රජ බිසව වීමට අකමැතිව කොස් ගසේ සැගවුණු කුමරිය (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

සිංහල රාජාවලියේ අවසන් පාලකයා විදියට සලකන්නේ ක්‍රි.ව. 1707-1739  අතර කාලය තුළ මහනුවර රාජධානිය කොටගෙන විසූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා. සිංහලයන් සතුව අඛණ්ඩව පැවත ගෙන ආ සිංහල රාජවංශය අවසන් කල සිංහල රාජ උරුමය නායක්කාර් වංශිකයන්ට හිමිකළ පාලකයා ලෙස විවේචනයට ලක් වෙන්නෙත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා. ඒ වගේම ඔහු ගැන කතා කරද්දි තවත් විශේෂම කාරණයක් වෙන්නේ රාජකීය ඔටුන්න ගං දියේ ගිල්වූ සිංහලේ එකම රජුත් ඔහු වීමයි. ඉතින් සෙල්ලම් නිරිදු ලෙස ජනකවියා විසින්  හඳුන්වනු ලැබූ ඒ රජු වඩාත් සෙල්ලක්කාර, විනෝදයට බර දුර්වල පාලකයෙක් ලෙසටයි සලකනු ලබන්නේ. කොහොමවුණත් රජු සරණ කර ගන්නට ගෙන්වූ එක් කුමාරිකාවක් රජුගේ බිසව වීමට අකැමැත්තෙන් කොස් ගස් බෙනයක සැඟවුණු අපූරු කතා පුවතක් ඉතිහාසයේ සඳහන්  වෙනවා.

ඉතින් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා දෙවන විමලධර්මසූරිය රජුගේ පුතු වුණා. ඔහු රාජ්‍යත්වයට පත්වෙන්නේ ඔහුට වයස අවුරුදු 17 ක් වෙද්දී. මේ රජු නායක්කාර් වංශික කුල කුමරියක් සරණ කර ගත් බවත්  එවකට ඒ මංගල උත්සවයට ඕලන්ද ආණ්ඩුකාර තැනගේ විශේෂ සහාය ද ලැබී තිබුණා. ඒ වගේම මේ මංගල උත්සවය ඉතාමත් ඉහලින් පවත්වා ඇති බවයි සඳහන් වෙන්නේ. නමුත් මේ අග බිසව ගෙන්වා සරණ පාවා ගැනීම රජ මාළිගයේ වඩුග බලය වර්ධනය වීමට පදනම සැකසුණු අතර එම තීරණය වඩුගයන්ට රාජ්‍යත්වය සඳහා බලපෑම් කිරීමට තරම් වර්ධනය වූ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.

කෙසේ වුවත් මෙම අග බිසවට දරුවන් නොමැති වූ  බැවින් දේශීය කාන්තාවක් (විජයරාජ දේවිය )සරණ පාවාගත් අතර ඇයටත් දරුඵල නොමැති වුණා. ඉන්පසු උඩුමාලේ දේවිය සරණපාවා ගත් නමුත් ඇයටත් දරුවන් ලැබුණේ නැහැ. ඒ නිසාම රජු නැවත උඩුමාලේ දේවියගේ සහෝදරියන් දෙදෙනා ද සරණ පාවාගත් අතර රජුට ඔවුන් දෙදෙනාගෙන් හෝ දරුවන් ලැබුණේ නැහැ. සිහසුනට උරුමක්කාරයෙකු නොමැතිවීමෙන් රජු ඉතාමත් කලකිරීමෙන් වාසය කළ බැවින් රජුගේ හිතවත් අමාත්‍යයන් හා පුරෝහිතයන් ද කණස්සල්ලට පත්ව එයට පිළියමක් සෙවීමට කටයුතු කළා.

ඉතින් මේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා කුඩා කාලයේ දී හැදී වැඩී තිබුණේ කුරුකොහොගම නම් ප්‍රදේශයේ.රජුට රාජ්‍යයේ අනාගත උරුමක්කරයෙක් නොමැති නිසා සෝදිසියෙන් සිටි ඇමතිවරුන්ට කුරුකොහොගම වලව්වේ ඉතාමත් රූමත් තරුණ කුමරියක් සිටින බව දැන ගන්නට ලැබුණා. ඇය ඒ වලව්වේ හීන් කුමාරි වුණා.නමුත් ඒ වෙද්දි නරේන්ද්‍රසිංහ රජතුමා අධික වයෝ වෘද්ධ තත්ත්වයේ තමයි සිටියේ. නමුත් ඇමතිවරුන් ඒ රූමත්  තරුණ කුමරිය ගැන රජුට පැවසූ විට රජු බොහෝ සතුටට පත්වෙලා ඒ කුමරියව කැඳවා ගෙන එන ලෙස නියෝග කර සිටියා.

රජුගේ නියෝගයෙන් කුමරිය කැඳවා ගෙන ඒමට රාජපුරුෂයන් හා අමාත්‍යවරුන් එම ප්‍රදේශය බලා ගමන් කළ නමුත් හීන් කුමාරි රජු වයෝවෘධ නිසා මෙයට අකමැතිව එයින් මිදීමට වලව්ව අසල ඇති කොස් ගසේ බෙනයක සැඟවුණු බවයි ජනප්‍රවාදයේ සඳහන් වන්නේ. රජ කුමරියක් වෙන්නට කැමැත්තක් තිබුණත් රජු බොහෝ වයසින් වැඩිමහළු අයෙක් නිසා ඇය මේ යෝජනාවට කැමැති වුණේ නැහැ.නමුත් රාජපුරුෂයන් ඇයව සොයා ගැනීම නිසා ඇයට රාජපුරුෂයන් සමඟ කුණ්ඩසාලේ පිහිටි  වීර පරාක්‍රමබාහු රජුගේ රජ මාලිගයට යාමට සිදුවුණා.

කුරුකොහොගම ඇළ දොළ ගංගා පසුකරමින්,හීල් ඔය, මහරවෙල, කරලියද්ද, තෙල් දෙණිය, උඩදුම්බර, මැද මහනුවර, දුම්බර මිටියාවත  සිරිමල් වත්ත යන ගම්මාන පසු කරමින් මේ රූමත් තරුණිය දුකින් ගමන් කළා. නමුත් ඇයට කෙසේවත් වයෝවෘධ රජෙකුගේ රජ බිසව විය නොහැකිය යන කාරණය ඇයගේ සිතට වද දුන්නා. ඉතින් ඒ නිසා ඇය කළු කෑල්ල ගම්මානයට පිවිසෙද්දිම තම දිව ඇද හපා ගනිමින් සිය දිවි තොරකර ගත්තා. මේ සිදුවීමෙන් ඇමතිවරයන් සහ රාජපුරුෂයන් මහත් කලබලයට පත්වුණා. කරකියා ගන්නට දෙයක් නොමැතිව ඔවුන් මේ පණිවුඩය රජු වෙත සැලකර සිටියා.ඒ පුවත ඇසූ රජු මහත් ශෝකයට පත්ව ඇය ගැන මහත් අනුකම්පාවෙන් ඒ කුමරියගේ දේහය මහත් හරසරින් ආදාහනය කළා. ඒ මහනුවර පාතදුම්බර උඩුගම්පහ කෝරළයට අයත් පිලවල ගමේ කොටසක කළු කෑල්ල නම් ප්‍රදේශයේ.

මේ කුමරිය කළුරිය කළ ප්‍රදේශය කළු කෑල්ල ලෙසට අදටත් ව්‍යවහාර වෙනවා. ඒ වගේම රජු මහත් ශෝකයෙන් ඇයව ආදාහනය කළ ස්ථානය ආසන්නයේ ඉතාමත් දර්ශනීය ගල් තලාවක බෝධි වෘක්ෂයක් රෝපණය කර ඒ අසල කළු ගල මටසිළුටු කර පොකුණක් ද නිර්මාණය කළා. අද වන විට මේ ස්ථානය බෝධි ගල් රජ මහා විහාරය ලෙස හඳුන්වනු ලබනවා.එය උඩුදුම්බර උඩසිය පත්තුවේ කුරුකොහොගම රජමහා විහාරය මගින් පාලනය කරනු ලබනවා.

ඉතින් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ රජ බිසව වෙන්නට අකමැතිව හීන් කුමරිය සැඟවුණු ඒ කොස් ගස අදටත් කුරුකොහොගම වලව්වේ දකින්නට හැකියාව පවතිනවා. අපූරු  ඓතිහාසික කතා පුවතක් හා බැඳී ඇති ඒ කොස් ගසට අද වෙද්දි එල්ල වන තර්ජන නම් නිමක් නැහැ. අසල නිවසක පියස්සකින් ගසේ බෙනයට වැසි ජලය ගලාඒමට සැලැස්වීමෙන් අද වෙද්දී ඒ කොස් ගස විනාශ වීමේ අවදානමකට ලක්ව පවතිනවා. නමුත් ඒ පැරණි ගම්වාසීන් අදටත් මේ හීන් කුමරි සැඟව සිටි සුවිසල් කොස් ගස රැක ගන්නට මහත් වෑයමක් දරනු ලබනවා. ඉතින් අපේ දේ රැක ගන්නට ඔවුන් දරනා උත්සාහය සැබැවින්ම අගය කළ යුතුයි.

ඉතින් මේ සිදුවීම් නිසා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුට අනාගත උරුමක්කාරයෙක් ලැබුණේ නැහැ. ඒ නිසාම සිංහල රාජ්‍යයේ අනාගතය ගැන රජු මහත් බියෙන් පසුවුණු බව සඳහන් වෙනවා. ඔහුගෙන් සිංහල රජ පරපුර අහිමි වීමත් අකමැත්තෙන් හෝ සිය නායක්කාර් වංශික අග බිසවගේ සහෝදරයෙක් වුණු හඟුරන්කෙත කුමරු ලෙස ප්‍රසිද්ධව සිටි වඩුග කුමරුට රජකම හිමිවීමත් නිසා රජු දැඩි කනස්සල්ලෙන් පසුවී තිබෙන බව සඳහන් වෙනවා. රජුගේ අග බිසවත් එවකට රජ මාලිගයේ වැඩි බලයක් පතුරවාගෙන සිටි වඩුග ඥාති පරපුරේ වගේම සිංහල ඇමතිවරුන් එක්ව කළ කුමණ්ත්‍රයක් නිසා ඒ යෝජනාවට රජුට එකඟ වෙන්නට සිදුව තිබුණා. ඒ නිසාම රජු සිංහල රාජකිය ඔටුන්න වඩුග රජෙක්ට ලබාදෙන්නට කැමති වුණේ නැහැ.

ඩී.පී.වික්‍රමසිංහ මහතාගේ මගදිගට ජනකතා නම් කෘතියට අනුව සඳහන් වන්නේ රජකම පැවරීමේ යෝජනාව සඳහන් තල්පතට රාජ ලාංඡනය තබා අත්සන් කළ රජු පසුව තම සිරියහන් ගබඩාවට වැදී “ අහෝ මගෙන් පසු වසර දෙදහස් පන්සිය ගණනක් සූර්ය වංශික සිංහල රජ දරුවන් අත බැබළුණු මිණි කිරුළ වඩුගයෙකුගේ හිස මතට යන්නේ ය.මේ නිසා අනාගත සිංහලයන්ගේ චෝදනාව මා වෙත පැටවෙන්නේ යැයි සිතමින් හැඩූ බවත්, එයින් ඇති වූ චිත්ත සන්තාපය රජුගේ රෝගය උත්සන්න කළ බවත් ය.”  ඒ  ශෝකයෙන් රජු මෙතෙක් කල් ක්ෂත්‍රීයන්ගේ හිස මත බැබළුණු  ඔටුන්න වඩුගයෙකුගේ හිසට යා නොදෙන බවට සිතා තමාට හිතවත් රාජ පුරුෂයෙකු සමඟ මහවැලි ගං තෙරට ගොස් රාජකීය ඔටුන්න එහි ගැඹුරු වක්කලමක ගිල්වූ බවයි සඳහන් වන්නේ. එනිසා සිංහල රජවරුන් පැලදි රාජකීය ඔටුන්න නම් හඟුරන්කෙත කුමරුට පළඳින්නට අවස්ථාව හිමිවුනේ නැහැ. කොහොම නමුත් ඔටුන්න ගංදියේ ගිල්වූ සිංහලේ එකම රජු ලෙසට ඔහු ඉතිහාසයට එකතු වෙනවා.

ඉතින් නරේන්ද්‍රසිංහ රජුට සිංහල රාජවංශය අවසන් කළා යැයි චෝදනා කිරීම එතරම් සාධාරන නොවන වගයි ඒ අනුව පෙනෙන්නේ.නමුත් වඩුග ඥාති පරපුරේ ඇත්තන්ගේ සහ නායක්කාර් වංශික අග බිසවගේ කුමණ්ත්‍රණ හමුවේ සිංහල රජ පෙළපත එයින් අවසන් වුණා. ඉන්පසුව  ලංකාව බ්‍රිතාන්‍ය අතට පත්වන තුරුම ලංකාවේ පාලනය ගෙන යනු ලැබූවේ එදා නායක්කාර් වංශික රජුගෙන් ඇරඹි වඩුග පරම්පාරාවේ රජවරුන්ය.

 

උපුටා ගැනීම: The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!