….. සුදු කලිසම …… (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ සිද්ධිය මතක් වෙනකොට අද දවසෙ මම මෙහෙම ඉන්නවා ද කියන එකත් ලොකු දෙයක් . මේක මම උසස් පෙළ 12 වසරේ ඉන්න කාලේ සිදුවුන සිදුවීමක් .
ඒ කාලේ මම ටිකක් දඟකාර ළමයෙක්. ඔය කාලේ වෙනකොට අම්මට කෙසේ වෙතත් අප්පච්චිට නම් මාව එපාම වෙලා ඉන්න ඇති… මොකද එයාලා දෙන්නට වැඩට යනවට වඩා ඉස්කෝලෙට එන්න සිද්ධ වුණා මගේ දඟ වැඩ නිසා.
අපේ ඉස්කෝලේ ගුරු නිවාසෙ තියෙන්නෙ ඉස්කෝල වත්ත කෙරවලේම… M.C කියලා තමයි එතෙන්ට අපි කියන නම. මැන්ටල් ක්ලබ් කියන එක කෙටි කරලා තමයි M.C කියන්නේ. ඕකට ඔය නම දැම්මෙත් මමයි…
M.C එක මතක් වෙනකොට අදටත් ආස හිතෙන තැනක් එතන. ගුරු නිවාසෙ ඉවරවෙනකොටම තියෙන්නේ කළුගල් බැම්මක්. බැම්මෙන් එහා පැත්තෙ දණ්ඩගමුව ඔය ගලනවා . ඔයෙන් එහා පැත්තෙ පාරාදීසයක් වගේ… මාර ලස්සන පොඩි කැලෑවක් තියෙන්නෙ…
ඔයේ වතුර නැති කාලෙට ඉස්කෝලෙ කොල්ලො ඔය හරහා ගිහින් කැලේට පනිනවා… කැලේ ඇතුලේ වැඩි හරියක් තියෙන්නේ වල් බෙලි ගස්… ඒවගේ අතු එහාට මෙහාට නැමිල කොල්ලන්ට ඉඳගන්න, නිදාගන්න සුදුසු පරිසරයක් ස්වභාව ධර්මයෙන්ම හදලා දීලා ..ඒ වගේම මාරම සීතලයි එතන…
ආයෙත් ජීවිතේ එක සැරයක් හරි ඔයෙන් එහා පැත්තෙ සුන්දරත්වය විදින්න ඇත්නම් කියලා මගේ හිත කියනවා…
එදත් මායි සාලියයි, ශාන්තයි ඒ කියන්නේ කොටයි M.C යන්න හිතාගෙන පීරියඩ් එකක් කට් කලා. M.C එකට යනකොට වෙනත් පන්ති වල එවුනුත් ටික දෙනෙකුත් එතැන…
ඔන්න අපි දැන් විවිධ දාර්ශනික දේවල් කතා කර කර විවේක සුවයෙන් ඉන්නවා… එකපාරටම ප්රින්සිපල් එනවා කියලා අර පින්සිපල් සර්ලට ආදරයට කියන නම කියලා හිටපු එවුන් දුවන්න තියාගත්ත…
උතුර දකුණ මාරු උන මට මොන අතකට
දුවනවද කියලා දැන් හිතාගන්න බැරුව වටපිට බලනකොට ඔයත් එක්ක තියෙන බැම්ම ලඟ ලොකු ගහක් තියෙනවා දැක්කා…
හරි මෙතන හැඟෙන්න පුළුවන් කියලා යනකොට අනේ ගහ අස්සේ දෙන්නෙක්ම අමාරුවෙන් හැංගිලා… ආයේ මට හැඟෙන්නෙ ඉඩක් නෑ එතන…
එක්කෝ වැහැලා පිරෙන්න ගලන ඔයට පනින්න ඕනේ, නැත්නම් ප්රින්සිපල් සර් ට අහු වෙන්න ඕන…
අම්මෝ පින්සිපල්ට අහුවෙන එක නම් කොහොමවත් කරන්න බෑ… අනිවා ගෙදරින් ගෙන්නනවා…
කරන්න දෙයක් නෑ … වෙන දෙයක් වෙච්චාවේ කියලා අතේ ඇඟිලි වලින් ගල් තාප්පෙ එල්ලිලා බැස්සා වතුරට…
දැන් මගෙ ඉන ළඟට වතුර… කකුල් දෙක බිම වදින්නෙත් නැහැ එච්චරටම ගැඹුරුයි එතන…
වැඩි වෙලාවක් ඉන්න උන් නෑ ප්රින්සිපල් ගහ ළඟ. ” මෙහෙ වරෙව් දෙන්නම “ගහ ලඟ උන්න දෙන්න මාට්ටු…
අම්මෝ ඇති යන්තම් ලොක්කා මාව දැක්කෙ නෑ ,කියලා හිතට සතුටක් ඇවිත් තප්පරයක් ගියෙ නෑ “රජිව් මම තමුසෙව දැක්කා”කියනවා විතරයි මට ඇහුනේ අත් දෙක තාප්පෙන් ලෙස්සලා මම වැටුනා ඔයට…
පස්සෙ තමයි දැනගත්තෙ ප්රින්සිපල් සර් සැකයට කිව්වා මිසක් මම එතන ඉන්නවාවත් ඔයට වැටෙනවාවත් දැකලා නෑ කියලා…
වතුරට වැටුණු තැනම මම යට ගියා… ටික දුරක් වතුර යටින් ගහගෙන ගිහින් වතුරත් හොඳටම පෙවිල මාව උඩටට මතුවුණා…
ඒ ටිකට මට දැන් අම්මා, අප්පච්චි , මල්ලි ,යාලුවෝ , ගෙදර ආදරෙන් හදන බල්ලෝ ඔක්කොම ටික කෙටි චිත්රපටියක් වගේ පේනවා…
මම කොහොමහරි ඔලුව වතුරෙ යටට යන්න නොදී උඩම තියාගන්න ට්රයි කරනවා… ඔහොම ටික දුරක් ගහගෙන යද්දි දැන්නම් මැරෙයිම කියලා ජීවිතේ අතාරින්න හදනකොටම එක අතකට ගහක අත්තක් අහුවුණා…
මම දැන් විනාඩි පහක් දහයක් විතර මහන්සි යනකම් අතේ එල්ලිලා හිටියා… අමාරුවෙන් දන්න කියන වැඩ ඔක්කොම දාලා ගොඩට අඩිය තියෙන කොටම ආයෙත් ලෙස්සලා වැටුණා වතුරට… සුදු කලිසමයි , සුදු කමිසෙයි ගන්න දෙයක් නෑ මඩ…
ඔයෙන් ගොඩට ඇවිල්ලා ටික වෙලාවක් ඉන්නකොට පන්තියේ දුකට සැපට ඉන්න පාප මිත්රයෝ ටික මාව හොයාගෙන ඇවිල්ලා…
මඩ පාටට ඉන්න මාව දැකලා මුන්ට මාර ජොලි. මැරෙන්න ගිහිල්ලා බේරිලා ඉන්න මට කුනුහරප ගොඩක් ඔළුවට ආවත් කියන්න ගියේ නෑ, මොකද මම ඉන්න තත්වෙ හැටියට මුන්මනෙ මාව ගොඩ ගන්න ඉන්නේ…
අපේ ඉස්කෝලෙ ග්රවුන්ඩ් එක කෙලවර වෙන තැන පිරිමි ලමයිගේ ටොයිලට් පේලියක් තියෙනවා. සාලියයි, කොටයි මාව ඒකට දාල මගෙ සුදු කලිසමයි , කමිසයයි , යට බැනියමයි ගලවලා අරගෙන ගියා හෝදලා ටිකක් වේලල දෙන්නම් කියලා.
මම දැන් යට කලිසම පිටින් ටොයිලට් එක ඇතුලෙ… ඉස්පිරිතාලෙට ලෙඩ්ඩු බලන්න යනවා වගේ ආරංචි වෙන හැම එකාම එනවා දැන් මාව බලන්න.
ටොයිලට් එකෙන් එළියෙ ගොඩක් කට්ටිය ඉන්නවා වගේ… කොල්ලො හිනාවෙන සද්දෙ මට ඇහෙනවා… මෙතන මුන් පිරෙනවා කියන්නේ අනිවාර්යෙන් ලෙඩක්… කිව්වට මුන් යන්නෙත් නෑ… එලියට ගිහින් එළවන්න හිතුනත් එළියට යන්නෙ කොහොමද ….
මම හිතුව හරි. වැඩිවෙලාවක් යන්න වුණේ නෑ කවුරු හරි එනවා වගේ… එලියෙ හිටපු උන් දුවන සද්දෙ මට ඇහුන…
“මොකාද මේ ස්කෝලෙ මැද්දේ කරන්ට් වයර් එකේ ඇඳුම් වනපු එකා” ඉවරයි ඉස්කෝලේ නියෝජ්ය විදුහල්පති මැඩ්ම්. ඇඳුම් වැනුවෙ මම නෙමේ උනාට මම දන්නවා ඔය අඳුම් මගේ කියලා…
ඕන එකක් කියලා මම දැන් සද්ද නොකර ඉන්නවා. ආයෙත් මැඩම් කෑගහනවා… ” කාගෙද මේ ඇඳුම්… අයිතිකාරයෙක් නැත්නම් මම මේවා ඔෆිස් එකට අරන් යනවා… “
දැන් මොකද කරන්නේ…ඇඳුම් අරගෙන ගියොත් අදින්නෙ මොනවද ….”අනේ මිස් ඕවා මගෙ.”මම ටොයිලට් එක එක ඇතුලේ ඉඳලම කෑගැහුවා… මම කියන්නේ කවුද.. ඔය රජීව් නේද ඉන්නේ.. මිස් ආයේ කෑගහනවා…
” ඔව් මිස් ” මම කිව්වා… එහෙනම් එලියට එනවා කියලා මිස් කියපි. දැන් මොකද කරන්නේ එළියට යන්නේ කොහොමද…
උජාරුවට එළියට යන්න මේ ඇඳගෙන ඉන්න එක ජාතික ඇඳුම නෙමෙයිනේ…
අනේ මිස් එළියට එන්න විදිහක් නෑ… මගේ කලිසම තමයි ඔය වේලෙන්න වනලා තියෙන්නෙ…
” තමුසේ හැදෙන්නෑ රජිව්… “
මම අද කලිසමයි පුතයි දෙන්නම අම්මාවම ගෙනල්ලා භාර දෙනවා කියලා මගේ ඇඳුම් ටිකත් අරන් මැඩම් යන්න ගියා .
මම දැන් ඉන්නව… ඉන්නවා… දුවපු උන්වත් එකෙක් නෑ අහළ පහලකවත්… මගේ හිතත් එහෙ මෙහෙ දුවනවා දැන්…
දැන් එළියට යන්නේ කොහොමද… කොළ අතු ඇඳගෙන යන්න පුළුවන්නේද… ඔය වගේ පිස්සු අදහස් මගේ හිතට එනවා…
යකෝ මුන්ට මේක ඉස්කෝලේ මැද්දෙම වනන්න ඕනඋනානේ… යහලුවෝ ගැනත් තරහයි… හිත එහෙ මෙහෙ දුවන අතරේ ඔන්න ආයෙත් ගැහැනු කටහඬක්.. ” රජිව් ඔයා ඇතුලේ ඉන්නවාද …” ටොයිලට් එකේ දොර ලඟින්ම ඇහුනෙ විජිත මිස්ගෙ කටහඬ…
දැන් මගේ කකුල් දෙකත් වෙව්ලනවා… විජිත මිස් කියන්නේ මට හිටිය හොදම යාළුවෙක් උන ජගත්ගේ අම්මා… මිස්ට පුතාලම තුන්දෙනෙක් හිටියේ… ජගත් වැඩිමලා. කොල්ලො තුන්දෙනා අම්මාව දැක්කම ආයෙ සීරුවෙන් තමා. මොනව කියන්නද ඉතින් ” ඉන්නවා මිස් “කියලා මම කිව්වා…
මිස් මගෙන් අහනව ඇඳුම් නැතුව ද ඉන්නේ කියලා… මම කිව්වා නෑ මිස් ඇඳුම් තියෙනවා කියලා… ඇත්තටම ඇඳුමක් තියෙනවනේ මට එහෙම හිතුනා…
එහෙනම් මේ දැන් අම්මට කෝල් කරලා ඉස්කෝලෙට එන්න කිව්වේ ඔයා ඇඳුම් නැතුව ඉන්නව කියලා…
මට දැන් තිස්තුන්කෝටියක් දෙවි දේවතාවුන් සිහි වෙන්න ගත්තා… මම විජිත මිස්ට කිව්වා ඇඳුම් කියන්නේ යට කලිසම පිටින් ඉන්නෙ කියලා…
මිස්ට හිනා යනව වගෙත් තේරුනා… ඒත් මිස් මට දැන් බනිනව… තමුසේ ලාගේ වැඩ හින්දා අම්මලත් ලැජ්ජා වෙනවා…
හරි තමුසෙ ඔහොම ඉන්නවාකො කියලා විජිත මිස් යන්න ගියා…
ටික වෙලාවකින් විජිත මිස් ආයෙත් ජගතුත් එක්ක ටොයිලට් එක ලඟට ආවා… ජගත් අතේ කොහෙන්ද හොයාගත්ත කොට කලිසමකුයි, යටට අඳින පප්පා බැනියමකුයි මට එව්ව ඇඳගන්න… ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ඔන්න මම එළියට ආවා…
මේ අහගන්නවා තව ටිකකින් අම්ම එනවා ඉස්කෝලෙට ඒක හින්දා ඒ මනුස්සයට ලැජ්ජ නොකර ජගතුත් එක්ක අපේ ගෙදර ගිහින් ජගත්ගේ යුනිෆෝම් එකක් ඇදගෙන එනවා කියලා ගෙදර යන්න ත්රීවීල් එකකට දෙන්න සල්ලිත් මගේ අතේ තියලා මිස් ගියා…
අම්මෝ දෙයියෝ මූණ බැලුවා වගේ අපි දෙන්නා ටොයිලට් එක ලගින්ම ඉස්කෝලෙන් එලියට පැනලා ත්රීවීල් එකක් අරගෙන ජගත්ගේ ගෙදර ගියා…
ඔන්න දැන් ජගත්ගෙ යුනිෆෝම් එකක් ඇඳගෙන ගිය ත්රීවීල් එකේම ආපහු එනවා… මේ යකාට මේක මීට වැඩිය හයියෙන් එලවන්නම බැරිද ….තියන හදිස්සියට මට වීල් කාරයව ඇදලා පැත්තකට දාලා මට වීල් එක එළවන්න හිත…
” අයියා ටිකක් හයියෙන් යන්ද ” බැරිම තැන මුගෙන් ඇහුවා… මල්ලි මීට වැඩිය මෙව්වගෙ හයියෙන් යන්න බෑ ..මල පැනලා වගේ මූ කියපි…
වැඩිය කතා කරන්න ගිහින් මේ යකා අපි බැස්සුවොත් තවත් අමාරුවෙ වැටෙන හින්දා මම කට වහගත්තා…
මිස්ලගෙ ගෙදර තියෙන්නෙ කෝන්ගහගෙදර. අපි දැන් කුලියාපිටියෙ මූලික රෝහල පහු කරනවා… මම දැක්කා අපේ අම්මා දිග ඇරපු නැති කුඩයක් අතේ තියාගෙන ඒක දෙපැත්තට වනමින් ඉස්සරහින් දුවනවා… අම්මගේ යහළුවා ඛේමා ඇන්ටි අම්මව අල්ලන්න වගේ පස්සෙන් දුවනවා…
අපේ අම්මා තමා ඒ දවස් වල කුලියාපිටිය ඉස්පිරිතාලෙ හිටපු කාඩියෝ ග්රැෆර්. මම කොහොම හරි අම්මට කලින් ගිහින් පිටිපස්සේ තාප්පෙන් පැනලා ඉස්කෝලේ ඇතුලට ආවා…
මම දන්නවා දැන් අම්මත් එක්ක නියෝජ්ය විදුහල්පති මැඩම් කෙලින්ම එන්නේ ටොයිලට් එක ගාවට කියලා… ඊට කලින් මම ජගතුත් එක්ක ඉස්කෝලේ මැද්දෙන් ඔෆිස් එක පැත්තට ඇවිදගෙන ගියා…
හිතපු විදියටම නියෝජ්ය විදුහල්පති මැඩම් අම්මල එක්ක ටොයිලට් එක පැත්තට එනවා…
මමත් දැන් වීරය වගේ පපුව ඉස්සරහට දාගෙන අම්මල එන පැත්තට යනවා… මාව දැක්කා විතරයි කට්ටියම හොල්මනක් දැක්ක වගේ වුණා…
” මැඩම් මේ ඉන්නෙ පුතා ” අම්මා කියනකොට නියෝජ්ය විදුහල්පති මැඩම් හොල්මන් වෙලා වගේ මගේ දිහා බැලුවා…
” ඔයා රජිව් ටොයිලට් එකේනෙ හිටියෙ ” මැඩම් මගෙන් ඇහුවා…
“කොයි වෙලාවෙද මැඩම් මම හිටියේ.. “
මම ඇඟට පතට නොදැනීම ඇහුවා… ඇයි දැන් ඔයා මාත් එක්ක කතා කරා නේ ටොයිලට් එක ඇතුලේ ඉඳලා…මැඩම් කියනව…
මට ආපු හිනහව එහෙමම එලියට දාලා කවුරුහරි මැඩම්ව රවට්ටලා කියලා මම කිව්වා…
දැන් අපේ අම්මට තදවෙලා… බලන්න මැඩම් දරුවා ඇඳුම් නැතුව කාමරයක ඉන්නවා කිව්වහම මම මෙලෝ සිහියක් නැතුව දුවගෙන ආවෙ… තව පොඩ්ඩෙන් වාහන වලටත් යට වෙනවා අම්මා කියවනවා…
” පොඩ්ඩක් හොයලා බලලා කතා කරන්න” ඛේම ඇන්ටිත් අම්මට සපෝට් එකට කතාව…
මැඩම්ටත් කියන්න දෙයක් නෑ… හරි මිස් යමුකො මගේ ඔෆිස් එකට මගේ කබඩ් එකේ තියනවා පුතාගේ කලිසමයි අනිත් ඇඳුම් ටිකයි… ඔයා ඒවා අඳුරනව ඇතිනෙ… මැඩම් කියාගෙන යනවා .
ඔන්න දැන් මායි අම්මයි එක්ක මැඩම් ඔෆිස් එකට ආවා…
“මේ තියෙන්නෙ පුතාගේ ඇඳුම්” කියලා මැඩම් කබඩ් එක ඇරියා… මගේ පපුව සීතල වෙලා ගියා… අම්මා මගේ ඇඳුම් අඳුන ගත්තොත් කියලා…
දෙයියනේ කබඩි එකේ ඇඳුම් නෑ…
අම්මා මොනවද මැඩම් එක්ක කියවගනව ඇහෙද්දිම මම ඔෆිස් එකෙන් එලියට ආවා… එතකොට කෝ මගෙ ඇඳුම්…
අම්මයි මැඩමුයි ටොයිලට් එක පැත්තට එනකොට කොටා ඔෆිස් එකට පැනලා කබඩ් එකේ තිබුණ ඇඳුම් උස්සලා….
———————————————————————-
මෙහි එන චරිත අතර සිටින විදුහල්පතිතුමා , නියෝජ්ය විදුහල්පති මැඩම්, විජිත මිස් අපගේ පාසල් සමයේ අපව යහපත් පුරවැසියන් වශයෙන් සමාජයට දායාද කරනු වස් විශාල කැප කිරීමක් කාර්යභාරයක් ඉටුකළ ආදරණීය ගුරු භවතුන් වූ බව ගෞරවයෙන් මතක් කරමි.
පාසල් සමයේ සිට මෙම කතාව අකුරු කරන තෙක් මාගෙන් යම් වරදක් හෝ අපහසුතාවයකට ලක් වී නම් ඒ සඳහා යටහත්ව සමාව අයැද සිටීමට මෙය අවස්ථාවක් කර ගනිමි…
විශේෂයෙන් පැවසිය යුතු වනුයේ සමවයස් කණ්ඩායම් සමග කටයුතු කර ලබාගත් මෙවැනි අත්දැකීම් සහ දෙමවුපියන් , ගුරුවරුන්ගෙන් ලද ආදරය , රැකවරණය, අවවාද,තරවටු හා දඬුවම් තුළින් ලබාගත් පන්නරය මගින් මා මේ වන විට ශාස්ත්රපති උපාධිධාරියකු දක්වා මාගේ ජීවන ගමනේ පැමිණ ඇත.
ඔබද අතීතයේ ලත් සුන්දර හා අසුන්දර අත්දැකීම් තුළින් වර්තමානය සාර්ථකව ගොඩ නගන්නෙක්කු බවට පත් වන්න.
…ජය හා සතුට…
උපුටා ගැනීම: රජිව් ප්රසන්න
                  (පොලිස් පරීක්ෂක)
                   (2020.11.29)

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!