සිතා මතා නොවේ (හොල්මන් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
” විසි කරලා දාලා එන්න තිබ්බේ , ඇයි ඕක අරගෙන ආවේ “
” හොද ෂැම්පු බෝතලයක් , කඩලවත් නැද්ද කොහෙද අපරාදේනේ. ඇළට නාන්න ආපු කාගෙ හරි අතින් අතඇරිලා වතුර එක්ක ගහගෙන ගිහිල්ලා මාර අත්තක හිරවෙලා තිබ්බේ. මගෙ බාටේ වතුරේ ගහගෙන ගිහිල්ලා කෙලින්ම නතර වුණේ මේ ෂැම්පු බෝතලය ලඟමයි හරියටම මට පෙන්නලා දුන්න වගේ “
අක්කා හා නංගී කතා කරන දේවල් ඇසී ඒ දෙසට මම ගමන් කලේ කුතුහලයෙනි.
” බල්න්න අයියේ මේ අක්කා ඇළෙන් අහුලගෙන ඇවිල්ලා ෂැම්පු බෝතලයක් “
මා ආ බව දුටු නංගී අප්රසාදයෙන් මෙන් කියත්ම මගේ ඇස් එකවරම ගියේ අක්කාගේ අත රැදි ෂැම්පු බෝතලය වෙතටය. එය තරමක් මිළෙන් වැඩි ෂැම්පු බෝතලය බව බැලූ බැල්මට පෙනේ.
” ඉතින් මොකෝ වෙන්නෙ දෙන්න එක්කම ගාන්නලා…. “
” අපෝ මමනම් ගායි , කාගෙ එකක්ද කවුද දන්නේ හොයලා ඒක දෙන්නෙ නැතුව මෙයාටනම් නිකම් ඒක අරන් ඇවිල්ලා නිකම් රටක් රාජ්යක් දිනුවා වගේ. “
නංගී කිව්වේ නොරිස්සුමෙන් අක්කා දෙස බලමිනි..
ඒ නංගිගේ සොබාවයි. ඇය අන් සතු කිසිම දෙයක් තමා සතු කරගැනීම කිසිම කැමත්තක් නොදැක්වූ අපූරුම කෙල්ලෙකි.
” ගානවා තමා , මෙයාටනම් ඉතින් කකුළට මැණින් ගලක් පෑගුණත් අහුලගන්න එකක් කියලාවැයි. “
අක්කා එතනින් ගියේ නංගීට විරිත්තා සමච්චලේට සිනාවකුත් දාගෙනමය.
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
මට සහෝදරයෙක් හා සහෝදරියන් දෙදෙනුකු සිටි අතර එයින් අයියා ගමෙන් පිටව රැකියාවක් කිරිම සඳහා නගරයට ගොසින් උන්නේය.
ගෙදර උන් අයගෙන් අක්කා මට වඩා වසර දෙකකින් වැඩිමල්ය. නංගී මට වඩා වසර දෙකකින් බාලය.
මගේ සොහොයුරියන් දෙදෙනා බොහෝ විට රණ්ඩු වෙන හැටි මම නිතර දැක ඇත්තෙමි.
21 වන සියවස උදාවී වසර තුනක් ගතව තිබුණද අපේ ගමේ ඒ වනවිටත් බොහො නිවෙස් කටු මැටි බිත්තිවලින් සමන් විතවූ පොල් අතු සෙවිළි කල වහළවලින් යුතු නිවෙස් විය. අපේ නිවසද එවන් නිවසකි. අසල් වැසි ගම්මානයට විදුලි බලය පවා ලැබී තිබුණද අපේ ගමය එම විදුලි බලයද නෝවිය.
අක්කාට ෂැම්පු බෝතලය හමු වී දින දෙකක් ගතව ගිය දිනට එළබි රැය මට නිදිමරන්න සිදු වුණ රැයක් විය. ඊට හේතුව වූයේ වෙන එකක් නිසා නොව , මම අධික ලෙසටම ක්රිකට් උමතුවෙන් පිරි තරුණයෙකු වීම නිසාවෙනි.
2003 ලෝක කුසලානය අප්රිකා මහද්වීපය කේන්ද්රගතව පැවති නිසාම එක්දින දිවා ක්රිකට් තරග නිමාවට පත්වෙන්නේ මැදියම් රැයේදීය.
දකුණු අප්රිකාවේ ” ඩර්බන් “නගරයේදී ආරම්භ වූ ශ්රී ලංකා ,දකුණු අප්රිකාවට එරෙහිව තරගය ආරම්භ වුනේ ඒ විටත් ශ්රි ලංකා ක්රිකට් කණ්ඩායම මූලික වටයේ ඉදිරියෙන්ම සිටි පසුබිමකදීය.
අපේ ගමේ බොහෝ නිවෙස් වල බැටරියෙන් ක්රියාත්මක වන කලු සුදු රූපවාහිනි තිබුණද, අපේ ගෙදර එවන් රූපවාහිනියක් නොවීය. ඒ නිසාම මාහට මේ තරඟ නැරඹීමට අවස්ථාවක් නොවීය. මම කළේ පොඩි රේඩියෝවක් මිළට ගෙන ear phon වල ආදාරයෙන් තරගවල විස්තර විචාර ඇසීමයි.
නිවසේ සිටි කිසිවකුට එය බාධාවක් නොවුවද , ‘ මූටනම් තනිකරම පිස්සු ‘ වැනි වදන් නිවසේ අය මා දෙස බලා කීම ඉතා සුපුරුදු වදන් විය.
” බලන්නකෝ අම්මේ මට වුණු දෙයක්… “
එදින හවස නංගීගේ නොසන්සුන් හඬ මට ඇසුණේ වත්ත පහළ පතහින් නාගෙන කුස්සිය දෙසින් ගෙට ගොඩ වද්දීමය. පුලුටු ගඳක් මගේ නහයට ආවේත් ඒත් එක්කමය.
” ඇයි මොකෝ වුණේ….”
කුස්සියේ උන් අම්මා ඇසුවාය.
” බුදු පහණ මගේ කොණ්ඩෙට ඇවිලුණානේ අම්මේ…”
නංගී ඇගේ දිගු කෙස් වැටිය අම්මාට පෙන්වන විට මට ආ පුළුටු ගඳේ හේතුව මම තේරුම් ගත්තෙමි.
” මොකක් බුදු පහණට කොණ්ඩේ ඇවිලෙන්න හොද නෑ.. “
” අනේ මංදා අම්මේ කවදාවත් වෙලා නෑ මෙහෙම එකක්නම්..”
නංගීගේ හඬේ ගැබ්ව තිබ්බේ භීතියකි.
නිවසේ බුදු පහණ සෑමදාම සවස හයට පෙර පත්තු කළේ නංගී විසිනි. අක්කාත් ඒ සමඟම කුස්සියට ඇතුලු වූයේ ඇයගේද දිගු කෙස් වැටියත් කඩාගෙනය. ඒ පමණක් නොව ඇයගේ මුවින් නැඟුණු උරුවම් බෑම හමුවේ අම්ම උපරිමේටම කෝපයට පත් වූවාය.
” මොකක්ද ලොකු එකියේ තොට ඔල්මාදෙද මේ කවදාවත් නැතිව උරුවම් බාන්නේ. අනික මේ කොණ්ඩෙත් කඩාගෙන හනස්සක් ගන්න කලියෙන් ඕක නවත්තනවද “
අම්මා කෑ ගැසුවේ අසල පහළ නිවෙස්වල උදවියටත් ඇසෙන පරිද්ද්දෙනි.
” මොනවද අද රෑට උයන්නේ “
උරුවම් බෑම නතර කල අක්කා ගොම මැටි ගෙබිමේ තැනක තබා ඇති ඇතිලිය දෙසට එබුනාය. රෑට ඉවීම සදහා අම්මා මන්නයෙන් කපන ලද වම් බටු කෑලී කීපයක් එම ඇතිලියේ තිබුණි.
” අපෝ බටුයි බතුයිනම් කන්න බෑ අඩුම ගානේ කටට රසට කරෝල කෑල්ලක්වත් බැදල ගන්නකෝ.. “
අක්කා එසේ කියා දුම් මැස්සේ එල්ලා ඇති කරවල කූඩය අතට ගෙන ඒ තුලින් කරවල කෑල්ලක් එලියට ගත්තේ අපිව තරමක් මවිතයට පත් කරවමිනි.
” මේකිට අද මොන යකෙක් වැහිලද මන්දා. එකියක්ගේ කොන්ඩෙට පහණ ඇවිලිලා , අනිත් එකී කවදාවත් නැතිව කරවල බැදලා කන්න ආසාවේ.”
අම්මා තරමක විරුද්ධත්වයක් පෑවද අක්කා එය කිසිම ගානකට නොගෙන කරෝල බැදීම සඳහා කෑලි වලට කැපීමට වූවාය.
මොහොතකින් කුස්සිය පුරාම කරෝල බදින විට එන පුලුටුගඳ පැතිරෙද්දි මට සිතුණේ අහල පහල කැරකි කැරකි උන් යක්කු පෙරේතයින් ඔක්කොම දැන් කුස්සිය ඇතුලට එන්නට ඇතියි සිතුවිල්ලකි.
රාත්රී ආහාර වේලට බදින ලද කරෝලා කෑවේ අක්කා පමණි.
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
” ටක් ටක් ටක්… “
ඇදේ වැතිරී ක්රිකට් තරගයේ විස්තර වලට සවන් දෙමින් සිටි මට එකවරම ඇසුණේ යම් දෙයක් ඒකාකාරී රිද්මයට බිම වදින හඬය.
” අක්කේ උබට අද මොකක්ද මේ හැදිලා තියෙන පිස්සුව , ඒ පාර බෝලයක් අරන් “
නංගීගේ හඬ ඇසුනේ ඒත් සමඟමය. මම ඇඳෙන් නැගිට ඉක්මනින් ඔවුන් සිටි තැනට යන විට දුටුවේ අක්කා බෝලයක් බිම ගසමින් අල්ලන හැටිය. කිසිම දිනක අක්කාගේ මෙවන් හැසිරීමක් නොදුටු මම එය දැක සෑහෙන්න පුදුමයට පත් වුණෙමි.
එය අපි ක්රිකට් සෙල්ලම් කරන විටදී පාවිච්චියට ගනු ලබන බෝලයකි. බෝලය බිමට ගසන එක නතර කල අක්කා එකවරම මා දෙස බැලුවාය. බංකුවක් මත තබා ඇති ලාම්පුවේ ආලෝකයෙන් මම දුටුවේ ඇය මා දෙස බලා සිටින්නේ සමච්චල් සහගත සිනාවකින් බවය.
” උබට තමා මේක ගැලපෙන්නේ… “
ඇය එකවරම ඇයගෙ අත රැදි බෝලයෙන් මට ගැසුවේ පාසල් කාලයේදී මිතුරන් සමඟ එක්ව කරන ලද ” ටකර ” සෙල්ලම මා හට සිහිගන්වමිනි.
වේගයෙන් ආ බෝලය මගේ හිසේ නොවැදී ගොස් බිත්තියේ වැදුණේ මම හිස පාත් කරගත් නිසාවෙනි. එසේ නොවන්න ඒ බෝලය අනිවාර්යයෙන්ම මගේ හිසේ වදින එක නිසැකය.
” මරන්නද හදන්නේ… “
මම ඇයට කඩා පැන්නෙමි..
” ආ…. ; හරිම නිදිමතයි මම යනවා නිදාගන්න… “
බිම තිබූ බෝලය අහුලා ගත් අක්කා එතනින් හියේ මා කියූ දේට කිසිදු පිළිතුරක් නොදීය.
” මොකක්ද නංගී අද අක්කට වෙලා තියෙන්නේ… “
” අනේ මංදා අයියේ කවදාවත් නැතිව බෝලයකුත් අරගෙන “
මා ඇසූ දේට නංගී පැවසුවාය. මට පමණක් නොව ඇයටද අක්කාගේ වෙනස් වීම ප්රෙහේලීකාවක් වී ඇති බවට සැකයක නැත.
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
නිවසේ සියලු දෙනාම නිදන මොහොතේ ක්රිකට් තරගයේ විස්තර විචාරය මම අසා උන්නේ බලවත් උනන්දුවෙනි. පන්දු ඕවර් පහක් සිංහල බසින් විස්තර විචාරය කරන නිවේදකයින් තවත් පන්දු ඕවර් පහක් විස්තර විචාරය කරන්නේ ඉංග්රීසි බසිනි.
කණ්ඩායම් දෙකටම ජයග්රහණය දෝලනය වෙමින් ගිය මේ තරඟයට වැස්සෙන් බාධා එල්ල වූයේ නොසිතූ ලෙසය.
” ක්රී…ක් “
නිවසේ පිටුපස දොර කවුරුන් විසින් හරි ඇරපු හඬක් ඇසුනේඳ ඒත් සමඟමය.
” කවුද මේ මහ රෑ එළියට යන්නේ…. “
මට සිතුණි. ඒ වන විට මා හටද අධික ලෙසටම මුත්රා බරක් තිබුණේ යටි බඩ දෙස වේදානාවට පත් කරගෙනය.
රේඩියෝව ක්රියා විරහිත කොට මම ඇඳෙන් නැගිටිද්දීම කටු මැටි බිත්තියේ තැනක හුන් හූනෙකු ” චුක් චුක් ” හඬ නැගුවේ යම් කිසි සංඥා වක් ලබා දෙන්නට මෙනි.
නිවසේ ඉදිපස දොර කවුරුන් හෝ සම්පූර්ණයෙන් ම ඇර ඇත. මම කුතුහලයෙන් යුතුව ගෙයින් එළියට බැස හාත් පස විපරම් කරන්නට වූයේ එසෙ කලේ පවුලේ කවුරුන්දැයි හොයාගැනීම පිණිසය.
තව දින කීපයකින් මැදින් පුර පසළොස්වක් පෝය ඇති නිසා බටහිර අහසේ අසම්පූර්ණ නොවූ සඳ පායා තිබුණේ හෙට හිරු පායන්නට පෙර බැසයාමට මෙනි.
නිවසෙන් එලියට බැස්සේ කවුරුන්ද කියා සොයාගැනීමට පෙර මුත්රා බරින් නිදහස් විය යුතුය. මම මුත්රා බරින් නිදහස් වන තුරුම නිවසින් එලියට ගිය කෙනා ආපසු නොආ එක ලොකු ප්රෙහේලිකාවකි.
අසල ගස්වැල් සොලවමින් සීතලම සීතල සුළඟක් මගේ ඇඟේ දැවටෙද්දී මම ඉක්මනින් නිවස තුලට ගියේ , නිවසින් එළියට බැස්සේ කවුද කියා සොයාගන්න තුරු මගේ සිතේ ඉස්පාසුවක් නැති හෙයිනි.
වැඩි වෙලාවක් යෑමට මත්තෙන් නිවසින් එළියට ගිය පවුලේ සාමාජිකයා කවුරුන්දැයි මට හොයාගැනීමටම හැකි විය. තාත්තා සුපුරුදු පරිදිම ඔහු නිදන බූරු ඇදේ ඇලවී සුව නින්දේය. අම්මා හා නංගීද ඔවුන් නිදන කාමරේ බිම පැදුරක් මත නිදා සිටි අතර , වෙනදා ඔවුන් සමඟ බිම පැඳුරක නිදාගන්නා අක්කා පේන්නට නැත.
එසේනම් මේ රාත්රියේ නිවසෙන් එළියට ගොස් ඇත්තේ අක්කාය.
අසළ මේසයක් මත තිබූ විදුලි පන්දම අතට ගත් මට ” ටික් ටික් ටික් ” හඬින් කැරකෙන තත්පර කටුවේ හඬ ඇසේ. විදුලි පන්දමේ ආලෝකය මම ඔරලෝසුව දෙසට එල්ල කරන විට දුටුවේ වේලාව මැදියම් රැයට ආසන්න වී ඇති බවය.
” අක්කා මේ තරම් වෙලා මොනවදා එළියේ කරන්නේ “
අද දවල් කාලයේ සිටම ඇයගේ හැසිරීම් රටාවේ වෙනසක් තිබූ බැවින් ඇයට යම්කිසි නපුරු ඉරණමකට මුහුණ දෙන්න යනවාදෝයි මට දැණුනේ ඉවෙන් මෙනි.
නිවසේ අනිත් සාමාජිකයින් ඇහරවන්න උත්සාහයක් නොගත් මම විදුලි පන්දමත් සමඟ නිවසෙන් එලියට බැස්සේ අක්කා හොයගන්නා බලාපොරොත්තුවෙන් යුතුවය.
වත්ත පුරා විදුළි පන්දමේ ආලෝකය එල්ල කරමින් මම අක්කා ගියේ කොහාටදැයි සෝදිසි කළෙමි. නමුදු ඇයගේ චායාවක් නොවීය.
” උම්බෑ… “
වත්ත පිටුපස පොල් ගසක කණු කර සිටි අපේ වස්සකුගේ හඬ ඇසුනේ ඒත් සමඟමය. මම ඉක්මන් පියවරින් ඒ දෙසට යන්නට පටන් ගත්තේ සැකයක් සිතට ආ බැවිනි..
වත්ත පිටුපස පොල් ගස්වල කණු කර බැද සිටි වස්සන් දෙදෙනා හා එකම වැස්සිය උන්නේ නිදාගෙන නොවේ. සතුන් යමකට බිය වී ඇති සැටියක් පෙන්වමින් පොල් ගස් අසල සිටගෙන උන්නේ කලබලයෙන් මෙනි.
එතන සිට මීටර් සීයක් පමණ දුරකින් තිබූ අපේ වත්තේ පතහේ දිය කැලතෙන හඬ ඇසුණේ මගේ සිතේ අවිනිශ්චිත බියක් ඇති කරගෙනය.
මේ බිය තවත් වැඩි වූයේ අසළ ගමක දෙසින් ඇසෙන යක් බෙරයක හඬ ඇසිමත් සමඟය. කලින් මේ බෙර හඬ මට ගාණක් නොවුනද මැදියම් රැයේ වාතය කපා ගෙන ඒ හඬ තරමක් හොදින් ඇසේ..මුලු වයඹ පළාතේම සිටින යකුන් යකින්නන් ඒ යක් පෙර හඬට අපේ පෙදෙසට එනු ඇත්දෝයි මට සිතුණි.
සිටගෙන සිටින වස්සන්ගේ හා එළදෙනගෙද ඇස් යොමුව ඇත්තේ පතහ දෙසටයි. මැදියම් රැයේදී ගවයින් හඬ තලන්නේ ගොපළු යකා වස්සන් අසළ හිදින මොහොතවල් වල්දී බව මම අසා ඇත.
නමුත් ගොපලු යකා යනු වතුරට බය යකෙකු කියාද මම අසා ඇත. සිතට කෙතරම් බියක් ඇතිව තිබුණද මම හෙමින් හෙමින් පතහ දෙසට කිට්ටු කළෙමි. නාසයට එකවරම දැනුනේ ෂැම්පු සුවඳකි.
විදුලි පන්දමේ ආලෝකය පතහ දෙසට එල්ල කරමින් ගමන් කල මම ගල් ගැසී හිට්ටවුණේ එක්වරම දුටු දසුන් නිසාය. පතක ආසන්නයේම විශාල කලු ගලක් ත්බූ අතර මේ පතහට නෑමට එන අය රෙදි සෝදා කුණු යෑමට සිතා එම රෙදි ගලේ ගසන්නේ මේ කලු ගලටය. ඒ කලු ගල මත කාන්තා රුවක් වාඩිව උන්නේ කොන්ඩය කඩාදමාගෙනය. ඇය මීට මොහොතකට පෙර පතහට බැස නා ඇති බව සනාථ කරමින් ඒ දිගු හිසකෙස් වලින් දිය බිංදු වැහේ.
ෂැම්පුවල සුවඳ මගේ නාසයට දැනෙන විට මම යමක් තේරුම් ගත්තෙමි. පෙනුමෙන් ඒ කාන්තා රුව සමාන වුයේ අක්කාගේ පෙනුමටය. එපමනක් නොව ඇය ඇදගෙන උන්නේද අක්කා අදින ගවුමකි. ඇය පතහට බැස ඇත්තේද ගවුම පිටින්මය.
ඇය එකවරම කලු ගල මතින් නැගිට යමක් උඩ දැමීය. එය ක්රිකට් සෙල්ලම් කරන බෝලයක් වූව පමනක් නොව අද දින අක්කා මගේ හිසේ වදින සේ ගැසුවේද ඒ බෝලයෙන් හෝ එවන් බෝලයකිනි.
ඇය දිගටම ඒ බෝලය උඩ දමමින් අල්ලන්න පටන් ගත්තාය.
” ඉතින් කොහොමද අමිත් අයියේ… “
අන්තිමේදී බෝලය උඩ දමන එක නතර කළ අක්කා මගේ නම කතා කළේ ඇයගේ සුපුරුදු හඬින් වුවද උච්චාරනය හාත්පසින්ම වෙනස් ය. එපමනක් නොව අක්කා කිසි දිනක මට නම කියා කතා කළේද නැත.
අක්කාගේ ඇගට කාගේ හෝ මළගිය ආත්මයක් ඇතුලු වෙලාද
මම සිතුවේ ඇයගේ මුණ වසාගෙන තිබූ දිගු කෙස් වැටිය දෙස භීතියෙන් බලාගෙනය.
” මාව අඳුරගන්න බෑ නේද ?”
ඇය සිනාවුණාය.
” කවුද උබ “
” අඳුරගන්න බෑ නේද මම තමා හසිනි.. මතකද එහා ගමේ අඹ ගහක බෙල්ල වැල දාගෙන මැරුණ හසිනි. “
ඇයගේ හඬින් මම හොදටම භීතියට පත් වුණෙමි. මේ විදිහට හැසිරී මැදියම් රැයේ අක්කා මාහට මේ කරනුයේ විහිළුවක් බව කිසිසේත්ම විශ්වාස කළ නොහැක.
ඇය කතා කරන්නේ මීට වසරකට පෙර මිය ගිය හසිනි නැමති යුවතියගේ ස්වරයෙනි. හසින් එල්ලි මිය ගොස් ඇති දසුන මට මැවි මැවී පෙනෙන්නට විය.
” ඇයි උඹ මගේ අක්කාගේ ඇඟට ආවේ… මොකටද ආවේ “
සිතේ භීතිය උපරීමෙටම තිබුණද එය මැඩගෙන මම ඇසුවෙමි.
” උබ හින්දායි අපේ ජීවිතේ විනාෂ වුනේ කියලා උබට තේරුම් කරලා දෙන්න. උබ ඒක දන්නෙ නෑ…. “
” මම මම මොකක්ද උබට කළේ… මම කිසිකෙනෙක්ට මේ වනතෙක් කරදරයක් කරලා නෑ. “
” කරල තියෙනව උබ උබ හින්දයි මට මැරෙන්න උනේ..මළ පෙරේතියක් උනේ උබ හින්දයි. මම මගේ ගෙදර උන්ටත් වෛරය කරනවා. උන් තමා අනිත් උන්.. මම.මෙච්චර කාලයක් ගිය සතිය වෙනකම් මළ පෙරේතියක් වෙලා මගේ ගේදර කැරකි කැරකි උන්ට වද දුන්නා. ඒත් මීට දවස් හතරකට කලින් උන් මාව ගෙදරින් එළියට දැම්මා.මම ආස කරන දේවල් වලින් පෙරේත දානයක් දීලා. ඒත් උබේ අක්කා ඒ දානය දීල කාටවත් මනුස්සයෙක්ට අහුනොවෙන්න ඇළට විසි කරපු මගේ ෂැම්පූ බෝතලය එයාගෙ කරගත්තා. කමක් නෑ කමක් නෑ ඒකෙන් මට මඟක් පෑදුනා උබෙන් පලිගන්න. උබ තමා අපිව විනාෂ කළේ… “
හසිනිගේ ආත්මය කියන අඟක් මුලක් නැති කතාව මට තේරුම් ගැනීමට හැකියාවක් නැත. නමුත් එක දෙයක් තේරුණි. අක්කාගේ ඇඟට මේ ආත්මය ඇවිත් ඇත්තේ පෙර දිනෙක ඇය විසින් අහලාගනු ලැබූ ෂැම්පු බෝතලය හරහාය.
” උබ මේ මොනවද කියන්නෙ කොහොමද මම උබේ ජීවිතේ විනාෂ කළේ.. “
” ඉන්ඩ මම කියන කතාව ඇහුවට පස්සේ උබට තේරෙයි… “
පතහ ඉවුරේ හිටි දිය ගෙම්බෙක් ජබොක් හඬින් දියට පැන්නේ මගේ බියද වැඩි කරගෙනය.
” උබට මතකද උබේ පන්තියෙ හිටපු රමේෂ් “
හසිනිගේ ආත්මය කියත්ම මට එකවරම අපේ පන්තියේ සිටි කෙට්ටු , සුදු නිතර සිනාවෙන් හුන් රමේශ්ගේ රුව මැවී පෙණුනි. පාසලේ එකොළහ වසර තෙක් ඉගෙන ගත් ඔහු එකවරම ඔහුගේ දෙමව්පියන් විසින් හොර රහසේම පාසලෙන් අස් කරගෙන ගියේ කුමන හේතුව නිසාදැයි මම අදටත් නොදනිමි.
” උබලට මතකද ඉස්සර උබල ටකර කියලා සෙල්ලමක් කලා. කණ්ඩායම් දෙකකට බෙදිලා ,මෙන්න මේ වගේ බෝලයක් අරන් එක එකාට බෝලෙන් ගහ ගහ තමා ඒ සෙල්ලම කළේ.. මතකද “
අක්කගේ ඇඟ ඇතුලේ සිටි හසිනිගේ ආත්මය පැවසුවේ අත රැදී බෝලය යළිත් වතාවක් ඉහළට විසිකරමිනි. පාසල් කාලයේ කරන ලද ඒ වේදනාත්ම නමුත් විනෝදාත්මක ටකර සෙල්ලමත් මිතුරන් සමඟ ඒ සෙල්ලම කරන අයුරුත් මට මැවි පෙනුනේ සිනමා පටයක රූප රාමු විලසිනි. ඒ අතර හසිනිගේ ආත්මය පවසන රමේශ් ද සිටින හැටි මට මැවී පෙණුනි.
ඒ සෙල්ලමේ සොබාවය අනුව කෙනෙකුට බොලය අහුවූ විට ප්රතිවාදියාගේ ඇගේ කොහාට හරි ඒ බෝලයෙන් වේගෙන් දමා ගැසිය යුතුය.
” මතකයි නේද උබට , ඔන්න ඔය ටකර සෙල්ලම් කරද්දි උබ දවසක් රමේෂ් ගේ ඔලුවට ගහලා තියෙනවා බෝලෙන්. ඒක කොච්චර දරුණු පහරක්ද උබ තාම දන්නේනෑ. ඒ පහර අවුරුදුදෙකක් විතර යද්දි රමේශ් ගෙ එක ඇහක් පේන්නෙ නැති වෙන්න පටන් ගත්තා. රමේශ් ගේ අම්මලා රමේශ් ව අස්කරන් ගියා. ඒත් ඒ ඇහ පේනනැති අවුල හින්දා නෙමේ.වෙන හේතුවකට.. මම රමේශ් එක්ක යාලු වුනේ රමේශ් ගේ එක ඇහක් පෙන නොපෙනෙන කාලෙදි. රමේශ් මට ගොඩක් ආදරය කෙරුවා. ඒත් උබ කරපු වැඩේ හින්දා රමේශ් ගේ එක ඇහක් ටික දවසක් යද්දි සම්පූර්ණයෙන් ම පේන්නෙ නැතුව ගියා.
කමක් නෑ එක ඇහක් හරි පේනවනෙ කියලා රමේෂ් හිත හදාගත්තත් , තව අවුරුද්දක් විතර යද්දි රමේශ් ගේ අනිත් ඇහත් පේන්නෙ නැතිවෙන්න පටන් ගත්තා. ගෙදර අය මාව අන්ධ කොල්ලෙක්ට කසාද බන්දල දෙන්න කැමත්තක් තිබ්බෙම නෑ. ඒත් මම රමේෂ් ට හදවතින්ම ආදරය කළා. ඒත් එක දවසක් රමේශ් මට නපුරු විදිහට බනින්න පටන් ගත්තා… හසිනි , උබ හින්දා තමා මට මෙහෙම උනේ කියලා බැන්න. මට ඒක දරාගන්න බැරුව තමා එල්ලිලා මැරුණේ..ඒත් ඒත් මට පස්සෙ තේරුණා රමේශ් මට එහෙම.කියල තියෙන්නෙ මම ගැන හිතල බව. එයා මට කොච්චර ආදරේ කලත් එයා ගේ අසරණ කම එක්ක මාව කසාද බදින අදහස අමාරුවෙන් අයින් කරලා. මාව හොද ඇස් පේන පොහොසත් හොද කොල්ලෙක් එක්ක කසාද බැදලා වාසනාවන්ත පවුල් ජීවිතයක් අරන් යන්න සලස්වන්නයි එහෙම කරලා තියෙන්නෙ . රමේශ් ගේ ඇස්වලට සිංහල ඉංග්රිසි හැම බේතම කලා. ඒත් සනීප උනේ නැත්තේ අපේම කරුමෙට “
හසිනිගේ ආත්මය දුකින් කියන දේවල් මම අසා උන්නේ බිය මුසුවූ නමුදු කියාගන්නත් බැරි වේදනාවකිනි. රමේශ් ට මම නිසා මෙවන් ඉරණමක් අත් වී ඇති බව විශ්වාස කරන්නටද අසීරුය. නමුත් එය එසේ වී ඇත.
” උබ නිසා රමේශ් ගේ ඇස් අන්ධ උනා..මගෙයි රමේශ් ගෙයි ලස්සන ආදර කතාව නැති වුණා. ඒ විතරක් ද මම හිතලම මගෙ පණ නහගත්ත හින්දා දැන් මම අවාසනාවන්ත පෙරේත ආත්මයක්. මේ ඔක්කොම වුණේ උබ හින්දා. ඒත් උබ ඒ කිසිම දෙයක් නොදැන මෙච්චර කල් හරි සතුටින් විනෝදෙන් උන්නා. උබත් ඒකට විදවන්න ඕනමයි. මගේ රමේෂ් වගේම උබ ඒක විදවන්න ඕන “
යකින්නක් සේ කෝපයෙන් හසිනිගේ ආත්මය මා හට කඩා පැන්නාය.
” ඒත් ඒත් මම ඒ දේවල් හිතල කල දේවල් නෙමේ..ඒක සෙල්ලමක් විතරයි. “
මම පැවසුවේ හිතා මතා නොකළද සමාව අයදිමිනි.
අවිනිශ්චිත බියක් සිතට දැණුනු බැවින් මම හෙමින් හෙමින් පස්සට ගියෙමි. අක්කාගේ ශරීරය ඇතුලේ සිටින හසිනිගේ ආත්මය යළිත් වරක් අත රැදි බෝලය උඩට විසි කර අල්ලගත්තේ දෙයක් මට තේරුම් කරමිනි.
ඉන් අනතුරුව හසිනිගේ ආත්මය විසින් බෝලය ගෙන මගේ හිසට දමා ගැසුවේ විදිලි වේගයින් ය. කලු ගල් කැටයක් මෙන් වේගයෙන් හිසට වැදුණු ඒ පහර මට දරාගැනීමටත් අසිරූ විය.
” උබ ඒක හිතා මතා කලපු නැති දෙයක් නිසා මට උබට සීයට සීයක්ම දඬුවමක් දෙන්නත් බෑ. ඒත් මට මගේ රමේෂ්ව අසරණකම දරාගන්න බෑ. ඒ හැම වෙලාවෙම මට උබ ගැන වෛරයක් ඇතිවෙනවා… “
වැදුණු පහර දරාගත නොහැකිව මම හිස අත් දෙකෙන් අල්ලාගෙන තණකොල්ල මත වැතුරුණි. මුලු වට පිටාවම භ්රමණය වන්නක් මෙන් මට දැනුණි.
” මල්ලී මල්ලී මොකක්ද උනේ.. “
මම ආයෙම සිහිය ඇවිත් ඇස් ඇරියේ අක්කාගේ කලබල වූ හඬ ඇසීමෙනි. තාම මම සිටින්නේ පතහ අසල තණකොල්ල මත වැතිරීය.
” හසිනි කෝ…. “
” මොන හසිනිද , මට මේ මොකක්ද උනේ කියලා මටත් හිතාගන්න බෑ. මම එකපාරට හිටියෙ පතහ ලඟ , ඒ මදිවට මම පතහට බැහලා නාලත් එක්ක. මේව කොහොමද මම කලේ කියලා හිතාගන්න බෑනේ මල්ලි..”
අක්කා බියවී එසේ කියන විට මට වැටහුණේ මේ වන විට හසිනිගේ ආත්මය අක්කගේ ඇගේ නැති බවයි. මට තරමක් ඈතින් හසිනි මට එල්ල කල බෝලය වැටී තිබුණි.
” යමු අක්කේ ගෙදර ඒක මටත් කියාගන්න තේරෙන්නෙ නෑ.. “
හසිනිගේ ආත්මය යළිත් නොඑන්නම අක්කාගේ ශරීරයෙන් ගොස් උන්නාය.
ඉන් දින කීපයකට පසු රමේෂ් පිළිබදව සොය ඔහු හමුවීමට විවිධ උත්සාහයන් ගත්තද , ඒව අසාර්ථක උත්සාහයන් විය. රමේෂ් ට මෙන් මගේ ඇස් දෙකද නොපෙනී යනු ඇතැයි අවාසනාවන්ත විශ්වාසයක් දැන් මට ඇත.
වසරක් කාලයක් ගතවෙද්දී මගේ වම් ඇස සම්පූර්ණයෙන්ම නොපෙනි ගියේ මගේ සිතුවිල්ල නිවරදි කරමිනි. අනාගතයේ කරන්නට බලාපොරොත්තු වූ සියලුම බලාපොරොත්තු මම සිතෙන් අයින් කරගත්තේ තව වසරක් පමන යන විට මගේ දකුණු ඇසද නොපෙනී මාව සම්පුර්ණයෙන්ම අන්ධයෙක් වෙනු ඇති බවට විශ්වාසයක් තිබූ හෙයිනි.
නමුදු වසරක් ඉක්මවා වසර තුන හතරක් කාලය ගත වුවද මගේ දකුණු ඇස නොපෙනී ගියේ නැත.
“උබ ඒක හිතා මතා කලපු නැති දෙයක් නිසා මට උබට සීයට සීයක්ම දඬුවමක් දෙන්නත් බෑ. ඒත් මට මගේ රමේෂ්ගෙ අසරණකම දරාගන්න බෑ. ඒ හැම වෙලාවෙම මට උබ ගැන වෛරයක් ඇතිවෙනවා… “
අවසන් වතාවට හසිනිගේ ආත්මය මාත් සමඟ කියූ දෑ නිතරම මතක් වෙයි. ඇත්තටම එදා මම රමේෂ්ගේ හිසට එසේ බෝලයෙන් පහරක් එල්ල කළේ සිතා මතා නොවේ. යොවුන් වියේ කෙළිදෙලෙන් උන් අපිට ‘ ටකර ‘ වැනි එවන් සෙල්ලමක් විනෝදාත්මක සෙල්ලමක් වු හේතුව නිසා පමණි. 👉👉👉👉👉👉👉👉👉👉👉👉සමුගන්න අවසරයි 👉👉👉👉 සිතා මතා නොවේ…
උපුටා ගැනීම:  Sagara Sampath

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!