පියාඹන අඹ ඇට ( ඉස්කෝලෙ කාලෙ රස කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
1999 අවුරුද්දේ අපි ඉස්කෝලේ 10 ශ්රේණියේදී වෙච්ච දෙයක් මේක.
අපේ ඉස්කෝලේ ශ්රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ගුණසැමරුම වාර්ෂිකව පවත්වනවා. ඉතිං දහවල් දානයට බත්, වෑංජන පංතියේ ළමයි ටික බෙදාගෙන එක එක ගානේ ගෙදරින් හදාගෙන එනවා. සුදු බත්, මාළු මිරිසට, පරිප්පු කිරට, බෝංචී කිරට, අල තෙල්දාලා, පපඩම් තමයි මෙනූ එක. ඩෙසර්ට් එකට අයිස් ක්රීම් හම්බවෙන්නේ පංතිභාර මැඩම් ගානේ. ඉස්කෝලේදී පිඟානට බත් බෙදාගෙන යාළුවෝ ටිකත් එක්ක කන්න තියෙනවා තරම් සතුටක් ඒකාළේ අපිට නැති තරම්. ඒ දවසට අපි හරිම ආසයි. හැබැයි ඉතිං යුනිෆෝම් එකෙන් වගේ නෙමෙයි ළමා සාරි ඇඳගෙන බඩපිරෙන්න කන්න නම් ටිකක් අමාරුයි, ඒත් ඉතිං බාලිකා පාසලක් වෙච්ච එකේ ඒකටත් විකල්ප තිබ්බා අපිට.
ඉතිං හැම අවුරුද්දකම වගේ මේ පාරත් උදේ සීල ව්යාපාරය ඉවරවෙලා සිල් ගත්තු අපිට දහවල් දානය වළඳන්න වෙලාව ආවා. ඒ අවුරුද්දේත් අපේ පංතිභාර මැඩම් දානේ වැළඳුවට පස්සේ ඉතිං අපි හැමෝම මදි නොකියන්න දානේ බෙදාගත්තා. යාළුවෝ එක්ක කනකොට වෙලාව යනවා තේරෙන්නෙත් නැහැ, කනවා තේරෙන්නේත් නෑ, කන ප්රමාණයක් ලිමිට් එකක් තේරෙන්නේත් නෑ, කොච්චර කෑවත් බඩ පිරෙන්නෙත් නෑ. ඉස්මුරුත්තාව තමයි එකම සිග්නල් එක. ඔහොම කාලා ගැරඬි ටික වගේ එහෙට මෙහෙට ඇඹරිලා අයිස් ක්රීම් කන්නත් කොහොමහරි බඩේ ඉඩ හදාගන්නවා ඒක නෝමල්. ඊට පස්සේ ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ සෙට් එක වගේ ඉස්කෝලේ ඇරෙනකල් ඉන්නවා. මේ පාර තව කෑමක් හම්බුනා අපිට. යාළුවෙක් ගෙදර අඹ ගහෙන් ටියුලිප් බෑග් එකක් පිරෙන්න ඉදිච්ච අඹ වගයක් ගෙනල්ලා තිබ්බා පිහියකුත් එක්ක. එවෙලේ වෙන මුකුත් කන්න තියා හුස්ම ගත්තෙත් හරි අමාරුවෙන්. ඒත් ඉතිං දෙයියනේ අඹ නේද මේ.. අම්මෝ අඹ අඹ..
අඹ කොහොමද නොකා ඉන්නේ අප්පේ කියලා කට්ටිය වැඩේට බැස්සා. හරිම සහයෝගෙන් එකෙක් අඹ සුද්ද කරනවා, කපනවා, තව එකෙක් පිඟන් වලට දානවා, කට්ටිය අත දාගෙන කනවා. තව එකෙක් අඹ ඇට, පොතු ටික වෙනම එකතු කරනවා අඹ කාලා ඉවරවෙලා පස්සේ විසිකරන්න.
ඊට පස්සේ තමයි හොඳම ටික උනේ…
අපේ පංතිය තිබ්බේ ඉස්කෝලේ පිටිපස්සේ තාප්පෙට මායිම් වෙලා කොනක. වැඩිය කාගේවත් අවධානයක් නැති තැනක. පංතියේ කොට බිත්තිය, ඊට පස්සේ ඉස්කෝලේ තාප්පේ, ඊළඟට පාර, පාර එහා පැත්තේ ග්රවුන්ඩ් එක. එකෙක් එකපාරටම අඹ ඇටයක් අරන් පංතියේ කොට බිත්තියෙනුයි ඉස්කෝලේ තාප්පෙනුයි එළියට විසි කළා, නිකං ටකරමක් උඩට වැටෙනවා වගේ පොඩි සද්දයක් ආවා ඒකෙන්.
ඒක මරු වැඩේ.. එක එකා අඹ ඇට අරන් ඉස්කෝලේ තාප්පෙට උඩින් එළියට විසික් කරන්න පටන් ගත්තා. සද්දේ ඇහෙද්දී මාර ජොලී කට්ටියට. හැමෝම නෙමෙයි. ඒත් මට මතක හැටියට ඔක්කොම අඹ ඇට ටික තාප්පෙන් විසික් කළා. දැන් ඉතිං ඒ වැඩේ ඉවරයි.
ඊට පස්සේ;
සමහරු ගෙදරින් ගෙනාපු භාජන හොයනවා. භාජනේ නැතුව ගෙදර ගියොත් අම්මාගෙන් කනක් ඇහිලා ඉන්න බැරි නිසා.
ස්කූල් බස් එකේ, ස්කූල් වෑන්වල යන සෙට් එක දඩිබිඩියේ ලෑස්ති වෙනවා.
ට්රේන් එකේ, බස් එකේ යන සෙට් එකට කිසි හදිස්සියක් නෑ, ඉස්මුරුත්තාවේත් උපරිමය නිසා සිල් ගත්තු පැඳුරුවල දිගාවෙලා ඔහේ ඉන්නවා.
සමහරු හවස පංති යන්න ළමා සාරි වලින් යුනිෆෝම් එකට මාරු වෙනවා.
එක එක්කෙනා එක එක වැඩ..
ඉස්කෝලේ ඇරෙන්න බෙල් එක ගහනකල් බලාගෙන ඉන්නකොට එකපාරටම අපේ පංතියට අක්කා කෙනෙක් ඇවිත් කිව්වා මුළු පංතියටම ප්රින්සිපල් මැඩම් එන්න කිව්වා කියලා…
අපිට එන්න කියපු වෙලාවේ හැටියට ගරු නම්බුනාමයක් දෙන්න නම් නෙමෙයි කියලා හොඳට තේරුනා.
ඒත් අඩේ මේ සිල් ගත්තු දවසේ අපි හොඳ ළමයි වගේ හිටියානේ..
පංතියටම එන්න කිව්වේ මොකෑ දන්නේ නෑ..
ප්රශ්න කෝටියයි…..
අපිට හිතුනේම මොකක් හරි ශ්රමදාන කේස් එකක් අපිට පන්ගාත්තු කරන්න තමයි කියලා. අපිට තිබ්බ ලොකුම ප්රශ්න උනේ ස්කූල් බස්, ස්කූල් වෑන් යයි ද, තව හවස ක්ලාස් යන්න බැරිවෙයි ද …. වගේ ඒවා..
සෙට් එකම කුටු කුටු ගගා ප්රින්සිපල් මැඩම්ගේ රෑම් එක පැත්තට ගියා. ටිකක් ඇවිදගෙන යන්න ඕනේ අපේ පංතියේ ඉඳලා.
දානේ දවසට ඔක්කොමලා ඉස්කෝලේ එන නිසා එදා ෆුල් 45ම හිටියා. ඉතිං අපි 45 දෙනාම මැඩම්ගේ රෑම් එකට යන එන්ට්රන්ස් එකෙන් එකපාරටම ඇතුලට ගියා.
අපි සෙට් එක ඇතුළට යනවත් එක්කම මුළු ඔෆිස් රූම් එකම දාඩියෙන් පිරිලා ඉතිරිලා ගියා.
මැඩම් එයාගේ රූම් එක ඇතුළේ වාඩිවෙලා ඉන්නවා. මූඩ් එක නම් හොඳ නෑ කියලා දැක්ක ගමන් තේරුනා. එකපාරටම පොරකාගෙන අපි සෙට් එක ඇතුළට එනවා දැකලා මැඩම්ගේ තරහාව ඩබල් ට්රිබල් ෆෝබල් උනා..
ප්රින්සිපල් මැඩම්: මොකද ඔය, මොකද ඔය පොරකන්නේ, ඔහොම ඔක්කොම එකපාරටම මේක ඇතුළට එනවද??
10E අපි ටික: මළා.. අප්පා.. යමල්ලා යකඩෝ එළියට. දැන් එන්න කිව්වා නේද, යන්න කියන්නේ ඇයි අප්පා ?? යමු යමු එළියට යමු..
දැන් ඉතිං ඔන්න සෙට් එකම පොරකාගෙන ඇතුළට ආවා වගේ දොරෙන් එළියට යන්න ආපහු පොරකනවා.
ඒත් තාම හේතුව දන්නේ නැහැ. ඔෆිස් එකේ වැඩ කරපු ඇන්ටි මැඩම්ගේ රූම් එකේ ඉන්නවා දැක්කා. ඒ පැත්තට අපි කන දැම්මාමයි සීන් එක ලාවට තේරුනේ..
අපි දවල් අඹ කාලා තාප්පෙන් එළියට විසිකරපු අඹ ඇට ටික වැටිලා තියෙන්නේ ඉස්කෝලේ තාප්පෙන් එළියේ නවත්තලා තිබ්බ ස්කූල් වෑන්වල වහල උඩට. අපිට ටකරං සද්දයක් වගේ ඇවිත් තියෙන්නේ අඹ ඇට වෑන්වල වහලේට වැටෙන සද්දේ.
ස්කූල් වෑන් එකක අන්කල් කෙනෙක් අඹ ඇට ටික එකතු කරලා ප්රින්සිපල් මැඩම්ට ගෙනත් දීලා කිව්වාලු අඹ ඇට ටික තාප්පේ කොනේ පංතියෙන් එළියට ඉගිල්ලිලා ආවා කියලා.
ඇතුළේ පොඩි පොඩි වලි තිබ්බට අපේ පංතියේ සෙට් එක හරි එකමුතුයි, පාවලා දෙන්නේ නෑ ලොවෙත්..
ජීවිතේ පළවෙනි ගුටි පූජාව ෂුවර් එකටම අද නම් පුතෝ වදිනවා කියලා දොරෙන් එළියට පොරකාගෙන එද්දීම මට හිතුනා..
මැඩම්ට ඕනේ උනේ එක එක්කෙනාව ඇතුළට ගන්න. මැඩම් කතා කරනකල් ඔෆිස් එක එළියේ අපි ඔක්කොම බලාගෙන ඉන්නවා.
ඒ අස්සේ අපේ පංතියේ වැඩි කතාබහක් නැති හරිම සයිලන්ට් එකෙක් කියනවා, ඉතිං අනේ වෑන් අන්කල් ඔය ඇට ටික අරගෙන මැඩම් ගාවට මෙච්චර දුරක් එන වෙලේ ඩස්බින් එකට දැම්මා නම් ඉවරයිනේ කියලා.. ඔක්කොටම හයියෙන් හිනා ගියා ඒ කතාවට. හිනාව නවත්වගන්න බැරුව, හිනාවෙවී ගුටි කන්න පෝළිමේ ඉන්නකොට ඉස්කෝලේ ඇරෙන්න බෙල් එක ගැහුවා…………..!!!!!!
මචං, දු ව පා න් එච්චරයි මට ඇහුනේ !!
සාරංගා රණසිංහ
ජායාරූපය අන්තර්ජාලය ඇසුරිනි
උපුටා ගැනීම:  Saranga Ranasinghe

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!