නිවසේදීම කහ සකස් කර ගැනීම (කටට රසට අහාර රටා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ගෙදර ම කහ හදාගන්න මට ලොකු ඕනි කමක් තිබුණා. කඩේන් ගේන කහ පැකට් එක ගැන මට හැමවෙලේම සැකයි. කරන්න දෙයක් නැති නිසා පාවිච්චි කරනවා. අල හොදි, කිරිකොස්, අලු කෙසෙල් වගේ කහ දාන්න ඕනිවට ඇරෙන්න මං කහ දන්නෙම නැති තරම්. අම්මා නං දානවා. අපේ ගෙදර තැන් තැන්වතැන්වල අම්මා කහ පැළ කරලා තිබුණා. ඒත් කහකුඩු ගෙදර හදාගන්න එක ගොඩක් අමාරු දෙයක් විදියට තමයි මං අහල තිබුනෙ.
මේ පාර මං හිතුවා කොච්චර අමාරු වුණත් උත්සාහ කරලා බලනවා කියලා. හැමදාම වගේ YouTube, Facebook සහායෙන් මං ගෙදර කහකුඩු හදාගත්තා. මං කහ හදපු විදිය බෙදාගන්න හිතුවේ කාට හරි ප්රයෝජනයක් වෙයි කියලා.
🖊️ මුලින්ම කරේ කහ ගහ මැරුණට පස්සේ අල ටික පරිස්සමට ගලව ගත්තා.
ගෙදරම හැදුනු කහ දැක්කම ඇත්තටම සතුටුයි.
🖊️ ඊට පස්සේ මව් අල / මුල් අල හා ඇඟිලි අල වෙන්කර ගත්තා.
මුල් අල නැත්තං මව් අල කියන්නේ මුල් ඇදුණු අල කොටස්. ඇඟිලි අල කියන්නේ මුල් අලයෙන් දෙපසට විහිදුණු ඇඟිලි වගේ තියෙන අල කොටස්. මේ විදියට කොටස් දෙකකට වෙන් කර ගත්තම ස්ටීම් කරන පියවරේදී අපිට ලේසි වෙනවා.
මුල් අලවල මුල් කොටස් ඉවත් කරගන්න.
හොඳට පිරිපුන් අල කොටස් ඊළඟ වාරයේ පැළ කරන්න, අයින් කරගන්න අමතක කරන්න එපා.
🖊️ දැන් වෙන්කරගත් මව් අල හා ඇඟිලි අල හොඳට සෝදා ගන්න.
පුලුවන්නම් පොතු හැර ගන්න. මට පොතු ඇරගන්න බැරි වුණා. එහෙම පොතු ඇර ගත්තොත් ලස්සන කහ පාටක් එනවලු.
🖊️ දැන් මුල් අල වෙනම, ඇඟිලි අල වෙනම ස්ටීම් කරගන්න.
( steam කරන්න කලින් අල කැබලි ලොකු වැඩී නම් දෙකට කපාගන්න.)
සැරින් සැරේ බලන්න අල කෑල්ලක් දෙකට කැඩුවම නූල් ඇදෙන වගේද කියලා. එහෙම නූල් ඇදෙනවා නම් steam වෙලා ඇති.
මටනම් එක වරකට විනාඩි පහළොවක් විස්සක් වගේ තමයි ගියේ. ඒක කහවල තරම, ප්රමාණය අනුව වෙනස් වේවි.
🖊️ steam කරපු අල වේලා ගන්න පහසු වෙන්න මං කුඩා කොටස් වලට කැපුවා.
🖊️ steam කරපු අල මුලින්ම පැය 12 විතර මඳ පවනේ වේලා ගන්න.
🖊️ ඊට පස්සෙ දින හතරක්, පහක් හොඳින් අව්වේ වේලා ගන්න.
කහ කැබලි දෙකට කඩල බලන්න ශබ්දයක් එන්න කැඩෙනවා නම් වේලිලා ඇති. දෙකට කඩනකොට රබර් එක වගේ නැමෙනවා නම් වේලිලා මදි.
🖊️ හොඳට වේලුණු අල, පොත්ත යවාගන්න හාල් කවර් එකක වගේ එකක දාලා කිහිප පාරක් බිම ගසා ගන්න ඕනලු. එතකොට පොතු යනවා ලු. එහෙම කරලා කුල්ලක් අරගෙන පොළා ගන්න ඕන ලු. මේ පියවර නම් මට කරන්න බැරි වුණා. හාල් කවරෙක දාල බිමත් ගැහැව්වා. කෑලි පොඩියට කපලා නිසාද දන්නෙ නෑ පොතු ඉවත් වුණේ නෑ. පොලා ගන්න කුල්ලක් තිබුනෙත් නෑ.
ඒ විදියට පොත්ත යැව්වා ම කහකුඩු කහපාට ට තියනවලු.
🖊️ ඊට පස්සේ තියෙන්නේ ගෙදර හරි, මෝලකට දීලා හරි කොටා ගන්න.
මෝලකට දෙන එකත් එච්චරම විශ්වාසයක් නැති නිසාත් ඉතාම කුඩා අල ප්රමාණයක් තියන නිසාත් ගෙදර ටික, ටික කොටාගත්නයි මං හිතුවෙ.
මං හිතුව තරම් නම් කහ කුඩු හදා ගන්න එක අමාරු උනේ නෑ. තවමත් උත්සාහ කරල නැත්තම් පොඩි උත්සාහයක් අරන් බලන්න.
උපුටා ගැනීම:  Dilanka Randiwala
                      Zone of Happiness

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!