නැන්දම්මා (වැල් වටාරම්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“කොහොමද නැන්දම්මා හොඳද?”විවාහෙන් සති දෙකකට පස්සෙ ඔෆිස් එකට ගියහම හැමෝම වගේ ඇහුවේ එකම ප්රශ්නේ!
“වරදක් නෑ!”සුලෝචනා හැමෝටම දුන්නෙත් එකම උත්තරේ.
එක අතකට ඒක බොරුවකුත් නෙමේ.නැන්දම්මාගේ කියන්න තරං වරදක් තිබුනේ නෑ.
කවදාවත් සුලෝචනාට බැනලා නෑ.
දොසක් කියලා නෑ.
රවලා නෑ.
ඇනුං පදයක් කියලා නෑ.
ඒත් බොම් බ මොටයි කාරයගෙ සීනු සද්දෙට සුලෝචනා ගාල කඩාගත්ත හරකෙක් වගේ පාරට දුවද්දි නං පුදුම දෙයක් වුනා වගේ කට ඇරගෙන බලං ඉන්නවා.සුලෝචනා කට වටේ ගාගෙන බොම් බ මොටයි කනකොට ඊටත් වඩා පුදුමෙන් බලං ඉන්නවා.
“අම්මටත් මොටයි ඕනෙද?” කියලා ඇහුවොත් විතරක් ‘නෑහ්’ කියලා අහක බලා ගන්නවා.
‘නෑහ්’ කියන්නේ දොස් කියවිල්ලක් නෙවේ නොවැ!
එහෙම බැලුවම ඉතිං වැරැද්දක් කියලා මොනවා කියන්නද​?
නැන්දම්මා නැන්දම්මාගේ පාඩුවේ ඉන්නවා. සුලෝචනා සුලෝචනාගේ පාඩුවේ ඉන්නවා.
“නැන්දම්මා ඔයාට ආදරේද?”දවසක් තරිනි අහපු වෙලේ නං සුලෝචනාට කියන්න උත්තරයක් නැති වුනා.
නැන්දම්මා මට ආදරේද?සුලෝචනා කල්පනා කලා.
ඒ වෙනකොට රසිත්ගේ මහ ගෙදර පදිංචියට ඇවිල්ලා අවුරුදු පහකටත් වැඩියි! කවදාවත් නැන්දම්මා තමාට ‘දුවේ’ කියලා ආදරෙන් කතා කරලා නෑ නේද කියලා සුලෝචනාට කල්පනා වුනා.
‘දුවේ’ තියා අඩුම තරමේ සුලෝචනා කියලවත් කතා කරනවද​?
ළමයො, දරුවො, අර ළමයා, මේ ළමයා, අර දරුවා…….
සුලෝචනාගේ අම්මා නම් රසිත්ට කට පුරා පුතේ කියලා කතා කරනවා.
ඒ කියන්නේ නැන්දම්මා මට කැමති නැද්ද?
හැමදාම උදේ සුලෝචනා නැගිටිලා කුස්සියට යනකොට නැන්දම්මා රන්සිත් එක්ක දවසේ වැඩ පටන් අරගෙන. ඒත් සුලෝචනා උයන්න ලෑස්ති වුනොත් නැන්දම්මා ලූනු මිරිස් ටික කපලා දීලා එතනින් අයින් වෙනවා.බැරිවෙලා හරි සුලෝචනාට වෙලාවට නැගිට ගන්න බැරිවෙලා, පරක්කු වෙලා කුස්සියට යනදාට නැන්දම්මා බත් මාලුපිණිත් උයලා සුලෝචනාගේ බත්මුලත් බැඳලා ඉවරයි.
මොන අත්ගුනයක්ද මන් දා නැන්දම්මාගේ කෑම පුදුමාකාර රසයි.නැන්දම්මාගේ කිරිහොද්ද ගෑවුනත් ඇති බඩ පැලෙනකල් බත් කන්න පුලුවන්.බොම් බ මොටයි ඇරුනම සුලෝචනාට ලෝකෙන්ම රස අනිත් කෑම වර්ගය තමයි නැන්දම්මාගේ කිරිහොද්ද!
​”කිරිහොද්ද හරි රසයි අම්මේ!”සුලෝචනා දවසක් කීවා.
“හ්ම්!” උත්තරේ එච්චරයි.
අඩු ගානෙ හිනා වෙයං! මේ මනුස්සයට කවුරුහරි තමාව අගය කරනකොටවත් සතුටු හිතෙන්නේ නැද්ද?
ඒත් ඉතින් සුලෝචනා එහෙම හිතුවට එයින් පස්සෙ හැමදාම නැන්දම්මා බත්මුල බැන්ද දාට පුංචි සිරි බෑග් එකක දාලා ගැට ගහපු කිරි හොදි මුලක් බත්මුලේ කොණක තිබුණා.
හැමදාමත් සුලෝචනා හැන්දෑවට වැඩ ඇරිලා එනකොට වැලි තලප කෑල්ලක්, දොදොල් කෑල්ලක් එක්ක උනු කිරි තේක කවදාවත් වැරදුනේත් නෑ.
‘මේ මනුස්සයට කතා කරන්න අමාරුවක් තියනවද?’ වෙලාවකට සුලෝචනා හිතනවා. දවසකට වැඩිම වුනොත් වචන දහයක් කතා කරයි.
“ළමයො තේ බොන්න!”
“ළමයො කන්න එන්න!”
“අද පුතා එනවා කීවද?”
රසිත් එක්ක වුනත් නැන්දම්මා එහෙමට කතා කරනවා සුලෝචනා දැකලා නෑ.රසිත්ට ඒකෙ ගානකුත් නෑ. පුරුදු නිසා වෙන්න ඇති!හැබැයි රන්සිට නං කුස්සියේ ඉඳ තොරතෝංචියක් නැතුව උපදෙස් දෙන හැටි සුලෝචනාලාගේ කාමරේටත් ඇහෙනවා.
ඒ ඇරෙන්න ඕනෙ එකටයි එපා එකටයි ගෙට ගොඩ වෙන ගමේ ඈයො එක්කත් ඔය යස අගේට කතා කරන්නේ!
“ඔයාගෙ අම්මා මට කැමති නැද්ද?” දවසක් සුලෝචනා රසිත්ගෙන් ඇහුවේ බැරිම තැන.
“ඇයි ඔයාට අම්මා හිත රිදෙන්න මොනවා හරි කීවද?”රසිත් කලබල වුනා.
“නෑ නෑ එහෙමට දෙයක් නෑ!”සුලෝචනා කතාව වෙන පැත්තකට හැරෙව්වා. හිත රිදෙන්න මොනවා හරි කියන්නත් කතා කරන්න එපායැ.
සුලෝචනා අවුරුදු පහක් දරුවො නැතුව හිටියා. ඇත්තම කීවොත් අවුරුදු තුනක් දරුවො නොහැදුවෙ ඕනෙ කමින්. ඒ දස්වල රසිත්ට ඔෆිස් එකේ වැඩ වලට නිතරම පිටරට යන්න වුනා. දරුවො හැදිල්ල පමා කරන්න දෙන්නාම හිතා ගත්තා.හැබැයි ඒ ඉවරවෙලා දරුවො හදන්න හිතනකොට දරුවෙක් බඩට ආවෙ නෑ. ගමේ ඈයො, නෑදෑයෝ කට කැඩිච්ච කතා කීවා ඇති පදං.ඒත් නැන්දම්මා නෙමේ ඒ ගැන වචනයක් කීවේ.
“ඒක ඒ ළමයින්ට ඕනෙ වෙලාවට සිද්ද වෙයි.” සුලෝචනාගේ දරු ප්රශ්නය ගැන නැන්දම්මා එක්ක කතාවට ආව උදවියට නැන්දම්මා කීවෙ එච්චරයි.ඒ වෙලාවට නං සුලෝචනාට නැන්දම්මා ගැන මහා ගවුරවයක් වගේ හැඟීමක් ඇතිවුනා කීවොත් ඒක බොරුවක් නෙමේ.
ඒ වගේම නැන්දම්මා කවදාවත් සුලෝචනාගෙයි රසිත්ගෙයි වැඩ වලට නහය ඔබන්න ආවෙත් නෑ. දෙන්නා අතරේ ආරවුලක් ගියත් නැන්දම්මා නෑහුන ගානට තමාගෙ වැඩක!
බත් හට්ටිය ඉදෙන වෙලාව කිට්ටු වෙනකොට දෙන්නා ආපහු එකතු වෙලා කැකිරි පලනකොට නැන්දම්මාගේ ඇස්වල හීන් ආලෝකයක් සුලෝචනා දකිනවා.
ඒ සුලෝචනාට පෙනුන හැටිද? ලයිට් එළිය ඇහැට වැදිලා වෙන්න ඇති! සතුටින් ඉන්නකොට කොයි දේත් සිරියාවට පේනවා නොවැ.
සුලෝචනාගේ පවුලෙ කට්ටිය සුලෝචනා බලන්න එනකොට නැන්දම්මා කට්ටියට උපරිමෙන් සලකනවා. මස්ද​, මාලුද​, පොලොස්ද​, බැදුංද….මොනවද කෑම මේසෙට නැත්තේ?ඒත් ඉතිං කතාව නං වචන දෙකයි තුනයි!
“දුවේ! ඔයා සතුටින්ද මෙහේ ඉන්නේ?”අම්මා දවසක් ඇහුවා. නැන්දම්මාගේ විදිහ හින් දා අම්මාටත් එහෙම හිතෙන්න ඇති.
“අනේ ඔව් අම්මේ!”සුලෝචනා ගත් කටටම උත්තර දුන්නා.කවුරු නැතත් මෙහේ රසිත් ඉන්නවා නොවැ.
“ඔයා ඕනෙ නං මං එනකල් ඔයාලගේ මහ ගෙදරට ගිහිං
ඉන්න​!”සති තුනකට ඔස්ට්රේලියාවට පුහුණුවකට යනකොට රසිත් කීවා.
ඒත් සුලෝචනා ගියේ නෑ. ඔය සති තුන ඔහේ ගෙවිලා යන්නෙ නැතෑ. මොනවා වුනත් නැන්දම්මව කුස්සියේ උදව්වට ඉන්න රන්සියි, කාර් එක එලවන පියලුයි එක්ක තනියෙං දාල යන්න සුලෝචනාගේ හිත ඉඩ දුන්නේ නෑ.
“ඕක අර දරුවට දෙන්න​. ඕවට තරුණ ළමයි කැමතියි.” රසිත් ඔස්ට්රේලියාවෙන් ගෙනාව ලස්සන ස්කාෆ් එක නැන්දම්මට දෙනකොට නැන්දම්මා කියනවා සුලෝචනාට ඇහුනා.
ඇත්තම කීවොත් සුලෝචනා ඒ ස්කාෆ් එකට ආසාවෙන් හිටියේ. ඒත් රසිත් තමාට ඔස්ට්රේලියාවෙන් ඔච්චර තෑගි ගෙනල්ලා තියෙද්දී නැන්දම්මට ගෙනා ස්කාෆ් එකට ලෝබ වෙලා හරි යනවද? ඒ වුණාට පස්සෙන් පහු ඒ ස්කාෆ් එක සුලෝචනාටම ලැබුනා.
පුතා බඩට ආවට පස්සෙ සුලෝචනාගේ බොම් බ මොටයි ආසාව වෙනදටත් වඩා වැඩිවුනා. බොම් බ මොටයි කාරයා එනකක් බලා ඉඳලා බැරි තැන බොම් බ මොටයි හොයං එන්න කියලා පියල්ව ටවුමටත් යැව්වා. නැන්දම්මා නෙමෙයි වචනයක් වත් කීවේ. ඒත් කොළඹ තියෙන්නේ නැගෙනහිර පලාතෙ කියලා සුලෝචනා කිව්වැහේ සුලෝචනා දිහා ඇහිපිහ නොහෙලා බලා හිටියා.
පුතා ලැබෙන්න ඉන්න කාලෙ සුලෝචනා මොනතරං උදේ නැගිටලා කුස්සියට ගියත් නැන්දම්මා ඒ වෙනකොට රන්සිත් එක්ක එකතුවෙලා උයලත් ඉවරයි. සුලෝචනාගේ බත්මුල මේසෙ උඩ!
ආස කරන කෑමක් කන්න හිතන්න විතරයි තිබුනේ!නැන්දම්මාට දිව්ය ඥානය පහල වෙලාද මන් දා මෙන්න පහු වෙනිදට ඒ මාලුව බත්මුලේ! කර කොල බැදුම, පිපිඤ්ඤා කිරට, ඇඹරැල්ලා මාලුව, කූනිස්සො සම්බෝල….
සුලෝචනාට අන්නාසි කන්න හිතුනු වෙලාවෙ අම්මා නං ඒකට වැඩිය කැමති වුනේ නෑ.
“බඩ දරු අම්මලාට අන්නාසි හොඳ නෑ!” ආච්චි අම්මත් කියපි!
ඉල්ලන පරක්කුවට හැමදේම ගෙනත් දෙන රසිත් පවා ඒ වැඩේ කර ඇරියා.
“නෑ නෑ ඉදුණු අන්නාසි කෑවට කමක් නෑ. ඒ ළමයා ආස නං ගෙනත් දෙන්න.” ඒ වෙලාවෙ නැන්දම්මා නොකීවනං දොළ දුක් ගායට අන්නාසි කනවා බොරු!
පුතා ලැබිලා ගෙදර ගෙනාවත් හරි සුලෝචනාට මේ වෙනකල් ගෙදර වැඩකට අතක් හොල්ලන්න ඕනෙ වුනේ නෑ.
“ඔය ළමයා දරුවත් එක්ක ඉන්න​!”නැන්දම්මාගේ අණ!
ඇත්තම කීවොත් පුතත් බලාගෙන පුතාගෙ වැඩ ටික කරනකොට දවස ඉවරයි. ඒත් සුලෝචනාට මහන්සියි කියලා හිතුන හැම තිස්සෙම නැන්දම්මා ඇවිත් දරුවා අතට ගත්තා.
හැමදේම අතට පයට ලැබුණට එක දෙයක් නං සුලෝචනාට මග ඇරුනා.
බොම් බ මොටයි!
බොම් බ මොටයි කාරයාගේ සීනුව ඇහෙන කොයි වෙලෙත් පුතා සුලෝචනා අතේ!
සමහරදාට බොම් බ මොටයි කාරයාගේ සීනුව ඇහෙනකොට නැන්දම්මත් සුලෝචනා දිහා හැරිලා බලනවා.සුලෝචනාත් ඉතිං දැක්කෙ නැති ගානට ඉන්නවා.
‘පුතා නිදි වෙලාවක බොම් බ මොටයි කාරයා එනවා නං කොච්චර එකක්ද​?’වෙලාවකට සුලෝචනා හිතනවා.
” පොඩි නෝනා! ලොකු හාමිනේ නෑ!” රන්සි කාමරේට දුවගෙන ආවෙ ඇස් දෙකත් ලොකු කරගෙන​.
“වත්තෙ කොහෙ හරි ඇති!”
“අනේ නෑ නෝනා! මම හැමතැනම බැලුවා. ගේට්ටුවත් හායි ගාලා ඇරලා දාලා.”රන්සි හොඳටෝම බයවෙලා.
“කවදාවත් මෙහෙම වෙලා නෑ!” රසිත් පුංචි කාලෙ ඉඳන්ම ඒ ගෙදර හිටි රන්සිට වඩා නැන්දම්මා ගැන දන්න වෙන කෙනෙක් ඉන්නවද?ඒ වෙලාවෙ නං සුලෝචනාගෙ හිත ‘ඩක් ඩක්’ ගාලා ගැහෙන්න පටන් ගත්තා.
“අම්මට ටිකක් අමතක වෙන ගතිය වැඩී වගේ නේද?”දවසක් රසිත් කීවා නේද කියලා සුලෝචනාට මතක් වුනා.
“ඩිමෙන්ෂියා හැදීගෙනවත් එනවද​? මට බයේ බෑ!”
“පිස්සුද අනේ මොන ඩිමෙන්ෂියාද? වයසට යනකොට කාගෙත් මතක ශක්තිය ටිකක් අඩු වෙනවා. මොකද අපිට කියලා අමතක වෙන්නේ නැද්ද?” සුලෝචනා රසිත්ගේ හිත හැදුවා.
“ඒකනං ඇත්ත! ඒත් කෝකටත් ඔයා ටිකක් ඇහැ ගහගෙන ඉන්න​!”රසිත් කීවා.
නැන්දම්මා ගේ අමතක වෙලා කොහේ හරි ගිහිං වත්ද​? සුලෝචනා කිරි බිබී හිටපු පුතා අඬද්දිම රන්සි අතට දීලා එළියට පැන්නා.
ඈතින් බොම් බ මොටයි කාරයාගේ සීනු සද්දෙ ඇහුනා. ජීවිතේ පළවෙනි වතාවට බොම් බ මොටයි කන ආසාව නැතිවෙලා!
“අම්මේ!”අම්මේ!” සුලෝචනා ගේට්ටුවෙන් පාරට ගියා. නැන්දම්මා පේන තෙක් මානෙක නෑ.
“අම්මේ!”අම්මේ!”සුලෝචනා පිස්සියෙක් වගේ පාර දිගේ දුවන්න පටන් ගත්තා.
මගක් දුර යන කොටම ඈතින් නැන්දම්මා ගාට ගාට ගේ පැත්තට එන හැටි සුලෝචනා දැක්කා.
ඈ එතනම නතර වුනා.
නැන්දම්මා කිට්ටුවටම ඇවිල්ලා!
“කොහෙද අම්මේ ගියේ? අපි කොච්චර බය වුනාද​?”
නැන්දම්මා මොකුත් නොකියා අතේ තිබුණ පාර්සලය සුලෝචනාට දික් කෙරුවා.
බොම් බ මොටයි!
පින්තූරය අන්තර්ජාලයෙනි!
උපුටා ගැනීම:  Sripali Kotuwella

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!