොඳයි..දැන් නීල්ට යන්ඩ පුලුවන් !”
“ඇයි මැණිකෙ මට බයද…? මැණිකෙ මං දිහා බලපු වග මං දන්නව..මහත්තය අද නෑ !බය නොවී ඉන්ඩ මැණිකෙ”
පස්සෙන් පස්සට යන ඈ වෙත ආපු නීල් ඇයගේ බාහුවට අතක් තබන්නට පෙර ඇය ඔහුව තල්ලු කර දැමුවා.
“උඹ….!” කිසිදිනෙක ඇයගේ ඒ ස්වරය නොඇසූ ඔහු මඳක් තිගැස්සුණාට සැක නැ.
“උඹට ! මෙතනින් පලයව් දැන්ම…උඹ උඹ…!”
තමාට අවනත වේ යැයි සිතාගෙන සිටි යුවතිය එසේ කොටි දෙනක මෙන් ගුගුරද්දී කරකියාගත දෙයක් නොමැතිව නීල් කාමරයෙන් පිට වුණා.දොරට අගුළු දාලා ඇඳට වැටුණ පුණ්ණාගේ ඇග වේගයෙන් ගැහෙන්නේ බයට නෙවෙයි,තරහට..
කෑම මේසයට ඉදගත්තු ස්වාමි දුවගේ වෙනසක් කලු හාමිට පෙණුන.
“ඇයි මැනිකෙ…?”
“මුකුත් නෑ…!”
බත් කටක් දෙකක් කලා ආයේ කාමරයට ආව පුණ්ණා බොහෝ වේලා -ඔව් බොහෝ වෙලාවක් කල්පනා කළා.ඊගාව මොහොතේ නැගී සිටි ඈ ,කලු හාමිගෙන් වහන් කල රතු වූ දෑසින් ගැලූ කදුලු පිහදාලා කොන්ඩය ගෙඩියක් බැදගත්ත.මෙට්ටය යට අතපත ගාල පුන්චි උල් පිහිය අතට ගත්ත..
පුණ්ණා තම කාමරයට එනකොට නීල් ඇය තිගැස්සුණාට වඩා තිගැස්සුණා.
“මැණිකෙ..?”
“මැණිකෙ…?මං කවද්ද මිනිහෝ තොගෙ මැණිකේ වුණේ..?”
උස් නොවූවත්, පහත් ස්වරයෙන් දැඩිව සියුමැලි යුවතියගේ මුවින් පිටවූ එවදන් වල රුදුරු බව හමුවේ,නීල් සලිත වුණා.
“තෝ හිතුවද වත්තෙ වැඩ කරන නාකි ගෑනු ටික වගේ මමත් උඹේ ඔය වහතු මූණත් තහඩුවට වහ වැටිල කියල..? ,මයෙ මිනිහා වගේද මට උඹ?, ඇටේ අහක් කොරපු වැල මදුලක් වගේ ඇඟේ හැටි විතරක්! දැනගං,මං ලොකු මහත්තයට කිව්වොත් උඹට වෙන දේ…!”
වේගයෙන් උස් පහත් වෙන ලමැඳ ආයාසයෙන් ඊලඟට නතර කරගත් පුණ්ණා උල් පිහියේ තලය ඇගිලි තුඩින් ඔහුට පේන්නම පිරිමැද්ද.
“මහත්තයට මං වුණ දේ කියන්නෑ..!හැබැයි….,”ඇය පිහි තුඩ ඔහුට දික් කළා..” උඹ මෙහෙං යන්න ඕනෙ..!අවුරුදු බාගෙක පඩිය උඹට මහත්තය දෙයි.උබට යන්න ඕනෙද කියලා මහත්තය ඇහුවම උඹ ඔව් කියපිය! තේරුණාද….?උඹ මේ වලව්වේ ඉන්න ඕනන්නේ නෑ!”
ඇයගේ සොඳුරු බවට අංශු මාත්රයකුදු නොගැලපුන ඒ වදන් හා ස්වරය හමුවේ නීල් නියරේ ඉන්දපු පඹයෙක් වගේ හිස වැණුව. “හො..හො ඳමයි!”
‘අවලං මිනිහ!” යන්නට හැරුණ ඇය නැවත ඔහු දෙස ගිනියම් දෑසින් රවා බැලුව.
“උඹ මට ආය මැණිකෙ කිව්වොත් ඔය දිව මේ පිහි තලෙං බරු ගහනව ! දැනගනින් මං සන්නස්ගල ගෙ ‘මැණිකෙ’ විතරයි!”
සන්නස්ගල එනකොට යන්තම අඳුර වැටිල.ඔහු තම කාමරයට එනකොට කවදාවත් නැතුව පුණ්ණා ඔහුගේ කාමරයේ සයනයේ හිඳ සිටිණු දැක සන්නස්ගල පුදුම වෙනව.
“මැ…නිකෙ…”
හැඬූ කලෙක මෙන් බොර පාට වී ගිය දෑසින් ඇය බලා හිදිද්දී ඔහු ඈ අසලින් හිටගත්තා.
“මොකක්ද මැනිකේ හිතේ කරදරෙං වගේ?”
පුණ්ණා මොහොතක් ඔහු දෙස බලා ඉන්නවා..දිය නා පිරිසිදු වී අලුත් ගවුමකින් සැරසී සිටින,තමා කිසිදිනෙක ඒ සියුමැලි බව නොවිඳි ඈ තවත් සොඳුරුව ඔහුට දිස් වුණා.
“මහත්තයා,මං එක්ක තරහද..?”ඇය බිම බලාගෙන ඊලගට ඇසූ ප්රශ්න යට මද සිනාවකින් යුක්තව සන්නස්ගල හිස වැනුව.
“කවදාවත් නෑ…ඇයි මං මගෙ මැණිකෙ එක්ක තරහා වෙන්නෙ…?”
පුණ්ණා ඔහු දිහා මහත් ගෞරවයකින් බලා ඉන්නව.තමා කුමක් කළත් ,කීවත් කෙදිනකවත් ඒ මුහුණේ තේජස තමන් අරබයා වෙනස් නොවුණ වග ඈට ඊලග නිමේශයේ සිහිපත් වුණා.
“සන්නස්ගල කියන්නේ නරක මනුස්සයෙක් නොවෙය්”අප්පච්චිගේ වදන් ඇයට දැනුත් ඇහෙනව.
“නීල්ව ගෙදර යවන්න ” පුණ්ණා පැවසූ දෙයට ඈ දෙස තවත් මොහොතක් බලා හිඳ එක වදනකුදු හෝ නොපවසා එකඟ වී සන්නස්ගල හිස වනනව.
“හොඳයි ,මං යවන්නම්.”
“ඇයි අහන්නේ නැද්ද.?..”
“නෑ මං දන්නව මැනිකෙ හැම වෙලේම හරි වග..!”
පුණ්ණා තම දැසින් ඔහු වෙනුවෙන් කලෙක පටන් මෝදු වන්නට ගත් සෙනෙහස ඔහේ ගලායන්න ඉඩ දෙනවාත් එක්කම දිළිසෙන නෙතින් යුතුව,තවත් දීර්ඝ වෙලාවක් ‘ඇය දකින්නට’ අවැසි වූ සන්නස්ගල ආපහු හැරිල අඩවල් කර තිබූ දොර සම්පූර්ණයෙන් වහලා පුණ්ණා වෙත හෙමින් පියමනින්න ගත්තා..
****(නිමි)
සේයාරුව මුහුනුපොතෙන් හිමිකරුට ස්තූතිය
උපුටා ගැනීම:  Manik Singhawansha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!