පත්තිනි මෑණියන්ගේ හාස්කම් පිරි කිරි අම්මා උල්පත (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ශ්‍රී ලංකාව ලෝකයේ තියෙන සුන්දරම රටක් කියන කාරණය අවිවාදයෙන්ම පිළිගත යුත්තක්. ඉතින් ලාංකිකයන් විදියට අපිට ඒක ආඩම්බර වෙන්න පුළුවන් කාරණයක්. නමුත් මේ ලක් දෙරණේ අති සුවිශේෂී ස්ථාන වගේම අති සුන්දර ස්ථාන අපේ දෑසට හසුනොවී තියෙන අවස්ථා බොහෝමයි. ඉතින් ගොඩක් ප්‍රසිද්ධ නැති වුණත් ලංකාවේ සැඟවුණු තවත් අපූරු ස්ථානයක් ගැන තමයි මේ කියන්න යන්නේ. ස්වභාව සෞන්දර්ය අතින් වගේම දේව හාස්කම් අතිනුත් වැඩි කතාබහට ලක්වෙන ස්ථානයක් තමයි මේ කිරි අම්මා උල්පත. මොකද මේ කිරි අම්මා උල්පත එක්ක හරි අපූරු හාස්කම් බැඳිලා තියෙන නිසා. ඉතින් අද කතාව මේ කිරි අම්මා උල්පත ගැන.

මේ කිරි අම්මා උල්පතට ළඟා වෙන්නේ කොහොමද කියල මුලින්ම විමසා බලමු. මාතලේ නගරයේ සිට දඹුල්ල පාරේ නාඋලට ගොස් නාඋලින් මොරගහකන්ද පාරේ ලග්ගලට යා යුතු වෙනවා. ඉතින් ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පල්ලේගම පිහිටා ඇති කිරි අම්මා උල්පත සැබැවින්ම ඉතාමත් සුන්දරයි. නමුත් අද වෙද්දි මේ ස්ථානයට බොහෝ අය පැමිණෙන්නේ විවිධ භාර හාර සඳහා. විශේෂ හාස්කම් එහි පවතින බවට ජනතාව තුළ පවතින්නේ දැඩි විශ්වාසයක්. බොහෝ අය ආවා ගියත් වැඩි ප්‍රසිද්ධියක් නැත්තේ මේ ස්ථානය වනාන්තරය ඇතුළට වෙන්නට පිහිටා තිබීම නිසා.

මේ ආශ්‍රිතව ඇති දේව හාස්කම් ගැන කියන්නට කලින් අපිට උරුම වෙලා තියෙන මේ අපූරු උරුමය ගැන කතා කරමු. දිය උල්පත් අපේ රටේ ඕනෑ තරම් දැක ගන්නට තියෙනවා. ඒ අතරින් උණුදිය උල්පත් පවා ලාංකීය අපිට උරුමයි. ඉතින් මේ කිරි අම්මා උල්පතත් තවත් සාමාන්‍ය උල්පතක් විතරක් නොවෙයි. ස්වාභාවිකව පිහිටා ඇති මේ ස්ථානය පාරිසරික සෞන්දර්ය වැඩි කරන්නට සමත්වෙලා තියෙන දුර්ලභ උල්පතක්. නමුත් කණාගාටුවට කාරණය තමයි මේ ස්ථානය නරඹන්නට හෝ ආගමික කටයුතු සඳහා එන පිරිස් මේ ස්ථානය අපවිත්‍ර කිරීම. ඉතින් ස්වභාවදහමෙන් අපිට උරුම වුණු දේ රැක ගැනීම ලාංකිකයන් විදියට අපේ යුතුකමක්.

ඉතින් මේ ගම්මානය දාගැබිල්ල විදියටයි හඳුන්වන්නේ. ඉතින් ඈත අතීතයේ සිටම මේ ගම්මානයේ ජනතාව විශ්වාස කරන විදියට පත්තිනි මෑණියන් වැඩ සිටිනා පින් බිමක් මේ. එදා සිටම ඒ අවට නිවාස 12 ක ජීවත් වුණු ජනතාව මේ ස්ථානයේ විවිධ පුද පූජා ආදිය පවත්වා තියෙනවා. ඉතින් මේ ආශ්‍රිතව ජනශෘතියක විශේෂ කතා කිහිපයක්ම පැවතෙනවා. ගම්මුන් කියන විදියට ඉතා ඈත කාලයේදී මේ කිරි අම්මා උල්පතේ විශාල ආදෙක් වාසය කර තියෙනවා. ඉතින් ගම්මුන් මේ ආදාව අල්ලා උයාගෙන ආහාරයට අරගෙන තියෙනවා. ඉන්පසුව ඒ නිවාස 12  ජීවත් වුණු සියලු දෙනාම ලේ අතීසාරය වැළඳී මරණයට පත්වෙලා තියෙනවා.

ඒ වගේම ඔවුන් අතර පවතින තවත් කතා පුවතක් තමයි මේ ස්ථානයට ඇවිත් දෙවියන්ට කන්නලව් කළාට පසුව ගොයම් කපන්නට දෑකැති ඉල්ලුවොත් ඕනෑ තරම් දෑකැති එහි ගල් තලාවක් මත දකින්න තියෙනවා කියන කතාව. ඉතින් ඕනෑ අයෙක්ට ගොයම් කපාගෙන නැවත ඒ දෑකැති ඒ ස්ථානයෙන් ගෙනත් තියන්නට කටයුතු කරන්නට ඕනලු. ඒ දෑකැති සියල්ල රිදී දෑකැති වන අතර ඔවුන් පවසන විදියට දවසක් එක් පුද්ගලයෙක් ඒ දෑකැත්තක් සොරකම් කළ නිසා ඒ හාස්කම් නැතිව ගිය බවත් පැවසෙනවා.

මේ ස්ථානයේ ඇති දේව හාස්කම් ගැන කියවෙන තවත් සිදුවීමක් තමයි මේ ස්ථානය අසලින් මාර්ගයක් ඉදිකිරීමට පැමිණි ඩෝසර් යන්ත්‍ර සියල්ලම දෝෂයන්වලට ලක්වීම.නැවත නැවත ඒ කාර්ය සඳහා පැමිණි සියලුම ඩෝසර්වලටත් එවැනි දෝෂයන් හේතුවෙන් නැවත යන්නට සිදුවුණාලු. ඉතින් එදා සිට මේ ස්ථානයේ කිසිදු ඉදි කිරීමක් මාර්ග සකස් කිරීමක් නොකළ යුතු බවට බලධරයන් තීරණය කර තියෙනවා. ඒ වගේම මෙහි දේවාලයන් වගේම කිසිම කපු මහතෙක්වත් වාසය කරන්නේ නැහැ. ඒ වගේම තවත් විශේෂ කාරණයක් තමයි ඒ පුදබිමේ පිං පෙට්ටි ආදී කිසිවක් දකින්නට නොලැබීම.

ඉතින් එහි ඉතිහාසය ඒ විදියට කතා කරද්දි මේ උල්පත් වඩාත් ප්‍රසිද්ධ වෙන්නේ පත්තිනි මෑණියන් උදෙසා පුද පූජා පවත්වන ස්ථානයක් විදියට බව පැහැදිලියි . ඉතින්  එහි බොහෝ අය කතාවෙන විශේෂ කාරණයක් ගැබ්වෙලා තියෙනවා. ඉතින් බොහෝ බැතිමතුන් මහත් ශ්‍රද්ධාවෙන් තමන්ගේ ප්‍රාර්ථනා ඉටු කරගන්නට මේ ස්ථානයට පැමිණෙනවා. ඒ වගේම තමන් සිදු කළ ප්‍රාර්ථනා ඉෂ්ඨ වීමෙන් පසුව ඒ බාර ඔප්පු කරන්නටත් බොහෝ බැතිමතුන් මේ කරා ඇදී එනවා.

මේ ස්ථානයේ විශේෂත්වය තමයි යම් අයෙක් ප්‍රාර්ථනාවක් කරද්දි එය ඉෂ්ට වෙනවා ද කියලා දැන ගන්නට හැකිවීම. ඉතින් මේ තියෙන විශ්වාසයට අනුව නම් බුලත් කොලයක් උඩ පඩුරක් තියලා මේ උල්පතේ බුබුළු දාන ස්ථානයේ උඩින් තියලා ඒ බුලත් කොලය පඬුරත් සමඟම වතුර බුබුළ තුළට ඇදගන්නවා නම් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වන බවත්, බුලත් කොලය පහලට පාවී යනවා නම් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ නැති බවත් ඔවුන් තේරුම් ගන්නවා. ඉතින් මේ දැඩි විශ්වාසය නිසාම අද බොහෝ ජනකායක් මේ ස්ථානයට පැමිණෙනවා. ඉතින් ඒ විදියට බුබුළට ඇද ගන්නා බුලත් කොළ සහ පඬුරුවලට වෙන දෙයක් නම් කාටවත් සොයා ගන්නට බැහැ. ඒ වගේමයි මේ දිය උල්පත කවදාවත් සිදෙන්නෙත් නැති බව පැවසෙනවා.

ඉතින් මේ අති සුන්දර හාස්කම් දැඩිව පවතින සුවිශේෂී භූමියට එන බැතිමතුන් පවා පේවී ආ යුතු බව සඳහන් වෙනවා. මස්, මාළු, බිත්තර ආදී පිලී ජාතිවලින් වැළකී මහත් භක්තියෙන් පැමිණිය යුතු බවත්, එසේ ශ්‍රද්ධාවෙන් පැමිණ පුද පූජා කරමින් දෙවියන්ගෙන් යමක් ඉල්ලා සිටියොත් එය ඒ ආකාරයෙන්ම ඉෂ්ට වන බවත් පැවසෙනවා.  නඩු හබවලින් ජය ගන්නට, වසංගත රෝග හා වෙනත් රෝගී තත්ත්ව සුව කරගන්නට, කරදර පීඩා අඩු කර ගන්නට, ඒ වගේම දරුවන් නැති කාන්තාවන්ට දරුඵල ලබා ගන්නට ආදී මෙකී නොකී බොහෝ කාරණා සඳහා බාර හාර වෙන්නට මේ ස්ථානයට බොහෝ බැතිමතුන් පැමිණෙනවා.

තමන්ගේ බාරයන් ඉෂ්ට වූ වහාම ඒ බාර ඔප්පු කළ යුතු පිළිවෙලක් ද පවතිනවා. ඒ සඳහා  හිරු දෙවියන්ට කිරි ඉතිරවීම සිදු කළ යුතු වෙනවා. එසේ බාර ඔප්පු කරන්නට බැඳී ලිප් මේ පුජා භූමිය ආශ්‍රයෙන් දකින්නටත් හැකියාව තියෙනවා. පත්තිනි මෑණියන් ප්‍රමුඛව මෙහි වැඩ සිටියත් කතරගම , විෂ්ණු, සමන්, දෙවොල් ආදී සියලු දෙවියන්ගේ ආශීර්වාදය පවා මෙහිදී ලැබෙන බවට විශ්වාස කරනු ලබනවා .

ඉතින් සියවස් ගණනාවක සිටම විවිධ බාරහාර වෙන්නට මේ කිරි අම්මා උල්පත වසර පුරාම බුබුළු දමමින් පවතිනවා. නමුත් මේ ස්ථානයට එන බැතිමතුන් පොලිතින් ආදී ඉවතලන අපද්‍රව්‍ය කිරි ඉතිරවීමට ගන්නා දේ ආදිය පරිසරයට මුදා හැරීම කිරි අම්මා උල්පත විනාශ වීමේ අවදානමකට ලක්වෙල තියෙනවා. ඒ නිසාවෙන් දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලබා ගන්නට හෝ මේ දුර්ලභ දිය උල්පත නරඹන්නට හෝ පැමිණෙන ඔබ මේ ස්වභාවික පරිසරය විනාශ නොවන ආකාරයෙන් කටයුතු කරන්නට වග බලා ගන්න. මොකද ලංකාවේ ලස්සන තැන් තවත් දිගු කාලයක් නොනසා මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගැනීමේ වගකීම් අප සතු වන නිසා.

 

උපුටා ගැනීම: VOICE Official Lanka Post Blog

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!