ස්වාමිපුරුෂයෙක් පරිණාමය වන්නේ කෙසේද…. (වැල් වටාරම්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ගැමිවහරේ එන කැත්තට පොල්ලවගේ යෙදුම යොදා ඇත්තේ ලිංඝභේදය මැනවින් අවබෝධ කරගත් ගැමියන් විසින යැයි මට වරෙක කල්පනා වේ.
කැත්ත යනු අර්ධකවාකාර තලයක් සහිත ආයුධයකි. පොල්ල යනු සෘජු දණ්ඩක් වැනි දෙයකි. කැත්තත් පොල්ලත් ගැටෙන පලමු වාරයේදී කැත්තේ වක් ස්වභාවයට කැත්තට පොල්ල ඇමිණීම ස්වභාවකවම සිදුවන නමුත් සාමාන්ය සංසිද්ධිය නම් කැත්තේ මුවහත අභියස පොල්ල සෑම විටම පරාජයට පත්වීමයි. එයින් ගම්යවන ව්යංගාර්ථය කුමක් වුවද එය ස්ත්රීපුරුෂ විවාහ සම්බන්ධතා සදහා ගැලපෙන උපමාවක් යන්න මගේ ආකල්පයයි. එමෙන්ම විරුද්ධාර්ථ සහිත එම වස්තූන් දෙක එකක් වූ විට එනම් පොල්ල කැත්තට සවිවූ මිටක් බවට පත්වූ කල්හි බිහිවන ආයුධය බොහෝ ප්රයෝජනවත් ශක්තිමත් බාධක මැඩ ඉදිරියටම යෑමේ මනා හැකියාවක් ලැබෙන දෙයක් බවට පත්වන බවද කල්පනාවට ගත යුත්තකි.
සරුංගල් යැවීම හේතුකොටගෙන ඇතිවූ ජංජාලය ගියවර ලියුවෙමි. ඕනෑම දෙයකින් එක්වරක් හුචැස් වූ පසු යම් පාඩමක් ඉගෙන ගැනීම මගේ ගතිය බැවින්. ප්රියබිරින්දෑ ආරවුල් මානසිකත්වයෙන් මිදුන පසුව ගතවන සාමකාමී යුධවිරාමය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ජාමයත් බේරාගෙන රැව්ලත් කැඳත් දෙකම ආරක්ෂා කරගන්නා ආකාරයක් ගැන අහස පොළොව ගැටලන්නට තරම් කල්පනා කරමින් සිටින විටදී……. පත්තු වුනා …..
වඩාත්ම සුදුසු දෙය මගේ රුචිකත්වයට ඇය විරුද්ධව යන්නේ නම් ඇයද මගේ විනෝදාංශ සදහා සූක්ශමව ඇබ්බැහිකර බැලීම මගේ කල්පනාව විය. ඒ අනුව මම ගතවූ වසර 14ක විවාහ ජීවිතයේ පස්වරක් පමණ එම සැලැස්ම ක්රියාත්මක කල අතර ඒ සෑම අවස්ථාවකදීම සිතුවාටත් වඩා සතුටුදායී ප්රථිපල නෙලාගැනීමට හැකිවූ බව බලවත් චිත්තප්රීතියෙන් යුතුව දැනුම් දෙමි. එම අවස්ථාවන් ඒඒ ගැලපෙන කතාවන් හීදී ඉදිරිපත් කරන අතර ඕනෑම ස්වාමිපුරුෂයෙක් මෙම ක්රමවේදය අත්හදාබැලීම උචිත බව මගේ සිතුවිල්ලයි. අතුරුආබාධ රහිත බැවින් එක්වරක් හෝ අත්හදා බැලීමට මම රෙකමදාරු කරමි. පලමු වැන්න මෙසේ සිදුවිය.
මා සාමානපෙලට පෙනී සිටි අවසාන දිනයට පසුදා සිට අද දක්වා රැකියා විරහිතව සිටි එකදු මාසයක් හෝ නොමැත. එසේම කරන රැකියාව කුමක් වුවත් ඉහලම පැමිනීමක් වාර්ථාකිරීම අද දක්වාත් නොවෙනස්ව පවත්වාගෙන යන බැවින් ලිපි හොදින් නොකියවා චෝදනා නොනගන්න. දික්කසාදය සරුංගල් වාරයෙන් අනතුරුව ඊලඟ වසරේ සරුංගල් වාරය උදාවිය. නිවසින් බැහැරව ගොස් සරුංගල් යැවීමට නොයෑම⁣ට මම දැඩි තීරණයක් ගෙන සිටි නිසාත් යම් සැලසුමක් තිබූ නිසාත් විවේක දිනයක උදෑසනම අසල නිවසක වත්තකට පැන පොල් අත්තකින් ඉරටු මිටියක් ගලවාගෙන මිදුලේ අඹගසේ මුලක සැපපහසුවට වාඩිවී හීන් සීරුවේ ඉරටු ශුද්ධ කරන්නට විය.
ප්රියබිරින්දෑද මූ හට හදිසියේ වැලදුන රෝගය කුමක්දැයි වටහාගත නොහැකිව මෙන් දොරේ රෙද්ද අස්සෙන් (තිර රෙද්ද) වරක් දෙවරක් හොරැහින් බැලුම් හෙලනු ඇසගින් දැක දැකත් මම මගේ පාඩුවේ වැඩය කරගෙන සිටියෙමි. කවදාවත් නොමැතිව අමුතු සුහදත්වයකින් උදෑසන 10 පමණ වන විට ජෝග්ගුවක් පුරවා තේපැන් සංග්රහයක්ද ලැබුණි. කොහොමටත් මා නිවසේ සිටියදී තේබොන කෝප්පය දකින බොහෝ හිතවතුන් හූල්ලන්ටත් විමතියට පත්වූ අවස්ථාත් බොහෝය. ඒ ස්වාමීන්වහන්සේලා දන් වළදා අතසෝදන්නට භාවිත කරන ආකාරයේ විශාල පෝසිලේන් කෝප්පයක් බැවිනි. එයනිවසට රැගෙන ආ දිනයේ ප්රියබිරින්දෑ කී වාක්ය මට අදටත් මතය.
“ඕක ගෙනාව වෙලාවෙ පනිට්ටුවක්ම ගෙනාව නම් නාන්න ගන්නත් තිබ්බා, තේ බොනවදෝයි ඔහොම පුන්නක්කු බොනව වගේ”
නමුත් ඈ සුහදව සිටි සෑම අවස්ථාවකදීම ආදරණීයත්වය පෙන්වා දුන්නේ එම කෝප්පය කටකපා වාන් දමන මට්ටමට තේ සාදා දීමෙනි.
⁣මද වේලාවකින් ලතාවකට පැමිණි ඇය සමීපයේ වූ තවත් අඹ මුලක වාඩිවී ⁣ඕනෑකමින් මා ඉරටු මිම්මට සකස් කරන ආකාරය බලාසිටින්නට වූවාය. මින්පෙර මා යම් කාර්යයක නිරතවෙනු එතරම් සුපරික්ෂාකාරීව බලාසිට ඇත්තේ විභාග පරීක්ෂකවරුන් පමණකි. සැලසුම මනාකොට ක්රියාත්මක වෙමින් පවතී.
“මොකෙක්ද හදන්නෙ..?” සුහද ස්වරයෙන්
“ගෙම්ඹෙක්”
මද නිහැඬියාවකින් අනතුරුව.
“ගෙදර නූල් නැද්ද.?”
“මොන නූල්ද..?”
“මහන්න ගන්න ඒවා අර කෝන්වල තියෙන්නෙ”
“ඒව හයිය ඇත්ද..?”
“පොටවල් හතරපහක් දාල ගත්තම හරි. ඒවෑන් තමයි සරුංගල් හදන්නෙ”
“ම්… ඉන්න බලන්නම්..”
ඇය නැගීසිටින විට මාද ඇයට සහයවීමට මෙන් නැගීසිටියේ නූල් තිබෙන්නේ කොහේදැයි බලාගත යුතු නිසා නමුත් ඇය බිරිඳක් සතු සහජ ඉවෙන් මා හැරෙන්නේ පොල්පැලයටම බව අවබෝධ කරගත්තාක් මෙන්.
“හා හා මේමේ… ඉන්ඩ ඉන්ඩ මං බලල ගේන්නම්” කීම නිසා පචවූ මම නැවතත් ඉදගත්තෙමි.
නිවස තුළට ගිය ඈ මද වේලාවකින් වෙසක් කූඩු බදින්නට ගෙනා නූල් කෝන් දෙකක්ද රැගෙන ආවාය. දැන් මෙය සැමියාගේත් බිරින්දෑගේත් සාමූහික කර්තව්යකි.
අපි දෙදෙනා සරුංගල් සාදනු දුටු පහල නිවාස දෙකක දරුදැරියෝත් පැමිණ අසලට වී ප්රේක්ෂකයෝ බවට පත්විය. අව්රුදු දහයේ දොළහේ ඔව්න්ට සරුංගල් සෑදීමට දැනුමක් හැකියාවක් නැතත් ඉතා ආශාවෙන් බලාසිටී. මම යමක් රැගෙන ඒමට නිවස තුළට ගිය විට ප්රියබිරින්දෑද නිවසතුලට දුවවිත්.
“අර ළමයි සේරටමත් හදල දෙනවකො පව් බලන් ඉන්නෙ ආසාවෙන්”
“මට බෑ ඔච්චර ගමකට ඉරටු සුද්ද කරන්ඩ”
“අරන් එනව මං සපෝට් එකක් දෙන්න”
එම ඉල්ලීමත් සමඟ මමත් නැවත ගොස් පොල්අත්තම රැගෙන නිවසට විත් සියළුම පොල්කොල ගලවා ඇය ඉදිරියේ ගොඩගසා ඉරටු ශුද්ධ කිරීමට ඇයටත් අවස්ථාවක් ලබාදුන් විට ඈද කුඩා පිහිය රැගෙන ඉරටු සුද්ද කරන්නට පටන් ගත්තේ සිය කැමැත්තෙනි.
දැන් නිවසේ මිදුලේ අඹගස් සෙවන කුඩාපරිමාණයේ සරුංගල් කර්මාන්තශාලාවක සිරිය ගෙන තිබේ. ප්රියබිරින්දෑ ඉරටු ශුද්ධ කරමින් මා අසලින් තබන අතරම අපි ඒ ළමුන් සියළු දෙනාටම සරුංගල් සාදන්නට වීමු. ඒ ආකාරයෙන් එකම විදිහේ කුඩා කුඩා සරුංගල් පහක් හයක් පමණත් අප දෙදෙනාටම සාමාන්ය ප්රමාණයේ එකකුත් වශයෙන් සාදා අවසන. නිවසේ ශොපින්බෑග් උරයේ තිබූ සියළු බෑග් බිම හලා එක් එක් සරුංගලයට ගැලපෙන වර්ණවලින් බෑග්ද තොරාගෙන මඳුරුකොයිල් කැබැල්ලක්ද දල්වා.
“මේ මටනම් බෑ කොන්ද නවාගෙන මෙච්චර අලවන්න ඈ” කීවිට ඇය ස්වේච්ඡාවෙන්ම සරුංගල් සියල්ල ඇලවීමේ කාර්යයද භාරගන්නා ලදි. මුලින්ම අත්හදා බැලීම සදහා වෙනමම උරයක් ලබාදී ඇඟිලි පුළුස්සා ගන්නේ නැතුව යැඩය කරන ආකාරය පිළිබඳ පුහුණුවක්ද ලබාදීමට තරම් මා නිර්ලෝභී විය.
” ඔයා කපන රැලි ලස්සනයි මගේව කිසි හැඩයක් නෑ වෙසක් කූඩු වලටත් ඔයා රැලි කැපුව නිසා ඒ විදිහටම රැලි කපන්න”යැයි ඈ මුරුංගා අත්තේ ඉහළින්ම තැබූ විට රැලි කැපීමද සාර්ථකව සිදුකිරීම ඇය අතින්ම ඉටුවිය. කිසිදු ගුරුමුෂ්ඨියක් හෝ රහිතව ශිල්ප ශ්රාස්ථය මැනවින් ලබාදීම මාතින් සිදුකෙරෙන ලදි.
ඒ ආකාරයෙන් මා සරුංගල් යවන්නට යෑමට පවා විරෝධය පලකල ප්රියබිරින්දෑ සරුංගල් කලාවට කෙතරම් දක්ෂයෙක් වීදැයි මම කල්පනා කළෙමි. සියළුම වැඩ කටයුතු අවසන් කර එක් එක් ළමයාට එක බැගින් බෙදාදී අප දෙදෙනාද දිවා ආහාරයක් හෝ නැතිව සරුංගල් යැවීමට ගිනි මද්දහනේ වෙලට ගියෙමි.
“කාලම යමු නේ..?” මගේ යෝජනාවට
“ඇවිත් කම්මු මේක උඩ යවලම” ඇගේ යෝජනාව විය. ඒ අනුව අප දෙදෙනාත් ළමුන් පිරිවරත් කැටුව පහල වෙලට ගොස් සරුංගල් යැවීමේ නිරත වී සරුංගල් උඩ යවා ඒවා ගස්වල ගැටගසා වෙලෙහි වලවල්හි වූ නෙළුම් මල්ද ඇගේ යෝජනාවක් අනුව කෑම ඔතා කෑමට ගැනීමේදී ඉතා රසවත් බැවින් නෙළුම් කොලද කඩාගෙන. වෙල පුරා ඇවිද මඩකරි මිරිකා නිවසේ ළිදට දමා සුරතලයට ඇති කිරීමට හුන්ගන් කීහිප දෙනෙක්ද අල්ලාගෙන ආදී වශයෙන් කාලය ගතවනවා නොදැනින.
සවස් වී සැදෑකළුවර කුරගගා නොව වේගයෙන් දිව ආ බැවින් අප සමඟ පැමිණි ලමුන්ද සිය නිවාස කරා පිටත්ව ගියද අපි දෙදෙනා වෙලෙහි නතර වුනේ සරුංගලයද බිමට බා රැගෙන ඒමටය. නමුත් හදිසියේ කඩාහැලුනු වර්ෂාපතනයෙන්ද හොදහැටි තෙත බත්වී මඩ නාගෙන වැස්සෙන්ද හොදහැටි තෙමී නිවසට එන විට රාත්රිය උදාවී තිබුණි. ඒවන විට මාමන්ඩියද රැකියාව නිමකොට නිවසට පැමිණ සිටි අතර දොරජනේල් හායි ගා හැරදමා අපි දෙදෙනා සරුංගල් යවන්නට යෑම ගැන ඔහුගේ නොසතුටු වදන් අසන්නට අප දෙදෙනාට සිදුවිය.
ඉන්පසු ඒ මාසයේම අප දෙදෙනාම එකතුවී විවේකයක් ලද සෑම අවස්ථාවකම සරුංගල් යැවීමට වෙලට ගොස් මුළු දවසම ගතකලෙමි. අප එම නිවසේ සිටි මුළු කාලයේමත් එය එසේම සිදුවූ අතර ⁣නව නිවසකට ගිය පසුවත් අදටත් එහි වෙනසක් නැත. අළුතින් පදිංචියට ගිය ගම්පෙදෙසේ දකින්නන්ට අප ⁣යුවල මොංගල් ජවනිකාවක් වුවද ඒ ගැන තැකීමක් අප දෙදෙනාටම නොවීය. පසුව සරුංගල් වලින් නොනැවතී ඒ ගත් පිම්ම ජීවිතයේ බොහෝ දේ දෙදෙනා එකටම සිදුකල අයුරු අනෙක් කතා විස්තරයන් හි දක්වමි.
පසුකාලයකදී ඇගේ කලා දක්ෂතා මැනවින් පෙන්වා දෙමින් වර්ණ සව්කඩදාසි වලින් මනාකොට විවිධ රූපරටාවන්ගෙන් සමන්විත වඩාත් අලංකෘත සරුංගල් බොහෝමයක් ඇය විසින් අලවා දෙන ලදි. විවිධ හැඩැති රැලි කපන්නට මෙන්ම විවිධ අලංකාර රූපරටාවන් මනාව වර්ණ සංයෝජනයන් ගලපන්නටත් ඇයට හැකියාවක් තිබුණි. ඒ ආකාරයෙන් දික්කසාදය දක්වාත් දුරදිග යෑමට ගිය සරුංගල් කලාවට බිරින්දෑද සාර්ථකව ඇබ්බැහි කරගෙන නිවසේ සාමයත් රැක ගැනීමට මට හැකියාව ලැබුන බව මහත් සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු.
ලෝකයේ පරිණාමයට පත්වීමට නොහැකි වූ බොහෝ ජීවින් වදවීමට ලක්වූ අතර පරිසරයට අනුව වේෂාන්තරණය වීම මගින් ඩයිනෝස⁣රයෙක් නොවීමට මම වගබලාගත්තෙමි. ඉන් මට වඩාත් සුන්දර යුගල අත්දැකීම් බොහෝමයක් ලද අතර කියවන්නන්ට සුභවාදී අවසානයක් සහිත කතා කියවන්නට ඉඩක් ලැබුණි. එසේ කැත්තට පොල්ල මෙන් විරුද්ධවාදී වී නොව කැත්තට මිටක් සේ සවිවී එක්ව සුදුවිසුනු කර මැඩගෙන ඉදිරියට ගිය අභියෝගයන් බොහෝමයක් අප දෙදෙනාට වේ.
මගේ ජීවිතයෙන් වසර පහළොවක් පමණ නිවසින් පිට රැයක් දහවලක් කියා වෙනසක් නැතිව සමාජයටම වෙන්වූ එක් පරිච්ජේදයක්ම විය. මා ඉන් උකහාගත් දෑ බොහෝමයකි. එහිලා මවිසින් මටම යොදාගත් යම් යම් සීමා සහ මා විසින් බිඳිනලද සමාජසම්මත සීමා බොහෝය. කාලයාගේ ඇවෑමෙන් ආයුබොවන් කී බොහෝ දෑ ගැන හැරී බැලීමේදී සතුටක් ගෙනදෙන්නේ ඇරඹුම කොතැන වුවත් නැවතුම නිසිපරිදි සිදුකල නිසා යයි මට හැගීයයි.
මේ කතාවෙන් පුංචි අපට ගතහැකි ආදර්ශය :- ඔබ ස්වාමිපුරුෂයෙක් වශයෙන් සිදුකරන ඔබේ පෞද්ගලික විනෝදාංශ සදහා බිරිඳ විරෝධය දක්වන්නේ නම් ඒ සදහා ඇයවද සහභාගී කරවා ගන්නේ නම් මැනවි. නැතිනම් නිවසේ සිට ඇයට පෙනෙන මානයේ එම කටයුත්ත සිදුකරන්නේ නම් පැමිණෙන විරෝධයෙන් හරි අඩක් හෝ සැර බාල කරවා ගත හැක.
ගැහැනිය තේරුම් ගැනීම බොහෝ දුෂ්කර කටයුත්තකි. වඩාත්ම පහසු එය කරන්නට නොයා සිටීමයි. එමෙන්ම විවාහයෙන් පසු ඇගේ රුචිඅරුචිකම් අනුව ඔබේ කටයුතු යම්තාක් දුරට හැඩගස්සවා ගන්නේනම් ඔබට ඇති වන්නේ එක් ගැටළුවක් පමණි. එනම්
“ගෑනිට බය එකා”
යන සමාජ වචනය පමණි. උපන්දා සිට සමාජයෙන් ඕනෑ තරම් කයිකතාන්දර අසා ඇති මටනම් ඒවා කූඹිපුකක් තරම් හෝ ගානක් නැත. නිවසේ සාමය සෑම දෙයකටම වඩා අගනා බව මගේ සිතුවිල්ලයි. කව්රුන් කුමක් කීවත් ගෑනිට බය නැති එකා පොලිසියට බය වේ. සර්පයාට බය නැත්තා හොල්මනට බිය වේ එසේත් නැතිනම් ඌ සිංහයාට හරි බයය. එනිසා බය නැති මිනිසුන් ලොව විරලය සාමාන්ය මිනිසෙකු මිස අමුතු ආකාරයේ විරල ⁣මිනිසෙකු වන්නට මට උවමනාවක් නැත. ඕනෑම මිනිසෙක් කුමන හෝ දෙයකට බයක් දක්වයි. වඩාත්ම අහිතකරම බය නම් රටේ ලෝකේ උන්ට බයේ උන්ට ඕනෑ විදිහට විසීමයි.
උපුටා ගැනීම: Ruwan Anuruddha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!