සිස්ටර් පිංග්: ලොව දරුණුත ම මිනිස් ජාවාරම්කාරිය (චරිත)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ලෝක ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී විවිධ ක්ෂේත්‍රවලින් ප්‍රසිද්ධියට පත්වුණු කාන්තාවන් රැසක් අපට හමුවනවා. එයින් බහුතරයක් කාන්තාවන් සිය ජීවිත කාලය පුරාවට ම ලෝකයට යහපතක් කරමින් ප්‍රසිද්ධියට පත්වුණු අය යි. තවත් සමහර කාන්තාවන් ඔවුන් සිදු කළ  අයහපත් දේ නිසා ප්‍රසිද්ධියට පත්වුණා. චෙන් චුයි පිංග් හෙවත් සිස්ටර් පිංග් ද එවන් තැනැත්තියක්.

චීනයේ ෆූජියාන් පළාතේ කුඩා ගමක උපත ලැබූ පිංග්, කුඩා කාලයේ දී දුෂ්කර ජීවිතයක් ගත කළා. මුල් යුගයේ දී විවිධ රැකියාවල නිරත වුණු ඇයගේ පියා පසු කලෙක මිනිස් ජාවාරමට සම්බන්ධ වුණා. ඉන් ඔහු ලද ඉහළ ආදායම නිසා චෙන් චුයි පිංග් ද පියාගේ රැකියාව සිය ජීවන වෘත්තිය ලෙසින් තෝරා ගත්තා. වැඩි කල් යන්නට පෙර එම ක්ෂේත්‍රය තුළ නමක් හදා ගත් චෙන් පිංග් පසුව ‘සිස්ටර් පිංග්’ යන නමින් ප්‍රසිද්ධියට පත්වුණා.

 ජීවිතයේ මුල් අවධිය 

1949 ජනවාරි 9 වැනිදා චීනයේ ෆුජියාන් පළාතේ කුඩා ගමක චෙන් චුයි පිංග් උපත ලැබුවා. ඇගේ පියා වුණු චෙන් චුයි ලියුංට කුඩා ගොවිපොළක් තිබුණා. එනිසා පිංග් කුඩා අවධියේ සිට සිය පියාගේ ගොවිපොළේ වැඩ කටයුතුවලට සහාය වුණා. එහි දී ඇය ගොවිපොළේ සිටි සතුන් නඩත්තු කිරීමේ කටයුතු සඳහා වැඩිපුර දායක වුණා. ඒ අතරතුර ගමේ පාසලට ඇතුළත් වී අධ්‍යාපන කටයුතුවල නිරත වුණු පිංග් ඉගෙනීමට එතරම් දක්ෂ දරුවකු වුණේ නැහැ. පිංග් කුඩා කාලයේ දී ඔවුන්ට එතරම් ආර්ථික අපහසුකම් නොතිබුණත් ගොවිපොළ හදිසියේ ම වැසී යාමත් සමඟ ම ආර්ථික ප්‍රශ්න මතු වන්නට පටන් ගත්තා.

එනිසා පිංග්ගේ පියා අසල තිබුණු වනාන්තරයකට ගොස් දර කපා ඒවා විකිණීමෙන් මුදල් සොයා ගත්තා. ඒ වන විට 12 හැවිරිදි වියේ පසුවුණු පිංග් විවේකයක් තිබුණු අවස්ථාවල සිය පියා සමඟ දර එකතු කිරීමට වනයට ගියා. එකල ඇයගේ ගමේ සිටි කිහිපදෙනකු ඔවුන් සමඟ දර වෙළඳාමට එකතු වුණා. එහි දී ගංගාවක් හරහා ඔරුවකින් වනාන්තරය වෙත යාමට සිදුවුණු නිසා එම ගමන ලෙහෙසි පහසු එකක් වුණේ නැහැ. එක් දිනයක පිංග් ඇතුළු පිරිස ගංගාව හරහා යමින් සිටිය දී ඔවුන් ගමන් කළ ඔරුව පෙරළී ගියා. එදා පිංග් සහ ඇයගේ පියා අනූනවයෙන් ජීවිතය බේරා ගත්තා. එය පිංග්ගේ ජීවිතයේ අමතක නොවන දිනයක් බව ඇය පසු කලෙක පවසා තිබුණා.

චෙන් චුයි පිංග් – getty images

පිංග්ගේ පියා අමෙරිකාවට යයි 

පිංගේ පියාට දර වෙළඳාමෙන් ලැබුණු ආදායම එන්න එන්න ම අඩු වුණා. එනිසා ඔහු පිටරටකට ගොස් යහමින් මුදල් සෙවීමට මාර්ගයක් කල්පනා කළා. ඔහුට සිය මිතුරකුගේ මාර්ගයෙන් අමෙරිකාවට හොර රහසේ ම යන්නට අවස්ථාවක් හිමි වුණා. ඒ අනුව පිංග්ගේ පියා අනවසර සංක්‍රමණිකයකු ලෙසින් 1964 වසරේ දී අමෙරිකාව බලා ගියා. අමෙරිකාවේ නිව්යෝක් නගරයේ ජීවත් වුණු ඔහු විවිධ රැකියාවල නිරත වෙමින් මුදල් උපයන්නට වුණා.

එලෙස දුක් මහන්සියෙන් උපයාගන්නා මුදල්වලින් වැඩි කොටසක් මසකට වරක් සිය නිවසට යැවීමට ද ඔහු අමතක කළේ නැහැ. ඒ අයුරින් අමෙරිකානු ජීවිතයට හුරු වුණු පිංග්ගේ පියා රැකියා කිහිපයක නිරත වෙමින් මුදල් සොයා ගත්තා. ඒ අතරතුර චීනයේ සිට අමෙරිකාවට අනවසරයෙන් මිනිසුන් ප්‍රවාහනය කරන පුද්ගලයකු හඳුනාගැනීමටත් ඔහුට අවස්ථාව ලැබුණා. වැඩි කල් යන්නට පෙර ඔහු සමඟ පිංග්ගේ පියා සමීප ව කටයුතු කරන්නට පටක් ගත්තා.

චීනයට යළි පිටුවහල් කිරීම 

70 දශකයේ මැද භාගය වන විට අමෙරිකාවේ නිව්යෝක් නගරය ආශ්‍රිත ව අනවසර සංක්‍රමණිකයන් විශාල ප්‍රමාණයක් ජීවත් වුණා.එනිසා අනවසර සංක්‍රමණිකයන් අමෙරිකාවෙන් පිටුවහල් කිරීමේ මෙහෙයුමක් එරට බලධාරීන් ආරම්භ කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අනවසර සංක්‍රමණිකයන් සොයා නිව්යෝක් නගරය පුරා පරීක්ෂා කිරීම් සිදු වුණා. එම පරීක්ෂාකිරීම්වල දී පිංග්ගේ පියා ද හසු වුණා.

ඉන් අනතුරු ව අමෙරිකානු ආගමන විගමන බලධාරීන් පිංගේ පියා චීනයට යළි පිටුවහල් කළා. ඒ අනුව 1977 වසරේ දී යළි චීනයට පැමිණි පිංගේ පියා රැකියාවක් නොමැති ව ටික කලක් අසීරුවෙන් කාලය ගත කළා. ඒ වන විට පිංග් විවාහ වී නිවසින් පිට ව ගොස් සිටියත් ඔහුට සිය බිරිය සහ බාල දරුවන් රැක බලා ගැනීම සඳහා සැලකිය යුතු තරම් මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වුණා.

පිංග්ගේ පියා මිනිස් ජාවාරමට සම්බන්ධ වීම 

එලෙස දුක සේ කාලය ගතකරමින් සිටි පිංග්ගේ පියාට එක්තරා දිනයක බලාපොරොත්තු නොවුණු අයුරින් ඔහුට පැරණි මිතුරකු හමුවුණා. ඒ අමෙරිකාවේ දී දැන හඳුනාගත් චීන මිනිස් ජාවාරම්කරුවා යි. ආගිය තොරතුරු කතා කිරීමෙන් පසු ව පිංග්ගේ පියා ඔහුගේ දුක්ගැනවිල්ල සිය මිතුරාට ඉදිරිපත් කළා. සිය මිතුරාගේ දුක්ගැනවිල්ල අසාගෙන සිටි මිනිස් ජාවාරම්කරුවා ඔහුට උපකාර කිරීමට තීරණය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් චීනය සහ අමෙරිකාව අතර සිදුවුණු මිනිස් ජාවාරමට පිංග්ගේ පියාට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා. ඒ අයුරින් අහඹු ලෙස පිංග්ගේ පියා මිනිස් ජාවාරමට සම්බන්ධ වීම පසු කලෙක සිස්ටර් පිංග් නම් මහා මිනිස් ජාවාරම්කාරියගේ උපත සිදුවීමට හේතුවක් වුණා.

පිංග් දැරිය අමෙරිකාවට ගිය හැටි 

1969 වසරේ දී චෙන් චුයි පිංග් අසල්වැසි ගමක චුං යික් නම් තරුණයා සමඟින් විවාහ වුණා. ඉන් පසු ඇය සිය සැමියා සමඟ එක්ව කුඩා ව්‍යාපාරයක් ආරම්භ කළා. එම ව්‍යාපාරය එතරම් සාර්ථක නොවුණු නිසා 1974 වසරේ දී පමණ ඇය සිය සැමියා සහ දරුවන් සමඟ හොංකොං බලා ගියා.

එහි දී සිදු කළ ව්‍යාපාරවලින් සාර්ථක ප්‍රතිඵල අත් කර ගත් පිංග් චීනයට යළිත් වරක්  පැමිණ ෂෙන්සෙන් ප්‍රදේශයේ කර්මාන්තශාලාවක් විවෘත කළා. එම කර්මාන්තශාලාව පවත්වාගෙන යමින් සිටි අතරතුර පිංග්ට අමෙරිකාව බලා යාමට වාසනාව පෑදුණා. ඒ අනුව 1981 වසරේ දී අමෙරිකාවට ගිය පිංග් මැන්හැටන් ප්‍රදේශයේ චයිනාටවුන්හි පදිංචි වුණා. ඉන් පසු ව එහි කුඩා අවන්හලක් ආරම්භ කළ පිංග් අනවසර සංක්‍රමණිකයන්ට එහි නවාතැන් දුන්නා.

එකල පිංග්ට අයත්ව තිබුණු වෙළඳසලක් – getty images

මිනිස් ජාවාරම්කාරියක් බවට පත්වීම 

එම කාලය වන විට පිංග්ගේ පියාට මිනිස් ජාවාරමෙන් සැලකිය යුතු තරම් මුදලක් ලැබුණා. එනිසා ඇය ද මිනිස් ජාවාරම ආරම්භ කිරීමට කල්පනා කළා. එහි දී ඇය සිය පියාගෙන් උපදෙස් ලබා ගනිමින් සිය ජාවාරම ආරම්භ කළා. ඒ අනුව චීනයේ සිට අමෙරිකාව බලා අනවසරයෙන් මිනිසුන් ප්‍රවාහනය කිරීම සඳහා හොර හැඳුනුම්පත් සකස් කිරීම ඇය මුලින් ම සිදුකළා.

ඉන් අනතුරු ව තවත් කිහිප දෙනකු සම්බන්ධ කර ගනිමින් ආරම්භ කළ ජාවාරම වැඩි කලක් යන්නට පෙර සාර්ථක වුණා. එහි දී ඇය එක් සංක්‍රමණිකයකු අමෙරිකාවට යැවීම සඳහා ඩොලර් 35,000ක් අය කළා. වැඩි කලක් යන්නට පෙර යහමින් මුදල් ගලා ගෙන එද්දී පිංග් තව තවත් පිරිස් සිය කල්ලියට සම්බන්ධ කර ගත්තා.

ෆුක් චිං කල්ලිය බිහිවීම 

ටික කලක් යද්දී පිංග් ඇය හරහා අමෙරිකාවට ගිය සංක්‍රමණිකයන්ට යම් කිසි සහනයක් ලබාදීමට කටයුතු කළා. ඒ අනුව මුලින්ම නියමිත මුදලින් හරි අඩක් ගෙවා අමෙරිකාවට ගොස් ඉතිරි භාගය පසුව ගෙවීමේ අවස්ථාව ලැබුණා.  සමහර පුද්ගලයන් අමෙරිකාවට යාමෙන් පසුව ඉතිරි මුදල් නොගෙවා කට්ටි පැනීම නිසා පිංග් අපහසුතාවයට පත්වුණා.

එවන් අවස්ථාවල දී එම පුද්ගලයන් අල්ලා ගෙන ඔවුන්ගෙන් නියමිත මුදල ලබා ගැනීම සඳහා මැරවරයන් කණ්ඩායමක් සිය කල්ලියට සම්බන්ධ කරගැනීමට පිංග් කටයුතු කළා. එලෙස පිංග්ගේ මිනිස් ජාවාරම වටා ගොඩනැගුණු කල්ලිය පසුව ෆුක් චිං යන නමින් හැඳින්වුණා. එම කල්ලිය හැඳින්වීම සඳහා ‘ස්නේක්හෙඩ්ස්’ යන අනවර්ථ නාමය ද භාවිත කළා.

සංක්‍රමණිකයන්ට දුන් වද බන්ධන

නියමිත මුදලෙන් හරි අඩක් ගෙවා අමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගෙන් ඇතැම් උදවිය රැකියාවක් සොයා ගැනීමෙන් පසුව එම මුදල් ගෙවීමට පැහැර හැරි අවස්ථාවල දී ඔවුන් පැහැර ගැනීම සඳහා ෆුක් චිං කල්ලියේ සාමාජිකයන් සූදානම් කර තිබුණා. එලෙස පැහැරගන්නා පුද්ගලයන් රඳවා තබා ගෙන දරුණු වද බන්ධන ලබා දුන්නා. ඔවුන්ගෙන් වඩා වැඩි මුදලක් අය කර ගැනීම ද සිදු කළා. එහි දී සිදු වුණු දරුණු පහර දීම් නිසා සමහර පුද්ගලයන්ට මරණය පවා උරුම වුණා.

80 දශකයේ අග භාගය වන විට මහා පරිමාණයේ මිනිස් ජාවාරම්කාරියක ලෙසින් ප්‍රසිද්ධ සිටි පිංග් හැඳින්වීමට වැඩි දෙනකු භාවිතා කළේ ‘සිස්ටර් පිංග්’ යන සුරතල් නාමය යි. 1989 වසරේ දී කැනඩාවේ ටොරොන්ටෝ ගුවන් තොටුපළේ දී  කැනේඩියානු රහස් පොලිසිය සිස්ටර්පිංග්  අත්අඩංගුවට ගත්තා. ඉන් පසු  FBI ඒජන්තවරයකුට චයිනාටවුන් පාතාලය ගැන තොරතුරු ලබා දුන් නිසා හිරෙන් නිදහස් වීමට ඇයට අවස්ථාව ලැබුණා.

ප්‍රවාහනය කළ සංක්‍රමණිකයන් – daydaynews.cc  

මිනිසුන් ප්‍රවාහනය කළ නෞකාවක් අනතුරට පත්වීම 

80 දශකයේ අග භාගය වෙද්දී සිස්ටර් පිංග් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක හිමිකාරියක් වුණා. ඇය එම නෞකාව යොදා ගත්තේ අමෙරිකාවට අනවසරයෙන් මිනිසුන් ප්‍රවාහනය කිරීම සඳහා යි. එහි දී නැවෙන් ප්‍රවාහනය කළ අයට ඉතාමත් අවම පහසුකම් ලබාදුන් ඇය ඔවුන්ගෙන් ඒ සඳහාත් වැඩි මුදලක් අය කිරීමට තරම් අකාරුණික වුණා.

ගෝල්ඩන් වෙන්චර් නමින් හැඳින්වුණු එම නෞකාව 1993 ජූනි මාසයේ එක්තරා දිනයක නිව්යෝක් නගරය ආසන්න මුහුදේ ප්‍රදේශයක දී මුහුදුබත් වුණා. එම අවස්ථාවේ නැවේ 300ක පමණ පිරිසක් සිටියා. නැව අනතුරට ලක්වුණු අවස්ථාවේ මුහුදට පැන දිවි බේරාගත් සමහර පුද්ගලයන් කොටු කර ගත් අමෙරිකානු ආරක්ෂක අංශ ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කළා. එම ප්‍රශ්නකිරීම්වල දී අනාවරණය වුණේ මෙම මිනිස් ජාවාරම පිටුපස සිස්ටර් පිංග් සිටින බව යි.

ගෝල්ඩන් වෙන්චර් නෞකාව – newsday.com

රහස් පොලිසියට කොටුවීම 

ගෝල්ඩන් වෙන්චර් නෞකා අනතුරට සිස්ටර් පිංගේ සම්බන්ධයක් ඇති බව හෙළිදරවු වීමෙන් පසුව පිංග් පසුපස පැන්නූ රහස් පොලිසිය 1994 වසරේ දී ඇය අත්අඩංගුවට ගත්තා. එහි දී ඇයට විරුද්ධ ව ඉදිරිපත් කළ අධි චෝදනා පත්‍රය දුටු පිංග්,  ඇයට කිසිම ගැලවීමක් නැති බව තේරුම් ගත්තා. ඇය සූක්ෂම අයුරින් හිරෙන් පලා ගොස් අප්‍රසිද්ධියේ ජීවත් වුණා. ඒ අතරතුර ඇයගේ කල්ලියේ සෙසු සාමාජිකයන් එකතු වී ජාවාරම් කටයුතු සුපුරුදු පරිදි කරගෙන ගියා.

එලෙස රහස් පොලිසිය සමඟින් කට්ටි පනිමින් සිටි සිස්ටර් පිංග් අල්ලාගැනීම සඳහා රහස් පොලිසිය දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළා. අවසානයේ දී ඔවුන්ගේ දැලට ඇය හසු වුණා. ඒ අයුරින් 2000 වසරේ අත්අඩංගුවට පත්වුණු පිංග්ට එරෙහි ව මිනිස් ජාවාරම, පුද්ගලයන් ප්‍රාණ ඇපයට ගැනීම, මුදල් විශුද්ධිකරණය ඇතුළු ව චෝදනා රැසක් එල්ල වුණා. ඉන් පසුව පැවති දීර්ඝ නඩු විභාගයකින් පසුව 2005 ජූනි මාසයේ දී සිස්ටර් පිංග් සියලු ම චෝදනාවලට වරදකාරිය වුණා. ඒ අනුව ඇයට වසර 35ක සිර දඬුවමක් නියම කෙරුණා.

සිස්ටර් පිංග් රහස් පොලිසියට කොටුවීමෙන් පසු – getty images

නඩු විභාගයෙන් පසුව ඩැන්බරි හි ෆෙඩරල් බන්ධනාගාරයේ රඳවා තැබුණු සිස්ටර් පිංග් කනස්සල්ලෙන් කාලය ගත කළා. එම කාලය තුළ සිය ජීවිත කාලය පුරා ම කළ අපරාධ මතක් වුණු බව ඇය වරෙක පවසා තිබුණා. එලෙස වසර ගණනාවක් සිර දඬුවම් විඳිමින් සිටි සිස්ටර් පිංග්ගේ නිදන්ගත රෝග උත්සන්න වීම හේතුවෙන් 2014 වසරේ දී ඇය දැඩි ලෙස රෝගාතුර වුණා.

ඉන් අනතුරු  බන්ධනාගාර වෛද්‍ය සේවකයන් ඇය ප්‍රතිකාර සඳහා යොමු කළා. නමුත් ඇයගේ සෞඛ්‍යය තත්ත්වය එන්න එන්න ම නරක අතට හැරුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2014 අප්‍රේල් 24 වැනිදා සිස්ටර් පිංග් සදහට ම දෙනෙත් පියා ගත්තා. ඒ අයුරින් තවත් මහා පරිමාණයේ අපරාධකාරියගේ අවසානය සිදුවුණා.

 

උපුටා ගැනීම: roarmedia

 

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!