සම්බෝධිය පතා පණපිටින් මමි බවට පත්වෙන භික්ෂුන් වහන්සේලා (සංස්කෘතිය හා කළා නිර්මාණ)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

තුන් ලෝකයටම ශ්‍රේෂ්ඨ වුණු භාග්‍යවතුන් වහන්සේ ආත්මයෙන් ගැලවෙන්නට විමුක්තිය පසක් කර ගන්නට පුද්ගලයෙක් ගමන් කළ යුතු මාර්ගය පැහැදිලිව දේශනා කර වදාළ සේක. නමුත් එදා බුදුන් වැඩ සිටි කාලයේදී පවා බෞද්ධ දර්ශනය ඇතැමුන් සිතූ සිතූ පරිද්දෙන් විවිධ මුහුණුවරයන් ඇතුළත් කරමින් මතවාද ගොඩනගා ගත්තා.ඉතින් සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර සිය ගණනක් ගතවීමෙන් පසුව බෞද්ධ දර්ශනයට පටහැනි කරුණු කාරණා ඇතුළත් වීම පුදුමයට කාරණයක් නොවෙයි. ජපානය බෞද්ධයන් වාසය කරන බෞද්ධ රටක්. එරටේ එක් කාලයකදී වැඩි වශයෙන් කතාබහට ලක්වුණු සම්ප්‍රදායක් නිර්මාණය වෙලා තිබුණා. මේ සම්ප්‍රදාය තමයි සම්බෝධිය පතමින් මමිකරණයට පත්වීම.

ඇතැම් අය කියන විදියට මෙය කලාවක් සහ විද්‍යාවක්. කොහොමවුණත් මේ අමුතු සම්ප්‍රදාය “ෂොකුසින්බත්සු ” නමින් හඳුන්වනවා.ජපානයේ ෂින්ගොන් නිකායේ භික්ෂූන් වහන්සේලා මේ ක්‍රමය භාවිතා කරමින් මමි බවට පත්ව තියෙනවා. මේ ක්‍රියාවලිය ස්වයං මමිකරණය (Self Mummification )ලෙසටයි හඳුන්වනු ලබන්නේ.ජපන් බසින් කියවෙන විදියට ෂොකුසින්බත්සු කියන්නේ සිරුර තුළ බුදු කෙනෙක් කියන අදහස. ඉතින් ඔවුන්ට අනුව ආත්මයෙන් ගැලවෙන්නට විමුක්තිය සෙවීමේ මාර්ගයක් තමයි මේ කලාව.

නමුත් මෙය ථේරවාදී බෞද්ධ දර්ශනය සමඟ ගත් විට කෙතරම් පටහැනි කාරණාවක් ද යන්න ඔබට වැටහෙනවා ඇති. එදා බුදුන් වැඩසිටි කාලයේ පවා විවිධ මිත්‍යා අදහස්වල එල්බගත් දර්ශනවාදීන් දඹදිව වාසය කළා. විමුක්තිය සඳහා පව් සේදීම සඳහා ආදී වශයෙන් භෞතිකව යම් යම් දුක්ඛදායක තත්වයන් සිදුකරමින් සිටි බව පොත පතේ සඳහන් වෙනවා. මෙයත් එක්තරා විදියකට මිත්‍යා මත හා එල්බගත් දෙයක් ලෙසට හඳුන්වන්නට හැකියි. සිරුරට දුක්දීමෙන් විමුක්තිය පසක් රගත් නොහැකි බව බුදුන් වහන්සේ දේශනා කර වදාළ සේක. කොහොමවුණත් යමගටා ප්‍රදේශයේ වාසය කරපු ෂින්ගොන් භික්ෂූන් වහන්සේලා විසින් මේ ක්‍රමය සිදුකර මමි බවට පත්වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අදටත් බොහෝ ඉහළම අලෙවියක් ඇති “Living Buddhas: the Self Mummified Monks of Yamagata,Japan ” කෘතිය තුළ ඇත්තේ ද මේ ෂින්ගොන් භික්ෂූන් වහන්සේලා අතර ජනප්‍රියව පැවති මේ ක්‍රමය පිළිබඳවයි .

ඉතින් ජපානයේ මේ භික්ෂූන් වහන්සේලා ෂොකුසින්බත්සු ශුද්ධ වූ කාර්යක් ලෙසටයි සැලකුවේ . මේ ක්‍රමයෙන් තුසිත දෙව්ලොවට යන්නටත් එහි අවුරුදු ලක්ෂ 16ක් ජීවත්ව ලෝකය ආරක්ෂා කරන්නටත් හැකි බව උන්වහන්සේලාගේ විශ්වාසය වුණා.නවවන සියවසේ දී මුලින්ම කුකයි නම් භික්ෂූන් වහන්සේ නමක් ඒ ක්‍රමයි අත්හදා බලා තියෙන බවට වාර්තා වෙනවා.

කොහොමවුණත් මේ ක්‍රමය සැබැවින්ම පහසු කාර්යයක් වුණේ නම් නැහැ. එය ඉතාම වේදනාකාරි දෙයක් වුණා. නමුත් පෙර සඳහන් කළ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඒ භික්ෂූන් වහන්සේලා මේ ක්‍රමයට යොමුව වේදනාකාරී මමිකරණය සඳහා කැපවුණා.එහිදී විශේෂ කොට සැලකූ කාරණය තමයි මරණයෙන් පසුව සිරුර කුණුවීමෙන් වළක්වාගැනීම.

මේ ෂොකුසින්බත්සු කලාව තුළ වුණු රහස තමයි ඉතාම කටුක ආහාර රටාවක් අනුගමනය කරමින් වේදනාවන් යටපත් කරගෙන භාවනා කිරීම. මේ ෂොකුන්බත්සු ක්‍රියාත්මක කරන්නට නම් අවම වශයෙන් අවුරුදු 3ක් වත් අවශ්‍ය වෙනවා. ඒ  සඳහා  වූ නිවැරදි ක්‍රමවේදය වසර ගණනාවක් තිස්සේ පැරණි රහසක් ලෙස පැවත ආ එකක් විදියටයි වාර්තා වෙන්නේ. කොහොමවුණත් මේ ෂොකුන්බත්සු සැමදෙනාටම ක්‍රියාත්මක කළ හැකිවෙන්නෙත් නැහැ. ඒ නිසාම ඇතැම් අයට එය කිහිප වතාවක් උත්සාහ කර බලන්නටත් සිද්ධ වෙනවා.

මේ ෂොකුන්බත්සු ක්‍රියාවලියේ දී භික්ෂූන් වහන්සේලා සකසා ගත් විශේෂ ආහාර වට්ටෝරුවක් තිබුණා. Tree eating විදියට හඳුන්වන මේ ආහාරවේල සඳහා භාවිතා කළේ ශාකවල මුල්, පොතු, කොළ, ගෙඩි, මල් ආදී පංචාංගයන් පමණයි.එහිදී ගස්වල පංචාංගය හැරුණාම පයින් ගස්වල ඉදිකටු වගේ තුඩු ආහාරයට එකතු කර ගැනීමත් මේ ක්‍රියාවේදී අනිවාර්ය වුණා. මේ භික්ෂූන් වහන්සේලාගෙන් ස්වයං මමිකරණයට සූදානම් වන ඇතැම් භික්ෂූන් වහන්සේලා චීන ලාකඩ ගසේ සාරය තේ සමඟ මිශ්‍රකර පානය කළා. උරුෂි නමින් හැදින්වුණු ඒ පානයෙන් ඔවුන් ආහාර රුචිය උපදවා ගන්නයි භාවිතා කළේ. ඒ හැරුණම එයින් සිරුරේ විස ඉවත් කරන්නටත් මරණයෙන් පසුව සිරුර විවිධ උපද්‍රවවලින් අරක්ෂා කර ගන්නටත් අපේක්ෂා කළා. මේ තෝරාගත් ආහාර වේල කෙසේවුවත් වාර්තා වෙන විදියට ඇතැම් මමිවල උදරයේ තිබී ගං පතුල්වල ඇති කුඩා ගල් කැට පවා හමුව තියෙනවා. මේ කටුක අහාරවේලත් සමඟම ඔවුන් ජලය පානය කළේ ඉතාම සුළු ප්‍රමාණයක්. පසුකාලීනව කිසිවක් පානය නොකරන තත්ත්වයට උන්වහන්සේලා මේ ආහාර රටාව සකස් කරගනු ලබන බවයි පැවසෙන්නේ.

The Bizarre and Unappetizing Buddhist Monk Practice of Self-Mummification

ඉතින් මේ සාමාන්‍ය ආහාරවේලෙන් මිදී මෙවැනි කටුක ආහාරයන් ගැනීමෙන් ඔවුන් අපේක්ෂා කළේ මුලින්ම සිරුර මමිකරණය සඳහා සූදානම් කිරීම සහ සිරුරේ අස්ථිවල මාංශපේෂී සහ මේදය දිය කිරීමයි. ඒ වගේම ශරීරය අභ්‍යන්තරයේ ස්වාභාවිකව ඇතිවන බැක්ටීරියා සහ පෝෂ්‍ය පදාර්ථ වියළීමත්, තෙතමනය ඉවත් කිරීමටත් අපේක්ෂා කළා. කොහොමවුණත් අතිශය දුෂ්කර පිළිවෙතක් වුණු මේ ක්‍රියාවලියේදී භික්ෂූන් වහන්සේලාගේ මානසික ඒකාග්‍රතාවය ඉහල දමන බවත් පිළිගනු ලැබුවා.

කොහොමවුණත් මේ දුෂ්කර කටුක ආහාර වේල එකදිගට දවස් 1000ක් ලබාගත යුතු වෙනවා. මේ දීර්ඝ කාලය තුළ උන්වහන්සේලා සම්පූර්ණයෙන්ම භාවනා කිරීම සඳහා මුළු කාලයම කැප කරනු ලබනවා. කල්යත්ම මරණය ළඟාවෙත්ම ඒ භික්ෂූන් වහන්සේලාගේ බැතිමතුන් විසින් විශේෂ කටයුතු කිහිපයක් සිදු කරනු ලබනවා. එහිදී උන්වහන්සේ වෙනුවෙන් පොළවට අඩි 10ක් යටින් කුඩා ලී පෙට්ටියක් සකස් කරනු ලබනවා. එය පයින් ලීයෙන් කරන ලද්දක්. ඉන්පසුව මේ භික්ෂූන් වහන්සේලා මරණය කරා ළඟා වනතෙක් ඔවුන්ට අනුව නම් සම්බෝධියට පත්වන තෙක් ඒ භික්ෂූන් වහන්සේලා ඒ පෙට්ටියේ වැතිරී සිටිනවා.

මේ භික්ෂූන් වහන්සේට හුස්ම ගැනීමට පෙට්ටියට කුඩා උණ බටයක් ඇතුල් කරනු ලබන අතර ඉන්පසු පෙට්ටිය අඟුරුවලින් වසා කුඩා සීනුවක් උන්වහන්සේ අතට ලබාදෙනවා.ඉතින් මේ විදියට පණපිටින් මිහිදන් වන භික්ෂූන් වහන්සේ අන්ධකාරයේ ගිලී භාවනා කරන අතර ඔවුන්ගේ අවසාන මොහොත ළඟාවෙද්දි උන්වහන්සේ අත රැඳි සීනුව නාදකරනවා.ඒ සංඥාවෙන් බැතිමතුන් සහ අනෙකුත් භික්ෂූන් වහන්සේලා ඒ ස්ථානයට පැමිණ ඒ කුටිය මුද්‍රා තබා වසා ඒ ආකාරයෙන් තවත් දවස් 1000ක් ඒ විදියටම තබා ගන්නවා.

Expedition Magazine - Penn Museum

ඉන්පසු දවස් 1000 ගත්වුණු පසුව පෙට්ටිය විවර කරන බැතිමතුන් සිරුර නරක්ව ඇත්දැයි බලා සිරුර හොඳ තත්ත්වයේ පවතී නම් ඒ භික්ෂූන් වහනසේ ෂොකුසින්බත්සු තත්ත්වය නැත්නම් සම්බෝධිය ලබාගත් බව පසක් කරගන්නවා.ඉන්පසුව මේ සිරුරට හොඳ ඇදුම් අන්දවා පුද පූජා සඳහා පන්සල වෙත රැගෙන යනවා.

මේ ආකාරයට සම්බෝධිය වෙනුවෙන් ස්වයං මමිකරණය වීම 1801-1877 කාලය දක්වාම ක්‍රියාත්මක වුනත් ඉන්පසුව මෙය තහනමට ලක්වුණා. මේ කාලය තුළ ගමටාවේ භික්ෂූන් සිය ගණනින් මේ සඳහා උත්සාහ කළත් එය සාර්ථක වී තිබුණේ අවස්ථා 20 ක් පමණ බවයි වාර්තා වෙන්නේ. කොහොමවුණත් බුදුන් වහන්සේ විමුක්තිය උදෙසා දේශනා කළ මාර්ගය සිරුරට දුක්දීම නොවෙයි.ඒ නිසාම ඒ පිළිවෙත භික්ෂූන් වහන්සේලාට නොගැලපෙන කාර්යයක් ලෙසට සලකා ජපන් රජය ස්වයං මමිකරණය තහනම් කරනු ලබනවා.

නමුත් අද මේ ෂොකුසින්බත්සු තහනම් වුණත් එදා මමිකරණයට ලක්වුණු භික්ෂූන්ගේ මමි ජපානයේ යමගටා ප්‍රදේශයෙන් දකින්නට හැකියාව ලැබෙනවා.

 

උපුටා ගැනීම: The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!