සේයාරුව (කෙටි කතාවක්) (පෙම් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“නිම්මි… ඔයා බිසී ද ?”
තම කැබින් එකේ දොර බාගයක් විවෘත කර සිනහමුසු
මුහුණින් සිටගෙන සිටින දිනූකාට විශේෂ යමක් තමාට කීමට ඇති සෙයක් නිමන්ති ට දැනිනි.
“ඔව්. හදිස්සි වැඩක් තමයි දැන් කරන්නේ. මට ටික වෙලාවක් දෙනවද ?”
“හරි.. මම ආයිත් එන්නම්”
දිනුකා නික්ම ගිය පසු නැවත සිය කාරියෙහි නිරත වූවත් සිතේ පෙර තිබූ එකලස් භාවය නැති සෙයක් නිමන්තිට හැඟිණි.
දිනුකාගේ පිබිදුන වත කමලෙන් පෙනුණේ ඇය කීමට අර අඳින්නේ නරක දෙයක් විය නොහැකි බවයි. එය කුමක් විය හැකිද? ඇය ට කිසිම දෙයක් සිතා ගත නොහැක. හැකි ඉක්මනින් සිය රාජකාරි කටයුත්ත අවසන් කළ නිමන්ති දිනූකා ව සොයා ගියා ය.
අගනුවර ප්රසිද්ධ නිෂ්පාදන ආයතනයක අංශ දෙකක සේවය කළ ඔවුන් දෙදෙනා පාසල් වියේ සිටම මිතුරියන් වූහ.
“මොකක්ද ඔයාගෙ ලොකු ආරoචිය ? මෙයාගේ හිනාව නම් මට වැඩිය අල්ලන්නේ නෑ….”
නිමන්ති තරවටු බැල්මක් හෙළුවාය.
“ඔයා නිසා මට මගේ යාළුවෙක් මුණ ගැසුණා”
දිනුකා ගේ ප්රීතියෙන් බබළන දෑස් වලින් කියන
කතාවට තමාගේ සම්බන්ධය කුමක්ද යන්න නිමන්ති ට සිතාගත නොහැකි විය.
“මොකක්… කවුද.. ඒ?”
“අවුරුදු ගානකට ඉස්සෙල්ලා මගේ හිතේ හිටපු කෙනෙක්. ඒ කාලේ එයා මාව ගණන් ගත්තෙවත් නෑ. අන්තිමට දැක්කෙ අවුරුදු හතරකට විතර ඉස්සෙල්ලා. අඩුම තරමේ ඉන්නවද නැද්ද කියලවත් දැනගෙන හිටියේ නෑ. ඒත් එයා දැන් මට කෝල් කරනවා ඔයාට පින්සිද්ද වෙන්න..”
“මොකක්ද අනේ ඔයා කියන්නේ…මට නම් කිසිම දෙයක් තේරෙන්නේ නෑ”
නිමන්ති.ගේ වදන් වලින් දිනුකාගේ සිත අතීත ස්මරණ අතර අතරමං විය.
උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු කලමණාකාර අභ්යාසලාභී පත්වීමකට ලද කැඳවීමක් අනුව එක්තරා පෞද්ගලික ආයතනයකට සම්බන්ධ වූ අයුරු ද භද්ර යෞවනයේ සිටි තමාගේ සිත ඒකපාර්ෂික ප්රේම කතාවක අතරමං කළ එම සිදුවීම ද ඒ සමඟ සිහිපත් විය.
කුඩා සේවක මඩුල්ලකින් යුතු ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්රයට සම්බන්ධ ආයතනයක් වූ එය ඇයට පාසලක් බඳු වූයේ වෘත්තීමය වශයෙන් ලද පළමු අත්දැකීම එය වූ නිසාය.
එහෙත් සහෘද සියල්ලෝ සම වයසේ සිටි නිසා අපහසුවකින් තොරව වැඩකටයුතු කරගැනීමට දිනුකාට හැකි විය. ඔහුව මුලින්ම දුටු එම අමතක නොවන දිනයද දිය යටට ගිය රබර් බෝලයක් උඩට එන්නාක් මෙන් ඇයට සිහිපත් විය.
දිනුකා එදින වෙනදාටත් වඩා කලින් කාර්යාලයට පැමිණියේ බස් නැවතුමේ සිටින විට මෝටර් රථයකින් එතැන පසුකර ගිය පවුලේ ඥාති කෙනෙක් කාර්යාලය ළඟින්ම ඇය බස්සවා යෑමට කාරුණික වූ නිසාය.
පිළිගැනීමේ කවුන්ටරය පසුකර තම අසුන කරා ගමන් කරන විට දිනුකාගේ නෙත ගැටුණේ අමුත්තන් සඳහා වූ අසුනකට බරවී තම අතෙහි තිබූ ලියැවිල්ල දෙස කල්පනාබරිත දෙනෙතින් බලා සිටි තරුණයකු වෙතය. ඔහුගේ පෙනුම සහ හැඳ පැලඳ සිටි විලාශය අන් තරුණයන්ට වඩා බොහෝ වෙනස් බව ඇයගේ අවධානයට ලක්විය. සිනමා පුවත්පත් වල දකින කලාකරුවකු සිහිගන්වන ඔහුගේ රූපකාය නිම්මිගේ සිතෙහි සටහන් වුණේ නිමේෂයකිනි.
ඇය ඔහු පසුකරමින් යන විට ද එකම ඉරියව්වේ සිටි නිසා භාවනාවක නිමග්න වී සිටින ලෙසක් දිනුකා ට සිතුනි.
මෙලෙස කාර්යාලයේ දී ප්රථම වරට මුණගැසුනු ඔහු නිදහස් වෘත්තීය සැලසුම් ශිල්පියකු බව නිම්මි පසුව දැන ගත්තාය.
ඉන්පසු බොහෝ අවස්ථාවල ඔහු කාර්යාලයේ ගැවසෙනු දුටුවත් සිනහවකින් හෝ සංග්රහ නොකල නිසා ඔහු හා කතා කිරීමට අවශ්ය වුනත් ඇයට ධෛර්යයක් තිබුණේ නැත. කාලය බොහෝ වේගයෙන් ගලා යද්දී දිනක් ඇයට දැනගන්නට ලැබුණේ රසාංජන නම් වූ මෙම තරුණයා තමන් භාරගත් ව්යාපෘතිය අවසන් කර ඇති නිසා නැවත කාර්යාලයට නොපැමිණෙන බවය.
කාර්යාලයේ අවසන් දිනයේ දී හෝ ඔහු නිහඬව පිටවී ගියා මිස අන් අය හා දොඩමලු වීමට කිසිම උත්සාහයක් ගත්තේ නැත.
මෙම අමුතු ගතිගුණ සියල්ල නිසා මතක ගබඩාවේ අමතක කල නොහැකි ඡායා මාත්රයක් ලෙසින් දිනුකා ගේ සිතෙහි ඔහු ලැගුම් ගෙන සිටියේය.
ඔහු එම ආයතනයෙන් ඉවත්වී මාස ගණනකට පසු දිනුකාටද අගනුවර ප්රසිද්ධ ආයතනයකට යොමුකළ අයදුම්පතකට කැඳවීමක් ලැබුණි. එම රැකියාව ලැබීම ඇයගේ අතිමහත් සතුටට කරුණක් වූයේ කුඩා කළ සිට දැන හැඳින සිටි නිමන්ති එම කාර්යාලයේ ම වෙනත් අංශයක රැකියාව කරන බව දැනගත් මොහොතේ ය.
“ඒයි දිනූ…කොයි ලෝකෙද අතරමං වුණේ. මේ ලෝකෙ නම් නෙමෙයි දැන් හිටියේ “
එකවරම ඇසුන නිම්මිගේ කටහඬින් දිනුකා සිහින ලෝකයෙන් මිදුණාය.
“කවුද ඔයාට මම නිසා හම්බවෙච්ච යාළුවා. කියන්නකෝ අගය කරන්නෙ නැතුව”
“මගේ ජීවිතයේ කවදාවත් මට නැවත මුණ ගැහෙයි කියලා නොහිතපු කෙනෙක්”.
“ඒ කවුද අප්පේ ඒ…”
“මගේ ඉස්සෙල්ලා ඔෆිස් එකට ආව ගිය කෙනෙක්.
නමුත් මූණක් බලලා කවදාවත් හිනාවෙලා වත් නෑ. පුදුම ආඩම්බරකමක් ඒ දවස් වල තිබුනේ”
“හරි හරි.. තව ටිකක් තේරෙන බාසාවකින් කියන්නකො”
“නිම්මි.. ඔයාට මතකද දවසක් ඔයා අපේ ෆොටෝ එකක් ගත්තා ගෲප් එකේ තරඟයකට අරින්න කියලා..”
“ඔය කියන්නෙ අපේ ගෲප් එකේ තිබුන photography competition එකනේ”
“අන්න හරි…”
ඡායාරූපකරණය ගැන විශාල උනන්දුවක් දැක්වූ නිමන්ති හැකි සෑම අවස්ථාවකදීම ඡායාරූප ගැනීම පුරුද්දක් කරගෙන සිටියාය. ඇය සතු කුඩා කැමරාවෙන් ඡායාරූප තරඟයට යැවීම සඳහා යෙහෙළියන් කිහිප දෙනකු කැමැති කරගෙන ගත් නිර්මාණශීලී ඡායාරූපයේ ලස්සන සිනහවකින් මුව සරසා ගත් දිනුකා ඉදිරියෙන්ම සිටි බව ඇය ට මතකය.
“මේකට නම් අනිවාර්යයෙන්ම ප්ලේස් එකක් හම්බවෙයි”
එය දුටු බොහෝ අයගේ නිගමනය විය.
‘සිනහමුසු මුහුණෙන් රාජකාරි කිරීම’ යන තේමාව යටතේ පැවැත්වූ මෙම තරඟයට නිමන්ති යැවූ ඡායාරූපයට දෙවන ස්ථානය ලැබී ඇති බව ප්රතිඵල නිකුත් වූ දින දැනගන්නට ලැබීම දිනුකා ඇතුලු කාර්යාලයේ සියලු දෙනාටම ප්රීතිජනක ආරංචියක් විය.
“මගේ යාළුවා හම්බවුනේ ඔයාගේ අර පින්තූරය නිසයි!”
“මොකක් …?? හරි පුදුමයි නේ…”
නිමන්ති දිනුකා ගේ විස්තරය අසා සිටියේ පුදුමයෙනි.
“ඔව් පුදුමයි එත් ඇත්තයි. ඔන්න දවසක් කෝල් එකක් ආවා ඔෆිස් ෆෝන් එකට.
මම හිතුවා මොකක් හරි වැඩකට වෙන්න ඇති කියලා දන්නෙ නැති නම්බර් එකක් නිසා.
“හලෝ …මේ දිනුකා සමරදිවාකර ද ..?”
“ඔව් ..කවුද ඔය කතා කරන්නේ …”
“මාව මතකද දන්නෙ නෑ. මම රසාංජන ඇතුගල..”
එම නම ඇසූ පමණින් ඇයට විදුලි සැරයක් වැදුනාක් සේ දැනිණි.
“රසාංජන….????
යුනයිටඩ් කන්ස්ට්රක්ශන් එකේ හිටපු රසාංජන ද ?”
“ඔව් ඒ මම තමයි ..”
“ඔව් මට මතකයි. ඔයා ඒ දවස් වල ඔෆිස් එකට ආවට අපි එක්ක දවසක්වත් කතා කරලා නැහැනේ. අපි හිතුවෙ ඔයාට මොකක් හරි ප්රශ්නයක් තිබුණා කියලා”
“ඇයි අප්පේ ඒ..”
“ඔයා කවදාවත් කාගෙවත් මූණක් වත් බැලුවේ නැහැ නේ… ඒක නෙමෙයි කොහොමද මගේ නම්බර් එක හොයාගත්තේ ..”
“හොයාගත්ත නෙමෙයි ඉබේම හම්බවුණා.
මම වැඩ කරන්නෙත් මේ ගෲප් කම්පනි එකකම තමයි.
අද වෙබ් සයිට් එකේ දාලා තිබුණා photography තරඟයෙන් දිනපු ෆොටෝ තුන. පින්තූරය දැක්ක ගමන් මම ඔයාව අඳුනගත්තා. ඔයාලගේ විස්තරෙත් ඒත් එක්කම දාලා තිබුනනේ. ඉතින් මට හිතුණා ඔයාට කෝල් කරන්න ඕන කියලා. ඔයා දැන් ඉස්සරටත් වඩා ලස්සන වෙලා නේ..”
ඔහුගේ එම කතාව දිනුකා ට අදහාගත නොහැකි විය. කිසිදිනක මුහුණ බලා වචනයක් කතා කර නැති ඔහු තමන්ගේ රූපය ගැන කතා කරන්නේ කෙසේද?
“කවුද නිමන්ති කියන්නේ ඔයාගේ යාළුවෙක් ද…”
“ඔව්. එයා වෙන සෙක්ශන් එකක වැඩ කරන්නේ. අපි දෙන්න පොඩි කාලේ ඉඳලම යාලුවෝ. එයාගේ වදේටම තමයි මම ෆොටෝ එකට හිටියේ.
ඔයාගේ නම මට ගෲප් ඩිරෙක්ටරි එකේ දැකලා පුරුදුයි. ඒත් මම කවදාවත් හිතුවේ නෑ ඒ ඔයයි කියලා”.
දිනුකා රසාංජනට කිව්වේ අවංකවම ය.
“ඉතින් නිම්මි.. ඔන්න ඔහොමයි වුනේ …”
තමාගේ ඡායාරූපය මෙතරම් දුරක් ගිය බව අසා නිමන්ති ටද ඇතිවුණේ ඉතා සතුටකි.
“අනේ හරිම සතුටුයි කාට හරි හොඳක් වෙනවනම් මගේ ෆොටෝ පිස්සුවෙන්..”
“ඔයාට කොහොම තෑන්ක් කරන්නද මන්දා මගේ විශේෂ යාලුවෙක්ව හොයලා දුන්නට. එයා මාව මීට් වෙන්න එනවා කිව්වා. මම එන්න කියන්නම්කෝ ඔෆිස් එකට දවසක් ඔයාව අඳුන්වලා දෙන්න”
දිනුකා කීපවතාවක්ම නිමන්ති ට ස්තුති කළාය.
මුලින් ඇති වූ දුරකථන සංවාද දුරදිග ගොස් දෙදෙනා නොදැක සිටීමට නොහැකි වෙන සේ සිත්වලින් එකතු වුණේ එය සංසාර බන්ධනයක් වියයුතු නිසා බව දිනුකා සිතුවාය.
“මට ඔයා දැන්වත් කියනවද ඒ කාලේ ඔච්චර ආඩම්බර කමින් හිටියේ ඇයි කියලා..”
ඔවුන් හමු වූ එක සැන්දෑවක රසාංජන ගේ අතින් අල්ලාගෙන දිනුකා
විමසූවේ එදා දුටු ඒ නිහඬ තරුණයාත් අද තමන්ට ආදරය කරන ප්රියමනාප තරුණයාත් එක් අයකු විය හැකිද යන්න සිතාගැනීමට පවා නොහැකි වූ නිසාය.
“මොකද්ද ඔයා ඇහුවේ….”
“ඔයා ඇයි ඒ කාලේ ඒ තරම් ආඩම්බර වෙලා හිටියෙ . අපි කැමැත්තෙන් හිටියා ඔයාට කතා කරන්න ..”
දිනුකා ගේ ප්රකාශය රසාංජන ගේ විමතියට හේතු විය.
“ඔයා අන්තිමට කියන්නෙත් නැතුව ගියා නේ..”
එය එසේම බව ඔහුට ද සිහිපත් විය. අතිශයින් කාර්ය බහුල වී සිටි එම කාලවකවානුවේ කිසි කෙනෙකුන් හා දෙඩීමට ඔහුට කිසිම ප්රියතාවයක් තිබුණේ නැත.
“මම ඒ දවස් වල විභාග වල හිර වෙලා හිටියේ. සම්බන්ධකම් ඇති කර ගන්න කිසිම උනන්දුවක් තිබුනේ නෑ මට. Sorry ..
මගේ ගැන වැරදියට හිතුව නම්.. “
“කමක් නෑ ඔයා මට දැන් ඉන්නවනේ. මාව දාලා යන්න එපා කවදාවත්..”
ඇය ආදරයෙන් ඔහුගේ දෙඅත් සිප ගත්තාය.
උපුටා ගැනීම:  දර්ශනී බණ්ඩාර
                    14.09.21
                      Image copied from Facebook

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!