පුරාණ ශ්‍රී ලංකාවේ පොකුණු (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පණ්ඩුකාභය රජතුමාගේ කාලයේ ඉදි වූ අභය වැව ලංකාවේ වාරි තාක්ෂණයේ ආරම්භය ලෙස සැළකුවත් විජය කුවේණි පුවත සාක්ෂි දරන්නේ ඊට බොහෝ කලකට පෙර සිටම නගර සැලසුම් අනුව පොකුණු නිර්මාණ තාක්ෂණයක් අප රටට හිමිව තිබූ බවයි. මහාවංසයේ හත්වෙනි පරිච්ඡේදයේ සඳහන් පරිදි කුවේණිය විජය රජුගේ පිරිස සඟවා තබන්නේ ද පොකුණකට ජලය ගෙන ඒමට සකස් කළ උමගක් තුළයි.
ස්වාභාවික පොකුණු අනූන මව් දෙරණේ ගල් තලාවක් මත ස්වාභාවිකව ජලය එක්රැස් වී නිර්මාණය වූ පොකුණු දුටු පුරාණ හෙළයා තමාට අවශ්ය ස්ථානයේ පොකුණක් තනා ගැනීමට යම් අදහසක් ඇති කරගත්තා වන්නට පුලුවන. වර්ථමානයේ අලංකාරය උදෙසා පමණක් පොකුණු නිර්මාණය කළත් අතීතයේ අලංකාරය සඳහා මෙන්ම ජල අවශ්යතා සඳහා ද, පරිසරයේ උෂ්ණත්වය සමතුලිත කිරීම සඳහා ද පොකුණු නිර්මාණය නගර සැලැස්මක විශේෂ අංගයක් ලෙස භාවිතා විය.
ශ්රී ලංකාවේ පුරාණ අගනුවර වූ අනුරාධපුර ඇතුළු නුවර රාජ වංශ ආරම්භයටත් පෙර සිටම ජනාවාස භූමියක් බව පුරාවිද්යාත්මක පරීක්ෂණ සාක්ෂි දරයි. අක්කර 500ක අභයගිරි පුදබිම තුළ 5000ක් භික්ෂූන් වහන්සේලා වැඩවුන් බවත් එම පරිසරයේ වාතය, ජලය යන දෙඅංශයම සුවදායි වීම පිණිස පොකුණු 65ක් ඉදිකර පැවති බවද පාහියන් හිමියන්ගේ වාර්තා තුළ සඳහන් වේ. සෑම පොකුණකටම එයටම අනන්ය වූ හැඩයක් පැවති බවත්, පිටතින් ජලය ලබාගැනීම, පොකුණේ ජලය පිට කිරීමේ හැකියාව, පොකුණ තුළට පහසුවෙන් බැසිය හැකි වීම හා කලාත්මක අංග ලක්ෂණයන් හී අඩුවක් නොවීම හෙළ ජල සැලසුම් ශිල්පියාගේ තාක්ෂණික ඥානය විදහා දක්වයි.
උමං නල මාර්ග ඔස්සේ ජලය ගෙන ඒම පිණිස පාෂාණමය නල තැනීම, ඒවා කාන්දු ඇති නොවන සේ එකිනෙක සම්බන්ධ කිරීම, ජලය ගලා ඒම අවශ්ය ප්රමාණයට පාලනය කිරීම හා පරිසර අලංකාරයට හානියක් නොවන සේ ඉදිකිරීම යන කාරණා සමඟ සම්බන්ධ කර බලන විට ලෝකයේ දියුණුම ජල පීඩනය පිළිබඳ න්යායේ තාක්ෂණය භාවිතා කළ රට ලංකාව ය.
*ඇත් පොකුණ
ක්රිස්තු වර්ෂ 3වන සියවසේ පමණ ඉදිකරන්නන්ට ඇතැයි සැළකෙන අභයගිරියේ විශාලම පොකුණ වන ඇත් පොකුණ විශාලත්වය නිසාම එම නමින් හැඳින්වුව ද පුරාණ පොතපතෙහි සඳහන් වන්නේ මාස්පොත පොකුණ කියාය. සිව් දෙසින් ම ගල් අතුරා නිම කර ඇතත් මනාව නිරීක්ෂණය කරන්නේ නම් මෙය පිහිටි ගලේම නිර්මාණය කරන ලද්දක් බව දැකගත හැකිය. ජුරාසික් යුගයේ සිටම මේ ස්ථානයේ ස්වාභාවික පොකුණක් පැවති බවත් පසුව එයට හෙළ තාක්ෂණය එක්කරමින් සංරක්ෂණය කිරීමක් සිදුකොට මේසා විශාල පොකුණක් නිර්මාණය කළ බවත් ඇතැම් තැනක සඳහන් අතර ඇත් පොකුණ බටහිර ඉවුර දෙස බැලීමේදී එම සඳහන සත්ය බවත් පැහැදිලි වේ.
අඩි 500ක් දිග, අඩි 50ක් පළල හා අඩි දහයක් ගැඹුරු ඇත් පොකුණ ලොව විශාලතම සහ පැරැණිම පිහිනුම් තටාකය ලෙස සැළකේ. පොකුණට ජලය ගෙන ඒම සඳහා උතුරින් නළ මාර්ග දෙකක් ද දකුණින් එක් නල මාර්ගයක් ද ඇති අතර එ් සියල්ල භූගත නල පද්ධතිය. උතුරින් ඇති එක් නලයක් තවමත් ක්රියාත්මක අතර පෙරියන්කුලම වැවෙන් එයට ජලය ලැබේ. අනික් උතුරු නල මාර්ගය මහ බුලංකුලම වැවෙන් ජලය ලබාගැනීමට සම්බන්ධ කර ඇත. පොකුණේ ජලය ජල පෙරණයක් ඔස්සේ පිට කරන්නට සකසා තිබීමෙන් පුරාණ මිනිසුන් තමන් ගැන මෙන්ම පරිසරය ගැන ද අප්රමාදව සිතූ බව පැහැදිලිය.
කිලෝමීටරයක් පමණ දුර ඇති කුට්ටම් පොකුණට ද ජලය ගෙන යන්නේ ඇත් පොකුණෙනි. ලොවම මවිත කරන බිසෝ කොටු තාක්ෂණය හා සළපනාව මේ පොකුණු සඳහා ද භාවිතා කර තිබීමෙන් නිර්මාණකරුවා තම කාර්ය ඇති සාර්ථකව චිරාත් කාලයක් පවත්වා ගැනීම සඳහා දැක් වූ උනන්දුව කැපී පෙනේ. ජලය ආශ්රිත අභිචාර කලා නිර්මාණ අප සාංස්කෘතියේ පරිපූරණත්වය පසක් කරයි. ඇත් පොකුණේ සවි කර තිබූ ඇතුන් දිය කෙළින ශෛලමය කැටයම් පුවරුව අභයගිරි කෞතුකාගාරයේ දී දැකගත හැකිය..
* පොළොන්නරුවේ කුමාර පොකුණ
(රාජකීය ස්නාන තටාකය)………
ස්නානය කිරීමේ දී ඒ අසලින් මණ්ඩපයක් නිර්මාණය කිරීම පොකුණූ නිර්මාණයේ සුවිශේෂ ලක්ෂණයකි. මෙවැනි මණ්ඩප සීගිරියේ එම පොකුණු අසල ද දක්නට ඇත.”
පොළොන්නරු රාජධානි සමයෙහි රාජකීය මාළිගා සංකීර්ණයක දක්නට ඇති ලක්ෂණයක් නම් ස්නාන තටාක ය යි. තෝපාවැව අසල නිශ්ශංකමල්ල රජුගේ මාලිගය පිහිටියාක් මෙන්, මහා පරාක්රමාබාහු රජුගේ මාළිගා සංකීර්ණයෙහි ද අත්යවශ්ය ලක්ෂණය වූයේ, රාජකීය පොකුණ ය. මහා පරාක්රමබාහු රජුගේ රජ මාළිගයේ මගුල් උයනෙහි පිහිටි “ශිලාමය පොකුණ” යන අරුතින් වංසකතාව (මහාවංසයේ දෙවැනි කොටසේ) එය “ශිලා පොක්ඛරණි” යනුවෙන් හඳුන්වා තිබේ.
මෙය මෙකල කුමාර පොකුණ නමින් හැඳින්වේ. පොළොන්නරුවේ ඇතුළු නුවර ප්රාකාරයේ සිට ,පොකුණට යෑම පිණිස පහළට යොදා ඇති පියගැට පේළියකි. එම උයන ආයත චතුරස්රාකාර හැඩයකින් යුක්ත ය. එමෙන් ම නැගෙනහිර සිට, බටහිරට අඩි 44 සහ උතුරේ සිට දකුණට අඩි 38 පමණ වේ. ශිලාමය වු මුහුණතින් යුක්ත පියගැට පෙළ ඉහළ සිට පහළට අනුක්රමයෙන් කුඩා වන ලෙසට නිර්මාණය කර ඇත. මෙම කුමාර පොකුණට බැසීම සඳහා බටහිර දිසාවෙන් ගල් අතුරන ලද පියගැට පේළියකි. දොරටුව දෙපස සිංහරූප දෙකකි. බටහිර දිසාවෙන් මකර හැඩයෙන් යුත් පිහිලි දෙක කි. අනෙක් තුන් දිසාවෙන් ද මෙම ස්වරූපය දක්නට ලැබේ.
එම පොකුණට ජලය ලබාගෙන ඇත්තේ මකර කටක හැඩයෙන් යුත් ගල් පිහිළිවලිනි. ඒවා පොකුණට පිවිසෙන ප්රධාන දොරටුව දෙපස හා අනෙක් පැතිවල එකක් බැගිනුත් දක්නට ඇත. පොකුණේ වටා ඇති බිත්තිය පැති විශාල සංඛ්යාවක් සහිත ව පිටත ට පන්නා නිර්මාණය කර ඇත.
මේ අනුව පොළොන්නරුවේ නටබුන් අතර ආගමික ගොඩනැගිලි ආශිරත ව සංඝ රත්නයෙහි ප්රයෝජනය සඳහා ඉදිකළ පොකුණු මෙන්ම රජ පවුල හා ප්රභූන් සඳහා ද ඉදිවූ පොකුණූ දැකිය හැකි ය. සංඝයා වහන්සේලාගේ ප්රයෝජනය සඳහා නිර්මාණය කරන ලද පොකුණු සෑහෙන ප්රමාණයක් පොළොන්නරුවේ නටබුන් අතර තිබෙන නමුදු ඒවා විවිධ මූර්ති කැටයමින් අලංකාර කර නැත.
කුමාර පොකුණ හෙවත් මඟුල් පොකුණ පොළොන්නරු ඇතුළු නගරයෙහි නැගෙනහිර දිසාවට පහත බැසීම සඳහා ඇති පියගැට පෙළ කෙළවර පිහිටියේ ය. කුමාර පොකුණ මහා පරාක්රමබාහු රාජ්ය සමයේ ගොඩනගන ලද නිර්මාණයකි. නන්දන උයනේ පිහිටි එම පොකුණ හැඳින්වූයේ “ශිලා පොක්ඛරණි” යන නමින් ය. කුමාර පොකුණට අවශ්ය ජලය රැගෙන ඇත්තේ ඒ අසල පිහිටි පරාක්රම සමුද්රයෙනි. පොකුණුවලට ජලය ලබා ගැනීමේ දී ඊට යාබදව පිහිටි ඇළ දොළ වැව් යනාදිය ඊට සම්බන්ධ කර ගත් බව පෙනේ. සීගිරියේ පිහිටි පොකුණු සංකීර්ණයට අවශ්ය ජලය ඊට යාබද ව පිහිටි වැවෙන් ලබාගන්නට ඇතැයි පුරාවිද්යාඥයෝ අනුමාන කරති. අපවිත්ර ජලය පිට කිරීමට පොකුණේ නැගෙනහිර දෙසින් සොරොව්වක් දක්නට ඇත. සොරොව්වේ සිට නැගෙනහිර දෙසින් ඇති පහත්බිම දක්වා අගලක් කපා ඇත. මෙය වැසි ජලය රැඳි, පොකුණ පිරී යෑම වැළැක්වීම සඳහා කරන ලද්දකි. කුමාර පොකුණට අසලින් ගොඩනැගිල්ලක අත්තිවාරම් හමු වී ඇත. ගොඩනැගිල්ලට නැගෙනහිරින් පවුර මැදින් වැසුණු දොරක් තිබී ඇති අතර, එයින් පොකුණේ මායිම් ව පියගැට පෙළක් තිබී ඇත. පොකුණේ විශේෂත්වය අනුව මෙය ස්නානය කිරීම සඳහා ගොඩනගන ලද එකක් බව සඳහන් වෙයි. ස්නානය කිරීමට පැමිණීමේ දී ඇඳුම් පැළඳුම් ආභරණ ආදිය ඉවත්කොට ස්නානය සඳහා ඇඳුම් ඇඳීමට උපකාරවීමට මෙම ගොඩනැගිල්ල අසලින් පිහිටා තිබෙන්නට ඇත. ස්නානය කිරීමේ දී ඒ අසලින් මණ්ඩපයක් නිර්මාණය කිරීම පොකුණූ නිර්මාණයේ සුවිශේෂ ලක්ෂණයකි. මෙවැනි මණ්ඩප සීගිරියේ එම පොකුණු අසල ද දක්නට ඇත. කුමාර පොකුණ අලංකාරයක් මිස නාන පොකුණක් වශයෙන් නම් අනුරාධපුරයේ මඟුල් උයනේ පොකුණ තරම් උසස් නොවන බවට දක්වන අදහස් ද ඇත. තුන් නලයකින් යුක්ත කුමාර පොකුණ පොළොන්නරුවේ පිහිටි නෙළුම් පොකුණට වඩා නිර්මාණ ශිල්පය අතින් උසස් ය.
කුමාර පොකුණ හා බාහිර ඇළ අතර සුපරීක්ෂාකාරීව පිහිටුවන ලද කැසිකිළිය වෙයි. මෙම උද්යානයෙහි දක්නට ලැබෙන තවත් ලක්ෂණයක් නම්, වෑස්සෙන ජලයෙන් ස්නානය කිරීම සඳහා පිහිටුවන ලද ස්ථානය යි. එය නළ මගින් සෙමෙන් වැස්සෙන ජල ධාරාවක් හෙයින් වලාකුළු වැස්සක් හෙවත් තුෂාර වර්ෂාවක් සේ හඳුන්වා ඇත. වෘක්ෂලතා මල් පැළ ද උද්යාන තටාකය වටා වර්ධනය වී ඇත. වර්ග තුනකින් යුක්ත පිච්ච , රතු හා නිල්, පැහැයෙන් යුක්ත නෙලුම් ද, විශාල වශයෙන් මුළු පරිසරය පුරාම විහිදී තිබෙනු දක්නට ලැබේ. පොළොන්නරුව පුරවරයේ නැගෙනහිර ප්රාකාරය සැතපුම් කාලක් පමණ උතුරු දෙසට ප්රාකාරයෙන් පිටත පිහිටි කුමාර පොකුණට මායිම් ව ඇත. එලෙසින් ම බටහිර ප්රාකාරය නැගෙනහිර ප්රාකාරයට සමාන්තර ව ප්රාකාරව සමුද්රය දෙසින් මහාපරාක්රමබාහු රජුගේ රජ මාළිගය දෙසට විහිදෙයි
*අනුරාධපුරයේ කුට්ටම් පොකුණ..
ස්වභාව ධර්මය හා කැටි වූ අපූරු කලා කුසලතාවකින් පරිපූර්ණ අතීත මුතුන් මිත්තන්ගෙන් අපට දායාද වුණු අපූරු සුන්දර නිර්මාණයන් ගෙන් එකක් ලෙස කුට්ටම් පොකුණ හඳුන්වන්නට පුළුවන්. කුට්ටම් පොකුන පූජනීය ස්ථානයක් නොවුණත් වන්දනාකරුවන් විසින් මහත් භක්ත්යාදරයෙන් නරඹන ස්ථාන වලින් එකක්. අනුරාධපුරයේ අභයගිරි විහාරයට නුදුරු ස්ථානයක පිහිටුවා ඇති මේ කුට්ටම් පොකුණ තනා තිබෙන්නෙ අභයගිරි වාසි භික්ෂූන්ගේ ස්නානය සඳහා යි.
එකම පවුරකින් වටවුණු දැකුම්කළු පොකුණු දෙකකින් මෙය සමන්විත වීම නිසාම මෙයට කුට්ටම් පොකුණ ලෙස නම ලැබී තිබෙනවා. මේ පොකුණු දෙක, එකක් අඩි 51ක බැගින් වූ සමාන පළලින් යුක්තයි. එසේ වුණත් එක් පොකුණක් තරමින් විශාල වන අතරම අනෙක තරමින් කුඩා පොකුණක්. ලොකු පොකුන 132 ක් දිගින් යුතු වන අතර පොඩි පොකුණ දිගින් අඩි 92 ක් වෙනවා. ඉවුරු බැමි නිමවා තියෙන්නෙ ගල්වරි පැන්නීමෙන් බැමි මාලා 3 ක් සහිතව. පොකුණේ කට පිහිටා තිබෙන්නේ පොළෝ මට්ටමින් අඩි 3 ක් පමණ පහළට වන්නටයි. ලොකු පොකුණෙ මධ්ය ගැඹුර අඩි 17 කුත් අඟල් 9 ක්. කුඩා පොකුණේ ගැඹුර අඩි 14ක්. එසේම ලොකු පොකුණට බැසිය හැකි වන පරිදි අලංකාර සෝපානමාලා හෙවත් පඩිපේලි තුනක් නිර්මාණය කරල තියෙනවා. කුඩා පොකුණට පඩි පේළි දෙකක් බැසීමෙන් ඇතුළු විය හැකියි.
මෙම පඩි පේලි පළලින් අඩි 5 බැගින් වන අතර පැන්නීම් සහිත මාලා තුනකින් යුතුයි. අපූරු ලියකම් සහිත ඉතා අලංකාර කෝරවන්ගල් භාවිතාකොට ඒවා නිමවා ඇති බව අපට දකින්නට පුළුවන්. පොකුණු වේදිකාවේ සිට පොකුණු පතුල දක්වා දිවෙන කැටයම් රහිත පඩි පේලියක්ද, සෑම පඩි පේළියකම දෙපස කුඩා කුලුණු දෙක බැගින් දැකගන්න තිබෙනවා. කුට්ටම් පොකුණට අපූර්වත්වයක් එක් කරමින් ඒ කුළුණු මුදුනෙහි විශාල පුන්කලස බැගින් ඇති අතර, මේ පුන්කලස් දරා සිටින්නෙ නෙළුම් මල් කැටයමකින්. මෙම පුන්කලස් කිසිදු කැටයමකින් තොරව නිමවා ඇතිමුත් පුන් කලස් මුදුන් නෙළුම් කොළ සහ නෙළුම් පෙති වලින් කැටයම් කර තිබේ.
පොකුණු යුග්මය එකිනෙක සම්බන්ධ වෙන පරිදි පොකුණු වල යටින් පිහිටි කානුවක් දැකිය හැකියි. කුඩා පොකුණේ මෙම කානුව හරහා ලොකු පොකුණ වෙත ජලය ලබා දීම කෙරෙනවා. එසේම කුඩා පොකුණේ උතුරු කෙළවරේ අඩි 6කින් යුතු කුඩා වතුර කෙමියක් ද දකින්නට පුළුවන්. මේ කෙමියේ මාර්ගයෙන් වෙනත් ස්ථානයක සිට පොකුණට ජලය සපයාගෙන ඇති බව කියවෙයි. එසේ පොකුණට පිටින් එන ජලයේ වැලි මඩ ආදිය එකතු වී ගලා එනු පිණිස අඩි 4 ක සමචතුරස්රාකාර කුඩා බිසෝ කොටුවක් පවා දකින්නට පුළුවන්. එසේම පොකුණු වල එකතුවන ජලය කුඩා පොකුණේ ඇති ඇල මාර්ගයක් ඔස්සේ හිස්කල හැකිය.
මෙහි තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ එහි ඇති පඩි පේළි මත හිඳගෙන බඳුන්වලින් ජලය ගෙන ස්නානය කල හැකි පරිදි පොකුණු වල ඉවුරු තනා තිබීමයි.
කුට්ටම් පොකුණ අවට භූමිය පොළොව මට්ටමින් අඩි 3 ක් පමණ උස් වූ ප්රාකාරයකින් සමන්විතයි. එය සීමා පවුර ලෙස නම් කර ඇත. එහි බටහිර පැත්තේ පඩි පේළි තුනක්ද නැගෙනහිර පැත්තේ පඩිපේළිය බැගින්ද තනවා තිබෙයි.
ජලය ලබා ගැනීමටත් ජලය පිට කිරිමටත් පැරණි කලා කරුවා සතු වූ ස්වභාවධර්මය පිළිබඳ මනා දැණුමත්, වාස්තු විද්යාවේ නිපුණත්වයත් විදහා දක්වනා මාහැඟි දායදයක් ලෙස කුට්ටම් පොකුණ අදටත් අපට දැකගත හැකියි..
*නාග පොකුණ – මිහින්තලේ….
මහාවංසයේ මිහිඳු හිමියන් වරෙක ස්නානය කළ නාගවතුෂ්ක විල ලෙස සහ 1 වන අග්බෝ රජු විසින් කරවූ නාග සොණ්ඩි පොකුණ ලෙස හඳුන්වන්නේ මෙම නාග පොකුණ බවට විශ්වාස කෙරේ. මිහින්තලා පුදබිමට යන පියගැටපෙලේ දකුණු පසින් ඇත් වෙහෙර කරා දිව යන මාර්ගයේ පසෙක මෙය පිහිටා ඇත. අතීත ශ්රී ලංකාවේ පැවති ජල තාක්ෂණය මනාව විදහා පාන මෙම නිර්මාණය මගින් ඊට පහතින් වූ සිංහ පොකුණ සහ දාන ශාලාව වෙත භූගත නල මාර්ග වලින් ජලය සපයා ඇති බව සොයාගෙන තිබේ. මෙය නාග පොකුණ ලෙස හැඳින්වීමට පොකුණේ එක් පසෙකින් වූ පර්වත බිත්තියේ කොටා ඇති පෙණ පහකින් යුක්ත නාග රූපය හේතු වන්නට ඇත. එම නාග රූපයේ පහත කෙලවර, එනම් වල්ගය, පොකුණ පතුල කරා යන සේ නිර්මාණය කර ඇති බවට ජනප්රවාදය ද පවතී.
*පොළොන්නරුවේ නෙළුම් පොකුණ…
“නෙළුම් පොකුණ” වාස්තු විද්යාත්මක නිර්මාණයකි. එය මහා පරාක්රමබාහු (ක්රි.ව.1153-1186) රජතුමාගේ අනුග්රහයෙන් පොළොන්නරු යුගයේ සාදන ලද බව මහාවංසයේ දෙවැනි කොටසේ ද සඳහන් වන කරුණකි. නෙළුම් පොකුණ පොළොන්නරුවේ පිහිටි සුවිශේෂ සැලසුමකින් යුක්ත ශිලා පොකුණකි.
මෙම වර්ගයේ පොකුණු කිහිපයක් ම පොළොන්නරුවේ තිබුණු බව හමු වී ඇති නටබුන්වලින් හෙළි වේ. නෙළුම් පොකුණ ලෙස මෙකල හඳුනාගෙන ඇති තිවංක පිළිම ගෙයට යන මාර්ගයේ වම් පසින් පිහිටා ඇති පොකුණ ය. පොකුණ තට්ටු පහකි. සෑම තට්ටුවක් ම නෙළුම් මලක පෙති ඇති ආකාරයට නිමවා ඇති පොකුණ පොළොන්නරුවේ දක්නට ඇති පොකුණු අතර විශේෂිත වූවකි.
උත්තරාරාමය ආසන්නයේ තිබුණු ආරාම සංකීර්ණයෙහි වාසය කළ සංඝයා වහන්සේලාගේ ප්රයෝජනය සඳහා ඉදිකළ පොකුණක් යැයි සිතිය හැකි මෙය ප්රමාණයෙන් හෝ හැඩයෙන් අනුරාධපුරයේ පොකුණු සමඟවත් සමාන නොවන පොළොන්නරුවට විශේෂ වූ නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි ය. මෙය කොටස් දෙකකින් යුක්ත ය. 1.පාදම 2.උපරි ව්යුහය වේ. පාදම නිර්මාණයේ දී ඉතා සුන්දර සැරසිලි අංග භාවිත කර ඇත. උපරි ව්යුහය ද එසේ ය. මෙය නිර්මාණය කිරීමේදී අනුරාධපුර යුගයේ ගොඩනැගිලිවලට වඩා විසිතුරු ලෙස මේ අංග භාවිත කර ඇත. අනුරාධපුර යුගයේ ගොඩනැගිලි අලංකරණය සඳහා භාවිත කළ සරල මෝස්තර පොළොන්නරු යුගයේ දී තරමක් සංකීර්ණ ස්වභාවයක් ගෙන තිබේ. නිදසුනක් ලෙස ථූපාරාමය (පොළොන්නරුවේ) හා ලංකාතිලක පිළිම ගෙවල්වල බිත්ති සැරසීමට යොදා ගත් ක්රමවේදයන් ඉතා සංකීර්ණ ස්වභාවයක් දක්වයි.
නෙළුම් පොකුණේ පාදම සැකසීමේදී අනුරාධපුර යුගයට සමානකම් දැක්වූවත් ඇතැම් අවස්ථාවලදී ඊට වැඩි සැරසිලි අංග එක් කළ අවස්ථා ද ඇත.මහායාන හා හින්දු බලපෑම නිසා මෙසේ මෝස්තරවල සුළු වෙනස්කම් සිදු වී ඇත.
“පොළොන්නරු වාස්තු විද්යාවේ වැදගත් අංගයක් වන්නේ පොකුණු නිර්මාණයයි. නෙළුම් පොකුණ වූ කලී පොළොන්නරුවටම අනන්යවූ අගනා නිර්මාණයකි. පොළොන්නරුවේ කුමාර පොකුණ ද පොළොන්නරු වාස්තු විද්යාත්මක නිපුණත්වයේ සංකේතයකි. එසේම හින්දු කෝවිල් ද විවිධ සැරසිලි මෝස්තර භාවිත වූ ගොඩනැගිලි අතර වැදගත් වේ.
*මිහින්තලේ, සිංහ පොකුණ…….
අපේ හැදියාවේ බිහිදොර වූ මිහින්තලේ පැරණි පුදබිමේ තියෙන අවශේෂ නිර්මාණයක් ගැන කියන්නයි මේ හදන්නේ. ඒ එහි ඇති පොකුණක් ගැන. ලංකාවේ පැරණි නටඹුන් ස්ථාන එක්ක පරසිඳු පොකුණු ගණනාවක් තියෙනවා. නම් වශයෙන් එකක් දෙකක් සඳහන් කළොත් අභයගිරියේ කුට්ටම් පොකුණ, ඇත්පොකුණ, ජේතවන විහාරයේ ඇති යතුරු පොකුණු, රිටිගල ගියෙන බන්දා පොකුණ, පොළොන්නරුවේ ඇති කුමාර පොකුණ, නෙළුම් පොකුණ හා ගලබැද්දේ බිසෝ පොකුණ කියන්නේ ඒ අතුරින් කීපයක් විතරයි. ඕන නම් කෙනෙකුට ලංකාවේ පොකුණු ගැන වෙනම හොයාබලන්න තරම් තොරතුරු තියෙනවා. මිහින්තලේ සිංහ පොකුණ කියල කියන්නේ මේ අතර කුඩා පොකුණක් නමුත් ඊටම වෙන්වුණු හැඩ සහිත නිර්මාණයක්.
මිහින්තලේ පංසලේ මැද මළුව කියන තැනට දකුණු දිහාවෙන් ඇති ප්රපාතයේ ආරාමයක් එක්ක යාවන අන්දමින් මේ පොකුණ පිහිටල තියෙන්නේ. මේ පොකුණට ‘සිංහ පොකුණ’ කියල කියන්නේ තරමක් විශාල හිටගත් සිංහ රුවක් මේ පොකුණට සම්බන්ධ නිසයි. මේ සිංහ රුව සහිත පොකුණ නිසා ‘සිංහ පොකුණ පරිශ්රය’ කියල කියනවා. අනුරාධපුරේ අනෙකුත් පුරාණ පුදබිම් වගේම මේ පොකුණත් නටඹුන් වෙලා කැලයෙන් වැහිල තියෙද්දි 1910 දී එවකට පුරාවිද්යා කොමසාරිස් වුණු එච්.සී.පී. බෙල් මැතිතුමා මෙතැන පිරික්සලා මේ නටඹුන් දැන් තියෙන ආකාරෙට පාදලා හදලකරල තියෙනවා.
පිහිටි ගලකට තුන් පැත්තකින් ගල් කුට්ටි සම්බන්ධ කරල හදල තියෙන මේ පොකුණේ ප්රමාණය හරියටම කිවුවොත් දිග මීටර් 2ක් පළල මීටර් 1.9ක් හා ගැඹුර මීටර් 1.4ක් වෙනවා. ගලේ පිහිටි හැඩය උපයෝගි කරගෙනම හදපු අත් ඔසවාගෙන දෙ කකුලින් නැඟිට ඉන්න සිංහ රුව මීටර් 2.3ක් උසයි. සාමාන්ය මිහිහෙකුට මේ සිංහ කටින් එන වතුර පිහිල්ලෙන් අමාරුවක් නැතිව නාන්න වුනත් පුළුවන්. සිංහ රුවට ඉහළින් බොරදම් ඇති වේදිකාවට ඉහළින් වතුර එකතු වෙන පොකුණ හදල තියෙනවා. මේ කතාකරන සිංහ පොකුණට වතුර ගෙනවිත් තියෙන්නේ මේ කන්දේ මැද හරියේ තියෙන නාග පොකුණින්. පොළොවේ වළලපු මැටි නළ ඔස්සෙයි මේ වතුර පාර ගෙනවිල්ලා ඇත්තේ. පොකුණට වතුර වැටෙන්නේ මකර කටක් විදිහට හදපු ගල් පිහිල්ලකිනි. මේ කුටියට එක්වන වතුර බටහිර පැත්තට මුහුණ දාපු සිංහයාගේ කටින් පිටට එනවා.
එදිනෙදා වුවමනාවක් පිරිමහන නිමවුමක් වන මේ සිංහ පොකුණ ගල් කැටයම්වලින් හැඩ කරන්න නිර්මාණකරුවා දරල තියෙන මහන්සිය බොහොම සිත් ගන්නවා සිංහ පොකුණේ උතුරු, නැඟෙනහිර හා බටහිර දිසාවන්හි දැකගන්න පුළුවන් කැටයම් පෙළ වැඩි අවදානයක් දිනාගන්නවා. සෙන්ටිමීටර් 25ක් උස වන පටියක් ආකාරයට නෙලා ඇති මෙහි උතුරු පැත්තට වෙන් වෙන් කැටයම් 10ක් නැඟෙනහිර දෙසින් කැටයම් 8ක් හා බටහිර පැත්තෙ කැටයම් 7ක් දැකගන්න පුළුවන්. තුන් පැත්තෙම කැටයම්, ගලෙහි මතු කළ කුලුණු සටහන් මගින් එකිනෙකින් වෙන් වෙනවා. මේ එකිනෙක පැත්තේ ඇති කාටයම් පහත දැක්වෙන විදිහට විස්තර කරන්න පුළුවන්.
උතුරු පැත්තේ කැටයම් දකුණු කෙළවරේ ඉදල
1 අතක් ඔසවාගත් කේශර සහිත ගජසිංහ රුපය,
2 දකුණු උර මත කඩු මිටක් රැදුණු කෙස් වැටිය විදහා ගත් යුධ භටයා,
3 සිංහයා,
4 නැටුමක යෙදෙන වාමනයා,
5 පිටුපසට හැරුණු සිංහයා,
6 මල්ලව පොරය
7 නැටුමක යෙදෙන වාමනයා (තරමක් දුරට විනාශ වී ඇත.),
8 සිංහයා (තරමක් දුරට විනාශ වී ඇත.),
9 නැටුමක යෙදෙන වාමනයා (වම් කකුල කැඞී ඇත.) හා
10 කේසර රහිත ගජසිංහ රුව
නැඟෙනහිර පැත්තේ කැටයම් දකුණු කෙළවරේ ඉදල
1 වාඩි වූන සිංහයා,
2 දකුණතින් චාමරයක් ගත් වාමනයා,
3 වාඩි වූ සිංහයා (මෙම සිංහ රුව අනෙකුත් සිංහ රූපවලට වඩා සියුම් හා විචිතර අයුරින් කැටයම් කර ඇත.),
4 ඍෂිවරයා හා ඇත් රුව : සිංහ පොකුණෙහි කැටයම් අතර විශේෂම කැටයමයි. මෙහි ඇති සැරසූ ඇත් රුවෙහි දකුණු අත හා වම් පාදය නමා හොඬයෙන් පොළොව ස්පර්ශ කරයි. හොඬයෙන් යමක් දරා සිටින ඇත් රජු දමනය වී ඇති අයුරකින් නිරූපණය වේ. ඇතු ඉදිරියේ හිටගෙන ඉන්න ධෝතියක් ඇදගත් ඍෂිවරයා වම් අතින් හක් ගෙඩියක් දරා සිටින අතර දකුණු අතින් ඇතුගේ කුම්බස්තලය පිරිමදියි. මුහුණ පුරා රැුවුල වවා ඇති ඍෂිවරයාගේ උඩු රැවුල ද හොඳින් දක්වා ඇත. මෙය පොළොන්නරුව පොත්ගුල් විහාරයේ තියෙන සෘෂි රූපය සිහිපත් කරයි.
5 වාඩි වූ සිංහයා (ඉහත 3 රූපයට සමානය),
6 කකුල් පටලවාගත් මල්ලවකරුවන්ගේ පොරය,
7 වාඩි වූ සිංහයා (3 හා 5 කැටයම්වල ඇති සිංහ රුවට සමාන ය)
8 වාමන රුවක් බව අනුමාන කළ හැකි වේ. පස්වලින් ආවරණය වී ඇත.
බටහිර පැත්තේ කැටයම් දකුණු කෙළවරේ ඉදල
1 වාඩි වූ සිංහයා,
2 තරිභංග කාන්තාව
3 පැත්තකට හැරි ඉදිරිය බලා සිටින සිංහයා,
4 යුගල නර්තන රුව හා බටනලා වාදකයා,
5 පැත්තකට හැරී ඉදිරිය බලා සිටින සිංහයා,
6 වීණා වාදකයා
7 වාඩි වූ සිංහයා
ඉහත විස්තර කළ කැටයම් තීරුවලට ඉහළින් එක් පැත්තකට 2 බැගින් වූ වාමන රූප 6ක් අල්ප උන්නතව දක්වලා තියෙනවා. මේ කැටයම් අතුරින් කලාත්මක බවින් වැඩිම ඒවා ඇත්තේ නැඟෙනහිර දෙසයි. පොකුණෙහි ප්රධාන පැත්ත සිංහ රුපය ඇති පැත්ත වුවත් ඊට ප්රතිවිරුද්ධ පැත්තේ කැටයම් අනෙක්වාට වඩා වැඩි කලාත්මක බවකින් දක්වා ඇත්තේ ඇයි යන්න විමසිය යුතත්තකි.
සිංහ පොකුණට පිවිසෙන තැන හුනුගලකින් හදපු කැටයම් නැති සඳකඩපහණක් දැකගන්න පුළුවන්. එ වගේම පොකුණ ඉදිරියේ විෂ්කම්භය අඩියක් පමණ වන ඇඹරුම් ගලක් ද දැකගන්න පුලුවන්. මෙතැන නාන අයට අවශ්ය ආලේපන ඇඹරීම සඳහා මෙය යොදාගන්න ඇති.
මිහින්තලේ වැනි විශාල නිර්මාණ ප්රමාණයක් ඇති තැන්වල ඇවිදිද්දි අමතක නොකර මේ වගේ කුඩා නිර්මාණත් දැකබලා ගන්න එක වටිනවා. ඒ නිර්මාණ වැඩි අවධානයකින් නැරඹුවොත් සාමාන්යයෙන් දකින දේට වඩා වැඩි යමක් දැකගන්නත් පුළුවන් වේවි. මේ මිහින්තලේ කණ්ඨක චේතියට පස්සේ කැටයම් වැඩිම ප්රමාණයක් ඇති තැන.
…………..අන්තර්ජාලය ඇසුරෙනි…………..

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!