සීඝ්‍රගාමී තැපැල් ( ඉස්කෝලෙ කාලෙ රස කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එතකොට මම හිටියේ 10 වසරේ . අකමැත්තෙන් වුණත් මට ශිෂ්ය නායිකාවක් වෙන්න වෙලා තිබුණා . මගේ කැමැත්තෙන් තොරව, බලහත්කාරයෙන් ඇඟේ ගහපු පට්ටමක්.
“නුවන්” අයියා තමයි ප්රධාන ශිෂ්ය නායකයා . මහ ලොකු ප්රතාපවත් පෙනුමක් නොතිබුණා ට, වැඩි දැඟලිල්ලක් නැති , දක්ෂ කෙනෙක් . තනතුර නිසා ඔළුව උදුම්මාගෙන හිටියේ නැති නිසා ඉස්කෝලෙ හැමෝම වගේ නුවන් අයියාට කැමතියි . මාත් එක්කත් හරිම යාළුයි.
එදා උදේ මම පන්තිය ට එනකොට, ඇවිත් හිටියේ “සරලා” විතරයි. නමට ම ගැළපෙන චරිතෙ . පන්තියේ හිටපු, හිත හොඳ ම, තැන්පත් ම කෙල්ල. මාව දැක්ක ගමන් ම මේකි මගේ ළඟට දුවගෙන ඇවිත්, මගේ අත් දෙකෙන් ම අල්ල ගත්තා. මූණේ හිනාවක් තිබුණා ට, ඇස් දෙකේ කඳුළු පිරිලා.
“අනේ මේනු, මට උඹෙන් ලොකු උදව්වක් ඕනි . “
මහා දිග හෑල්ලක් එක හුස්ම ට කියාගෙන ගියා.
“අර නුවන් අයියා මගෙන් ඇහුවා. මම බෑ කිව්වා. ඒත් එයා ඊයේ මම ඉස්කෝලෙ ඇරිලා යද්දී, ආයෙමත් මගෙන් ඇහුවා. එයාට කැමතියි නම්, උඹගේ අතේ ලියලා එවන්න කිව්වා.”
මාව නිකං කරකවලා අතෑරියා වගේ.
“යකෝ නුවනයා! මූ නිකං ඇල් වතුර වගේ හිටියට ඇරසෝලා පොරක්නේ.” හිතුණේ එහෙම යි. ඒත් ඉතින් කටින් පිට කළේ නෑ.
“නෑ… ඉතින් ඉතින් ?”
“මේනු, මං නුවන් අයියා ට කැමතියි . මට බෑ, එයාට බෑ කියන්න. අනේ උඹට පුළුවන් නේද මේ ලියුම එයාට ගිහින් දෙන්න . “
“හරි, හරි . කෝ දීපංකෝ. මං දෙන්නම් . “
පොඩියට නවපු ලියුම, ගවුම් සාක්කුවට ඔබාගෙන මම දිව්වා.
ගුරුවරු දෙතුන් දෙනෙක් ම නුවන් අයියා එක්ක කතාවක් . දන්නා තරම් පද කස්තිරම් දම දමා මම එතනින් එහාට මෙහාට ගියත්, අදාළ ඇඩ්රස් එකට ලියුම බෙදා ගන්න බැරි වුණා .
බෙල් එකත් වැදුණා .
එසෙම්බ්ලිය පුරාවට ම , මගේ ඔළුව
ඇතුළේ එක ජල්බරිය යි. නුවනයා එක පැත්තක.. සරලා අනිත් පැත්තේ. සිරාම බයිස්කෝප් එක. උන් දෙන්නා ම එක වගේ . තැන්පත් . ඉතින් ගැළපෙනවා. මේ කෙහෙල්මල ඉවර වුණ ගමන් ම, ලියුම දෙන්න ඕනි .
පංති සග පේළිය මඟ ඇරලා, මම හීන්සීරුවේ උසස් පෙළ පන්ති පැත්තට ගෑටුවා. අප්පට සිරි.. සමරසිරි කිව්වලු. විනය භාර සර් ළඟ ළඟ ම එනවා.
“නුවන් අය්යේ, මේක ඔයාට දෙන්න කිව්වා .”
වෙඩි කාපු ඌරා .. නෑ.. ඊරි වගේ මම ආපිට හැරුණා. මීටර සීය බාධක දිවීමේ ඉසව්ව. පඩිපෙළ තුන හතරක් නැඟගෙන, පන්තිය පේන මානයේ බෙලි ගහ යට නැවතුණා ම, යාන්තම් හුස්ම වැටෙන්න පටන් ගත්තා .
“නංගී.. මේනු නේද?”
තොල කට තෙමා ගන්න කෙළ බිඳක් නැතිව, කට පූට්ටු වෙලා ගියා.
එකොළහ වසරේ ඉන්න ස්ටැයිල් කාර නසරානියා මගේ ඉස්සරහා. මට පේන්නම බැරි එකෙක්.
“නංගී..ඔයානේ මේනු .?
“සරලා නංගී ඔයාට කියන්න ඇතිනේ මං ගැන. “
“මං ආවෙ එයාගෙ උත්තරේ දැන ගන්න.”
මොහොතක ට මම ‘නාස්පූර් නාගසලං-රෑ දොළහට මළ හොල්මං’ වෙලා ගියා.
ලෝකෙ උඩුයටිකුරු වෙනවා වගේ මට දැනෙන්න ගත්තා.
“කොයි එකාද යකෝ මේ මරුමූස් නළු බට්ටට ‘නුවන්’ කියලා නම තියපු එකා.”
ඒත් එක්ක ම, මම ප්රින්සිපල්ගෙ ඔෆිස් එකේ ඉන්නවා, මට යාන්තමට පේන්න ගත්තා . තනියම නෙමෙයි . අම්මයි තාත්තා යි එක්ක. ලියුමකුත් තිබුණා මේසේ උඩ. ඒ ළඟින් ම ශිෂ්ය නායිකා බැජ් එක.
පෙනහලු පුපුරුවා ගෙන, බඩ බොකුවැල් අඹරවාගෙන, කියා ගන්න බැරි වේදනාවක් ඇඟ පුරාම දුවනවා. හම්මේ.. මට මේ මොකක්ද වෙන්නේ …!!!
“ඒක ඉන්ටවල් එකේදි දෙන්නම්”
ඒ, මගේ ටිකිරි මොළේ ..
අනේ මම… අසරණ තැපැල්කාරිය, මොහොතක ට කලින් නැඟපු පඩිපෙළවල්
බැහැගෙන, හති හලාගෙන, හැරෙන තැපෑලෙන් ආයෙමත් උසස් පෙළ පන්තිය ඉස්සරහා. දෙයියන්ට පින් සිද්ධ වෙන්න ගුරු මවක් පියෙක් ඇවිත් හිටියේ නෑ.
මහ දවල් පුන් ෂඳ කිව්වලු.
අයියා නුවන්, නුවන් විදාගෙන, සෙනේ කොළේ කියවනවා.
අභ්යවකාශයේ ඉඳන් එකපාරට ම කඩා පාත් වෙන උල්කාපාතයක් වගේ මම කෙළින්ම පැන්නා, අයියා නුවන් ළඟට . රෝම කූපයක් ගානේ ඉඳන් තිබුණු මුළු ශක්තිය ම යොදලා, අත් දෙකෙන් ම උදුර ගත්තා ලියුම .
කෑලි දෙකයි. දා ගත්තා කටට.
එච්චරයි මට මතක.
ඊළඟට මම හිටියේ, මගේ පන්තියේ බිත්ති කණ්ඩිය ට පතබෑවෙලා, කටින් හුස්ම ගනිමින් .
ඉන්ටවල් එකේදි මම පොරොන්දුව ඉෂ්ට කළා.
“සරලා කැමතියි”.
……………………………………………………………………
අදටත් හමු වුණොත්, නුවන් අයියා අහනවා “ඇත්තටම නංගී මොකක්ද ඒ ලියුම?”.
එතකොට මම.. “මොන ලියුම ද අය්යේ !!!”
…………………………………………………………………….
වර්තමාන කතාව
අර නසරානි නුවනයා සා/ පෙළ පාස් වුණේ නෑ. ඊට පස්සේ මම ඒකා ව දැක්කෙත් නැහැ.
ඒත්, කියන්න සතුටුයි .
ආරංචියේ හැටියට ඒකා ට දැන් ජය යි. ඉන්නේ ඉතාලියේ.
ආහ්.. කියන්න බැරිවුණා .
තනියම නෙමෙයි , සරලත් එක්ක.
……………………………………………………………………
“සීඝ්රගාමී තැපැල්” කියන්නෙ මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත් ඉතින්,….. මට නම්, මෙම ම තමා.
…………………………………………………………………….
(පැත්ත මාරු කළ, ඇත්ත කතාවක්.)
උපුටා ගැනීම:  රේණුකා උඩුමුල්ල

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!