තීරණ (පෙම් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“ඔයා වගේ හුරතල් ස්වීට් සෙක්සි ලේඩි කෙනෙක් ට ආදරේ නොහිතෙන්නේ කාටද ආමායා” ” ඔයා වගේ ලේඩි කෙනෙක් නැති කර ගන්න කැමති වෙන්නේ කවුද? ” නීලක එහෙම කිව්වේ මගේ අත් දෙකින්ම අල්ලගෙන නලලට හාදුවක් දෙන ගමන්.
නීලක මගේ තුන් වෙනි සැමියා. මට කලින් විවාහ දෙකක් තිබුණා. හරි පුදුම විදියට ඒ විවාහ දෙකම අසාර්ථක උනා. ඇත්තම කිව්වොත් මේ විවාහයටත් එහෙම වෙයි කියලා මම ඉන්නේ සෑහෙන බයකින්. ඒත් නීලකට ඒක අඟවන්නේ නැතුව ඉන්න මම හැම තිස්සෙම උත්සාහ කලා.
මගේ පළමු විවාහය සිදු උනේ කෝසල සමග. ඔහුත් මමත් හමු උනේ පාසැල් කාලයේදී. ඒ කාලේ ආදර සම්බන්ධතා ඒ තරම් ලොකුවට හිතට නොගෙන ඉගෙනීමේ වැඩ හොඳින් කරගෙන ගිය නිසා කෝසලත් මමත් දෙන්නම විශ්ව විද්යාලයට තේරැනා. විශ්ව විද්යාලයේ දි තමයි අපි දෙන්නම ඇත්තටම ආදරේ කරන්න පටන් ගත්තේ. කෝසල හරි අහිංසක තරුණයෙක්. කනට ඇහෙන්න වත් කතා කලේ නැති ඔහු පසු කාලෙක ගේ දෙදරන්න බෙරිහන් දීලා මට බැන වැදුනේ කොහොමද කියලා අදටත් මට හිතාගන්න බෑ.
විශ්ව විද්යාලයෙන් පිට වෙලා අපි රැකියා කලා. ඊට පස්සේ විවාහ උනා. අපිට පුංචි පුතෙක් ලැබුනා. ඔය කාලෙදි කෝසල මහ පුදුමාකාර විදියට වෙනස් වෙන්න පටන් ගත්තා. ඔහුට මහා ගොඩක් යාලුවෝ හිටියා. ටිකෙන් ටික කෝසල මත්පැන් බොන්න පටන් ගත්තා. රෑ දෙගොඩහරියක් වෙලා බීගෙන හතර ගාතෙන් යාලුවෝ කෝසලව ගෙදර ගෙනත් දැම්මා. මට අදහා ගන්න බැරි උනා. අවවාද දෙන්න දෙන්න ඔහු මගෙත් එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තා. කිසිම විදිහකින් ඔහු හදා ගන්න මට බැරි උනා. මම ඇඩු කඳුළෙන් දස අතේ කල්පනා කළා මගේ වරද මොකක්ද මේ මනුස්සයා මෙහෙම වෙනස් වෙන්න කියලා. ඒත් ඒක අදටත් මට තේරුම් ගන්න බෑ.
පුංචි පුතා එක්ක මම හුගක් අසරණ උනා. උදේට ඒ කිරිසප්පයා ඉදිරියේ රණ්ඩු කරන්න බැරි නිසා කට පියාගෙන මම ලෑස්ති වෙලා වැඩට ගියා. රෑට ඔහු එන වෙලාවට බීමතින් ඉන්න මිනිහෙක් එක්ක රණ්ඩු කරන එකේ භයානක කම දන්න නිසා එසේ නොකර හිටියා. හේතුවක් නැතුව ඔහු මට බැන වැදුනා. අපහාස කලා. උදේට වැඩට ගිහින් හවස ගෙදර එන මම ගෙදර ආවම ඉන්නේ චූටි පුතාගේ ලෝකයේ. මගේ එකම සතුට උනේ අපේ පවුල. වැඩට හිටිය ගෑණු කෙනා පුංචි පුතාව මම එනකල් ආදරෙන් බලා ගත්තා. ඒත් කෝසල මොන හේතුවකට මෙහෙම බොනවද මට බනිනවද කියලා මට තේරැනේ නෑ.අවසානයේ මට ඒ ජීවිතේ තිත්ත උනා. එක්තරා රණ්ඩුවක් අවසානයේ ඔහු මට දරුණු ලෙස පහර දුන්නා. මම තීරණය කලා කෝසල ගෙන් දික්කසාද වෙන්න.
මගේ යාලු නීතීඥයකු ලවා මම කෝසලට මේ බව දැනුම් දුන්නා. මාව පුදුමයට පත් කරමින් ඔහු දික්කසාදයට කෙසේ වත් කැමති උනේ නෑ.ඔහු හඩා වැටුනා. සමාව ඉල්ලුවා. ඔහුට මම නැතුව ඉන්න බෑ කිව්වා. ඒත් මම මගේ තිරණය වෙනස් කලේ නෑ. මම පුතාවත් වැඩට ඉන්න කෙනාවත් අරන් මගේ මහ ගෙදර ගියා. අවසානයේ මාස තුනකට පසුව කෝසල මට දික්කසාදය දෙන්න කැමති උනා. නීතීඥයා ඉදිරියේ අත්සන් කරද්දීත් ඔහු මගේ දිහා බැලුවේ මේක කරන්න එපා කියන්න වගේ. ඒත් ඒ වෙනකොට මම ඔහු මගේ හිතෙන් සම්පූර්ණයෙන්ම අයින් කරලා ඉවරයි. මම ආපසු හැරැනේ නෑ.
අවුරුදු පහක් විතර පුතා එක්ක මම තනියම ජීවත් උනා. මට ජීවිතේ හරිම නිදහස් සැහැල්ලු බවක් දැනුනා. මගේ රැකියාව හොදටම ප්රමාණවත් උනා අපි දෙන්නගේ වියදම් වලට. අම්මයි තාත්තයි මට ගොඩක් උදව් කලා. මම පුතාට යි මටයි ඉන්න ලස්සන පොඩි ගෙයක් හැදුවා. මහ ගෙදර වත්තෙම මට දුන්න ඉඩම් කොටසේ.
ඔය අතරේ තමයි මට තිවංක මුණ ගැසුනේ. මගේ කාර්යාලීය වැඩ සටහනකට සහභාගී වෙන්න තිවංක ගේ කාර්යාලයට මට යන්න උනා. තිවංක හරි අපූරු තරුණයෙක්. දුටු ගමන්ම ඕන කෙනෙක් ගේ හිත ඇදී යන කඩවසම් පෙනුමක් ඔහුට තිබුනේ. ” ඔයාව දැකපු පළවෙනි දවසෙම යි මම හිතුවේ කොහොම හරි ඔයත් එක්ක සම්බන්ධයක් ඇති කර ගන්නවා කියලා. ” තිවංක පස්සේ කාලෙක ලොකු ජයග්රහණයක් හිමි කර ගත්ත කෙනෙක් වගේ කිව්වා. ඒ වෙද්දී තිවංකත් මමත් ආදරවන්තයින් වෙලා. තිවංක ට කලින් ආදර සම්බන්ධයක් තිබුනා. නමුත් මේ වෙද්දි ඒ ආදරෙන් ඔහු සමු අරන් තිබුනේ. තිවංක මගේ ලස්සනට ගොඩක් ආසා කලා. නමුත් මට වෙනත් පිරිමින් ගේ අවධානය යොමු වෙන එකට තිවංක කොහෙත්ම කැමති උනේ නෑ. මට ඒක මහ පුදුම හැගීමක් ගෙන දුන් අත්දැකීමක් උනා. කෝසල කවදාවත් මාව ඒ වගේ ආරක්ෂා කලේ නෑ. ඔහුට ඒවා ගැන කිසිම තැකීමක් තිබුනේ නෑ. ඒත් තිවංක මම ගැන හැම දෙයක්ම හොඳින් සොයා බැලුවා. මට මහා පුදුමාකාර ආදරයක් ඔහුගෙන් ලැබුණේ. ඒ වගේම ඔහු මගේ පුතාටත් ගොඩක් ආදරේ කලා.
” ඔය ළමයා ගැන තීරණයක් ගන්න දුව , මිනිස්සු කතන්දර කියයි පිරිමියෙක් මේ ගෙදරට යනවා එනවා දැක්කම. ” අම්මා මට හැම තිස්සෙම කිව්වා. අවසානයේ මම තිවංක එක්ක විවාහ උනා.
අපි ගෙව්වෙ පුදුමාකාර ආදර බර ජීවිතයක්. තිවංකට මම නැතුව එක මොහොතක් වත් ඉන්න බැරි උනා. ඔහු මගේ ලග ගොඩක් සතුටින් හිටිය බව මට හොදටම තේරුණා. මමත් තිවංකට මගේ මුලු හිතෙන් ම ආදරේ කලා. ඔහුගේ හැම ඕන එපා කමක්ම මගේ අතින් ම ඉටු කරලා දුන්නා. පොඩි ළමයෙක් වගේ මම ඔහුව හරි ආදරෙන් බලා ගත්තා. එහෙම සතුටින් අවුරුදු හතරක් විතර ගෙවුණා.
ඒ අතරේ මට දැනෙන්න ගත්තා තිවංක ටිකෙන් ටික වෙනස් වෙනවා කියලා. ඔහුගේ කලින් මම ගැන තිබුන සැලකීම එන්න එන්නම අඩු වෙනවා කියලා. තිවංකයි මමයි පුතයි හිටියේ මගේ ගෙදර. පුතා ඉස්කෝලෙ හතේ පංතියේ ඉගෙන ගත්තේ. මාසෙකට දෙපාරක් පුතාව බලන්න කෝසලට අවසර දීල තිබුන නිසා මම එයාව කෝසලගේ ගෙදරට ගිහින් දානවා. ඒත් මම කවදාවත් කෝසලව මුණ ගැහිලා කතා කලේ නෑ.ඒත් තිවංක කිසිම හේතුවක් නැතුව මගෙත් එක්ක අමනාප උනා මම කෝසල එක්ක ආයෙත් සම්බන්ධ වෙලා කියලා. ඒ අතර ඔහු මගේ අනිත් පිරිමි යහලුවන් සම්බන්ධ කරමින් මාව සැක කරන්න ගත්තා. කොතරම් කරුණු පැහැදිලි කලත් ඔහු මාව සැක කලා. කිසිම හේතුවක් නැතුව ඔහු රණ්ඩු කලා. එහෙම රණ්ඩු කරපු සමහර දවසට ඔහු ගෙදර ආවේ නෑ .ඔහු ගේ යාලුවෙක් එක්ක බෝඩිමක නතර උනා. තිවංක මත්පැන් කටේ වත් තිබ්බේ නෑ. ඒත් ඔහුට ටික ටික මාව එපා වෙන බව මට තේරුණා. තිවංක මට දුන්න ආදරයත් අපේ සතුටින් පිරුණ ලෝකයත් මතක් කරමින් මම මුලු රෑ පුරාම කදුළු සාගරයක තනි උනා. මට කාර්යාලයට ගිහින් වැඩ කරන්නත් බැරි උනා. අන්තිමට එක් දවසක මහ හෙනයක් පාත් වෙනවා වගේ තිවංක කිව්වා එයා ගේ කලින් ආදරවන්තිය එක්ක එයා ආයෙත් සම්බන්ධයක් ඇති කරගෙන ඉන්නවා කියලා ඔහුට මගෙන් වෙන් වෙන්න ඕනේ කියලා.
මම හඩා වැටුනා. ඉවස ගන්න බැරි මානසික වේදනාවකට මම පත් උනා. ජීවිතේ නැති කරගන්න හිතුනත් පුතා ගේ මූණ මතක් වෙද්දි ඒක කරන්න බැරි උනා. අවසානයේ තිවංක මගෙන් දික්කසාද උනා. ඔහු ඉන් පසු ඔහුගේ පෙම්වතිය සමග විවාහ උනා. මම මානසික වෛද්යවරයෙක් පවා මුණ ගැසුනා.
මම හිතුවේම ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. මම කෝසලට වත් තිවංක ට වත් කිසිම වරදක් කලේ නෑ.මම ඔවුන් දෙදෙනා එක්කම පුළුවන් තරම් හොදින් හිටියා.ඒත් ඔවුන් ට මාව එපා උනා. මට මා ගැනම පුදුම කලකිරීමක් ඇති උනා. මගේ හොදම මිතුරිය මාව නිතරම ආගම පැත්තට යොමු කලා. “ඔයා ගිය ආත්මෙ ලොකු පවක් කරලා ඇති ආමායා. නැත්නම් ලස්සන සල්ලි මේ හැම දෙයක්ම තිබිලත් හොද පවුල් ජීවිතයක් ගෙවන්න බැරි ඇයි? ” ” අර ඩයනා කුමාරිට වගේ……ඒ නිසා හිත හදා ගන්න. ඔයා කාටවත් වෛර කරන්න එපා. ඔයා ආයෙත් මැරී කරන්න නම් එපා ආමායා පුතා ව හදාගෙන තනියම පාඩුවේ ඉන්න. ඔය මිනිස්සු ඔක්කොම ඔයාව රවට්ටනවා. ඔයා ගේ ලස්සනට විතරයි ඔය මිනිස්සු ඔක්කොම ආදරේ කරන්නේ. ආයෙමත් අමාරැවේ වැටෙන්න එපා. “
ඔය කාලේ දි තමයි නීලක මට ටිකෙන් ටික ලං වෙන්න පටන් ගත්තේ. නීලක කියන්නේ ඇත්තටම තිවංක ගේ හොදම යාලුවා. ඔහු තිවංක මගෙන් දික්කසාද උනාට පස්සේ නිතර මගේ ගැන සොයා බැලුවා. ඔහු හරි කෙළිලොල් තරුණයෙක්. ඔහු හැම තිස්සෙම මට කිව්වේ “කිසිම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න එපා ආමායා. ” ” ඇත්තටම මට තේරෙන්නේ නෑ මේ මිනිස්සුන්ට ඔයාව එපා උනේ ඇයි කියලා. ඔයා ලග ඉන්නකොට මට දැනෙන්නේ දිවිය ලෝකෙට ගියා වගේ “
තිවංක ට තරම් මම නීලක ට ආදරේ කලේ නෑ.ඒත් මට හිතුනා ඇයි මම මගේ ජීවිතේ සතුට විදින්නෙ නැත්තේ කියලා. මම ඉන්නේ මට ඕන විදියට. එහෙම හිතන්න තරම් ඒ වෙනකොට මම හිටියේ හොදටම පදම් වෙලා. මම පව් කරන්න ඇත්තේ ගිත ආත්මෙ වෙන්න ඇති. ඒත් මට ලැබිලා තියෙන දේවල් වලින් සතුටින් ඉන්න පුලුවන් කම තියාගෙන ඇයි මම දුකම වැලද ගන්නෙ. මිනිස්සු මට කතා කියයි. මේ ගෑණිට එක මිනිහෙක් එක්ක ඉන්න බෑ කියයි. ක්ලියෝපැට්රා, එලිසබෙත් ටේලර්, මැර්ලින් මොන්රෝ, ඩයනා කුමරිය මේ හැමෝටම විවාහ කීයක් තිබුනද? එයාලත් හැමදාම එකම ආදරණීය පිරිමියෙක් එක්ක ඉන්න ආසාවෙන් ඉන්න ඇති .ඒත් ඒ වගේ ආදරණීය පිරිමියෙක් ලැබෙන්න නැතුව ඇති. එතකොට එයාලත් පව් කරලද? මාත් එහෙම ද?
“ඩාලින් ඔන්න මම ඔයාට තේ හැදුවා බ්රෙක්ෆස්ට් හදලා තියෙන්නේ ….හොදද බලන්නකෝ…ඉක්මනට ලෑස්ති වෙලා ඔෆිස් යමු ” විවාහයෙන් පස්සේ ඉස්සරලම මම වැඩට යන්නේ අද. නීලක ඉන්නේ හරිම සතුටින්. මට මතක් උනා කෝසලත් තිවංකත් බැදපු මුල් කාලේ මේ වගේ සතුටින් හිටියා.තව ටික දවසකින් නීලකටත් මාව එපා වෙයිද? ඒත් මම දැන් අඩන්නෙ නෑ .මට දැන් ඒක පුරුදුයි. මම කෝසලට වත් තිවංක ට වත් කිසිම වරදක් කලේ නෑ .එයාලටයි මාව එපා උනේ. ඉතින් ඇයි මම තනිවෙලා දුකින් ඉන්නේ?
ගැහැණියක් තම සතුට වෙනුවෙන් තීරණ ගන්න කවදාවත් සමාජයට බයේ මැලි වෙන්න ඕන නෑ . දුක් විදගෙන හැමදාම එකම පිරිමියෙක් ගෙන් ගුටි බැට කකා ඉවසගෙන ඉන්න ගැහැණියකට වඩා සමාජයට බය නොවී දහසක් අභියෝග වලට මූණ දෙන්න හිතාගෙන දැඩි ආත්ම ශක්තියකින් තීරණ ගන්න ගැහැණියක් තමයි අගය කල යුත්තේ කියලා මම නම් හිතන්නේ.
උපුටා ගැනීම: Deepthi Roshini Siriwaradana

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!