Winnie the Poohට 95 යි: Tree House එකේ දවසක් ගෙවමු (විනෝදාස්වාද චිත්‍රපට, නාට්‍ය හා වැඩසටහන්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ඇලන් ඇලෙක්සැන්ඩර් මිල්නේ ගැන ඔබ දන්නේ මොනවාද? එසේ නොකියා ඒ. ඒ. මිල්නේ ලෙසින් කිවහොත් ඔබට යම් මතකයක් අවදි වනවා සිකුරු යි. ඒ අන් කිසිවක් නොව, පැණි පිපාසයෙන් පෙළෙන විනී ද පූ (Winnie the Pooh) නැතිනම් පූ වලහා ගැනයි ඒ. එළඹෙන ජනවාරි මාසයට යෙදෙන විනී ද පූ ගේ 95 වන සංවත්සරය ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මේ දිනවල ලෝක ජනමාධ්‍යවල විනී ද පූ ගැන අලුත් කතාබහක් ඇතිවී තියෙනවා. මේ ඒ කතාබහට එබී බැලීමක්.

විනී ද පූ, පූ වලහා නැතිනම් පූ යනු ඇලන් ඇලෙක්සැන්ඩර් මිල්නේ 1926 වසරේ දී Winnie the Pooh කතාවෙන් ළමා ලොවට හඳුන්වා දුන් ටෙඩි බෙයා චරිතය යි. ඉන් පසුව, 1928 දී, The House at Pooh Corner කෘතියෙනුත් විනී ද පූ, දරුවන් හමුවීමට පැමිණියා. මිල්නේ 1924 දී රචනා කළ When We Were Very Young නමැති කවි එකතුවෙහි මෙකී වලහා ගැන කවියකුත් ඔහුගේ Now We Are Six (1927 ) කෘතියේ වලහා ගැන කවි කිහිපයකුත් තිබුණා.

මිල්නේ එකම පුතු ක්‍රිස්ටෝපර් රොබින් සමඟ – www.reddit.com

බිලි මූන් ගේ සැබෑ ජීවිත අත්දැකීම්

ඒ සියලු කතාවල චිත්‍ර ශිල්පියා ඊ. එච්. ෂෙපර්ඩ්. ෂෙපර්ඩ් ගේ මුල් චිත්‍ර සියල්ල මනරම් පැන්සල් චිත්‍ර. විනී ද පූ ජීවමාන කිරීමේ දී මිල්නේ තරමට ෂෙපර්ඩ්ගේ දායකත්වයත් බලපෑවා. නිදසුනක් වශයෙන් කතා මාලාව පදනම් වන්නේ, බිලි මූන් ගේ සැබෑ ජීවිත අත්දැකීම් මත වුවත් (බිලි මූන් යනු මිල්නේගේ එකම පුතු ක්‍රිස්ටෝපර් රොබින් ගේ සුරතල් නම.) මිල්නේ ගේ මුල් කතාවල දැක්වෙන Growler නමැති වලහාගේ රුවට ෂෙපර්ඩ් යොදා ගත්තේ තම පුතාගේ මිත්‍රශීලී මුහුණුවර බවයි කියන්නේ.

පූ කතා මාලාව කෙතරම් ජනප්‍රිය වුණා ද කියතොත් 1926 ඔක්තෝබරයේ පුළුල් ලෝක පාඨක ප්‍රජාවකට විනී ද පූ චරිත හඳුන්වා දුන් අවස්ථාවේ ඉන් පෙර අන් කිසි කෘතියකට නොලැබුණු දෙස් විදෙස් පාඨක ආකර්ෂණයකට එය ලක්වුණා. එහි මුල් ඉංග්‍රීසි සංස්කරණයෙන් පිටපත් 32,000ක් අලෙවි වූ අතර එක්සත් ජනපදයේ දී පිටපත් 150,000ක් අලෙවි වුණා.

ලතින් විනී ද පූ කෘතිය – www.illustrationhistory.org 

ලතින් විනී ද පූ New York Times Best Seller ලේඛනයට

විනී ද පූ මේ වන විට භාෂා රැසකට පරිවර්තනය වී අවසන්. Winnie Ille Pu නමින් පළවූ Alexander Lenard ගේ විනී ද පූ ලතින් පරිවර්තනය ඒ අතරින් විශේෂයි. හේතුව, The New York Times Best Seller ලේඛනයට එතෙක් මෙතෙක් ඇතුළත් වුණු එකම ලතින් කෘතිය එය වීම යි.
හොඳ කෘතියකින් හොඳ චිත්‍රපටයක් නිෂ්පාදනය වුණොත් මුල් කෘතියට විශාල පාඨක ඉල්ලුමක් ඇතිවෙනවාය යන්න ප්‍රකට පිළිගැනීමක්. 1961 වසරේ විනී ද පූ සඳහා වෝල්ට් ඩිස්නි සමාගම චිත්‍රපට බලපත්‍ර ලබා ගැනීමත් පූ කතා මාලාවේ ජනප්‍රියත්වය ඉහළ නැංවීමට හේතු වුණා සේම, ඒවා කාටූන් චිත්‍රපට සහ රූපවාහිනී කාටූන් මාලාවකට නැඟීමටත් පූ කතාවල ජනප්‍රියත්වය හේතු වුණා.

E.H. Shepard
ඒ සියලු කතාවල චිත්‍ර ශිල්පියා ඊ. එච්. ෂෙපර්ඩ් – www.illustrationhistory.org 

2002 වසරේ TV Guide සඟරාව සිය 50වන සැමරුම වෙනුවෙන් සකස් කළ ජනප්‍රියතම කාටූන් චරිත ලේඛනයේ 27වන ස්ථානයේ රැඳුණේ විනී ද පූ. 2006 වසරේ විනී ද පූ ” Hollywood Walk of Fame ” තරුවකින් බුහුමන් ලැබුවා. එය ඒ බුහුමනට පත් සිවු වැනි චරිතය යි. ඊට පෙර ඒ බුහුමනට ලක්වූ ඩිස්නි කාටූන් චරිත වන්නේ මිකී මවුස්, ස්නෝ වයිට් සහ ඩොනල්ඩ් ඩක්.

95 වන උපන් දිනයට ප්‍රතිනිර්මාණය වූ ට්‍රී හවුස්

” විනී ද පූ වනයේ වාසය කළේ සැන්ඩර්ස් (Sanderz ) යන නමිනි. “
මිල්නේ ලියූවේ එසේ යි. විනී ද පූ මෙන් වන දිවියක සිහිනයක් ළමා කාලයේ ඔබට තිබුණා නම් විනී ද පූ 95වන සංවත්සරය වෙනුවෙන් නිමැවූ රුක් නිවහන නැතිනම් Tree House ඔබට ඒ සිහිනය සැබෑ කර ගන්නට අවස්ථාව ලබා දෙනවා. රුක් නිවහනේ නිර්මාපකයා වන්නේ කිම් රේමන්ඩ්. ඊ. එච්. ෂෙපර්ඩ් ගෙන් පසුව වසර 30ක් රේමන්ඩ් විනී ද පූ චිත්‍ර නිර්මාණය කළා. වෝල්ට් ඩිස්නි හි ප්‍රධාන චිත්‍ර ශිල්පියාත් රේමන්ඩ්. රුක් නිවහන නිර්මාණය කෙරුණේ මිල්නේ ගේ මුල් කෘතියේ විස්තර කෙරෙන ආකාරය සහ ඩිස්නි කාටූන්වල දැක්වෙන ආකාරය අනුව බව කිම් රේමන්ඩ් කියනවා.

Winnie the Pooh's tree house was created to celebrate the 95th anniversary of the book character.
95 වන උපන් දිනයට ප්‍රතිනිර්මාණය වූ ට්‍රී හවුස් – edition.cnn.com 

රුක් නිවසේ ඇතුළත බඩු භාණ්ඩ සැකසුම පමණක් නොවේ; කෙටියෙන් කියතොත්, මිල්නේ සිය කෘතියේ දක්වා ඇති ආකාරය අනුව යමින් රුක් නිවහනේ දොරට ඉහළින් “MR. SANDERZ “යන්න පවා කැටයම් කර තියෙනවා. ඩිස්නි සමාගම ට්‍රී හවුස් හි වගකීම පවරා ඇත්තේත් රේමන්ඩ්ට යි.

” ඊ. එච්. ෂෙපර්ඩ් ගේ මුල් සැරසිලි අනුගමනය කරමින් මම අතුපතරින් වැසණු ගසක ආකාරයට පූ ගේ නිවහන ජීවමාන කළා. ” කිම් රේමන්ඩ් කියා තිබුණා.

දැවයෙන් කළ මේ කුඩා නිවහන ඉදිකර ඇත්තේ පූ කතාවල සඳහන් අක්කර සියයේ වනය (Hundred Acre Wood) සඳහා මිල්නේට නිර්මාණාවේශය සැපයූ බව කියැවෙන එංගලන්තයේ ඇෂ්ඩවුන් වනයේ යි. ගසක් තුළ ඇති නිවෙසක් වැනි පෙනුමකින් යුතු එය තනි කාමරයේ නිවහනක්. යුගළ ඇඳකින් සහ ඊට ඉහළින් අටලු ඇඳන් දෙකකින් යුතු එය හතර දෙනකුට ඉඩකඩ සහිත යි. කතාවල දැක්වෙන ආකාරයට නිවෙස ජීවමාන කරන්නට ඇතුළත කබඩයක පැණි බඳුන් පවා තැන්පත් කර තිබෙනවා.

Illustrator Kim Raymond said he was inspired by the original drawings of E.H. Shepard in designing the house.
 ප්‍රතිනිර්මාණය වූ ට්‍රී හවුස් ඇතුළත – edition.cnn.com 

නිවාස රීතියට අනුව කෙටි නිදාගැනීම් කිහිපයක් සහ පූ සිය ගත පුබුදන ආහාර වේල ගන්නා වෙලාව වශයෙන් සුප්‍රකට පෙරවරු 11.00ට ලැබෙන කුමක් හෝ දෙයකුත් නවාතැන් ගන්නන්ට ලැබෙනවා. කෘතියේ සඳහන් වන අක්කර සියයේ වනය ( Hundred Acre Wood ) හා සමාන ඇෂ්ඩවුන් වනයේ සංචාරයකටත් ට්‍රී හවුස් හි නවාතැන් ගන්නන්ට සහභාගි වන්නට පුළුවනි.

ඒ අයට පූස්ටික් පාලමේ, පූස්ටික් ක්‍රීඩාව අනිවාර්ය වන නමුත් ” හෙෆලම්ප්ලා “ට ( හෙෆලම්ප්ලා යනු පූ සහ මිතුරන් බියගන්වන, පැණි සොරකමෙහි එන කුඩා අලින් වැනි චරිත වර්ගයක්) නම් ඒ නිවහන සම්පූර්ණයෙන්ම තහනම්. සැප්තැම්බර් 20 වැනි දා සිට රැයකට එක්සත් ජනපද ඩොලර් 130ක මුදලකට රුක් නිවහනේ නවාතැන් ගැනීමට ඉඩකඩ සලසන බව Bearbnb (Airbnb) පවසා තිබුණා. කනගාටුවට කරුණ ඊට වාසනාව ඇත්තේ එක්සත් රාජධානියේ පුරවැසියනට පමණක් වීම යි.

පූස්ටික්ස් පාලම – edition.cnn.com 

වෙන්දේසියේ විකිණූ පූස්ටික්ස් පාලම

” පාර තරමට පළල, දෙපස ම ලී ගරාදි සහිත ලී පාලමක් ගැන කතාවේ සඳහන්. ක්‍රිස්ටෝපර් රොබින්ට අවශ්‍ය නම් පාලමේ උඩ ගරාදියේ නිකට ගෑවිය හැකි වුව, පහළ ම ගරාදියට නැඟීම වඩාත් විනෝද ජනකයි. තමාට පහළින් හෙමි හෙමින් ගලන ගඟ දෙස බලන්නට එවිට ඔහුට පුළුවන.”
Poohsticks Bridge යනුවෙන් පසුව නම් කෙරුණු පාලම ගැන 1928 වසරේ රචනා කළ “The House at Pooh Corner ” කෘතියේ එලෙස සඳහන් ව තියෙනවා. පූ කතා මාලාවේ රචකයාට ‘පූස්ටික්ස් පාලම’ නිර්මාණය කරන්නට ආවේශය ලැබුණු වසර 114ක් පැරැණි මේ පාලම පවුම් 131,625ක මිලකට අලෙවි වූ පුවතක් ද පසුගිය දිනවල විදෙස් මාධ්‍ය වල පළ වී තිබුණා.

"Hands are to be kept out of the honey pots," the house rules state.
 ප්‍රතිනිර්මාණය වූ ට්‍රී හවුස් තවත් දසුනක් – edition.cnn.com 

පාලම විකිණීම භාරව කටයුතු කළ Summers Place Auction බලාපොරොත්තු වුණේ පාලම විකිණීමෙන් පවුම් 40,000-60,000ත් අතර මුදලක් ලබාගන්නට යි. ඒ අනුව එය තක්සේරු මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩි මිලකට විකිණී ඇති බව පැහැදිලි යි. Summer Place Auction හි අධ්‍යක්ෂ ජේම්ස් රේලන්ඩ්ස් කියා තිබුණේ, ඉතිහාසයට මිලක් නියම කිරීම අපහසු වුවත් එක්සත් රාජධානියෙන් මෙන්ම විදෙස් රටවලිනුත් කැමැත්ත පළකිරීම් රැසක් එයට ලැබී තිබුණු බව යි.

” අපි පාලමට ගෝලීය කැමැත්තක් බලාපොරොත්තු වුණා. ප්‍රතිචාර ආශ්චර්යවත්. ඒ ඒ මිල්නේ ඔහුගේ සෙනෙහැති කතන්දරවලින් ළමා පරම්පරා ගණනාවක් ප්‍රබෝධ කර ඇති බව එයින් පැහැදිලියි.” රේලන්ඩ් වැඩිදුරටත් කියා තිබුණා.

ට්‍රී හවුස් හි එළිමහන – edition.cnn.com 

පූස්ටික්ස් පාලමේ රස බර කතාව

පූස්ටික්ස් පාලමේ කතාවත් පූ කතා තරමට ම රසවත්. නැඟෙනහිර සසෙක්ස් හි ඇෂ්ඩවුන් වනයේ මෙඩ්වේ නදියේ අතු ගංගාවක් හරහා 1907 දී ඕක් දැවයෙන් ඉදි කළ එම පාලම එකල හැඳින්වුණේ පොසින්ෆෝර්ඩ් පාලම යන නමින්. එය අසුන්, මගීන්, කරත්ත ආදිය ගමන් කළ ශක්තිමත් පාලමක්. පූ කතා මාලාවේ ජනප්‍රියත්වය හේතුවෙන් පාලම නැරඹීමට ලොව නන් දෙසින් සංචාරකයන් ලක්ෂ ගණනින් පැමිණෙන්න පටන් ගත්තා. ගරාදි මතින් දහස් ගණනින් නරඹන්නන් එබීම නිසා ගරාදි අබලන් වුණා. නරඹන්නන් ලක්ෂ ගණනින් පිළිගැනීමට සිදුවීම හේතුවෙන් මෑත කාලයේ පාලම නිතර අලුත්වැඩියා කරන්නට සිදු වුණා.

1979 දී පාලම අලුත්වැඩියාවෙන් පසුව විවෘත කළේ මිල්නේ ගේ පුත් ක්‍රිස්ටෝපර් රොබින්. එය Pooh Sticks Bridge යනුවෙන් නම් කළේත් ඒ අවස්ථාවේ දී යි. අබලන් වීම හේතුවෙන් 1999 වර්ෂයේ මුල් පාලමේ ආකෘතියට ම අලුත් පාලමක් සවි කළා. ඊට මූල්‍ය දායකත්වය දැරුවේ, පූ චරිතවල අයිතිය 1960 දී ලබාගත් ඩිස්නි සමාගම යි. අවසානයේ පළමු පාලම කොටස් කර ඇෂ්ඩවුන් වනාන්තර මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබී ප්‍රාදේශීය මීසම් කවුන්සිලයේ අවසරය මත පෞද්ගලිකව විකිණුවා. ඉන් පසුව එය කෙන්ට් හි විලක සවි කළා. මෙවර විකිණුවේ කෙන්ට් හි සවිකළ ඒ පැරැණි මුල් පාලම යි.

Once There Was a Bear අලුත් විනී ද පූ කතා එකතුව – www.illustrationhistory.org 

එය මිලදී ගත්තේ නැඟෙනහිර සසෙක්ස් හි අක්කර දෙදහසක බක්හර්ස්ට් පාර්ක් වතුයායේ හිමිකරු ඩි ලා වොර් සාමිවරයා. එම වතුයාය පිහිටා ඇත්තේ, මිල්නේ ගේ ළමා කතා මාලාවට පදනම් වූ වනාන්තරයට ආසන්නව. පාලම මිලදී ගත් සාමිවරයාගේ පියා, පූ කතා කර්තෘ ඒ. ඒ. මිල්නේ ගේ එකම පුත් ක්‍රිස්ටෝපර් රොබින් මිල්නේ සමඟ පූස්ටික් ක්‍රීඩා කළ අයකු බව Summer Place Auction හි අධ්‍යක්ෂ ජේම්ස් රේලන්ඩ් කියනවා.

” පාලම නැවත ගෙදර ගියා ” යැයි රේලන්ඩ් පවසා තිබුණා. දැන් නැවතත් පාලම මුල් ස්ථානය ආසන්නයේ සවි කෙරෙනු ඇතත් ඒ මත පූස්ටික්ස් ක්‍රීඩා කරන්නට නම් කිසිවකුට අවසර ලැබෙන්නේ නැහැ. ඒ, අනාගත පරපුර වෙනුවෙන් එය ආරක්ෂා කළ යුතු නිස යි.

ලක්ෂ ගණනින් වටින පූස්ටික් චිත්‍රය සහ වනයේ සිතියම

පූ කතා මාලාවේ ජනප්‍රියත්වය පෙන්වන තවත් සිදුවීම් දෙකක් පසුගිය කාලයේ වාර්තා වුණා. ඉන් එකක්, ක්‍රිස්ටෝපර් රොබින් සමඟ පිග්ලට් පූස්ටික් පාලම මත පූස්ටික් ක්‍රීඩා කරන ආකාරය නිරූපණය කෙරුණු ඊ. එච්. ෂෙපර්ඩ් ගේ මුල් චිත්‍රය 2014 වසරේ පවුම් 300,000 ඉක්මවූ මිලකට අලෙවි වීම. අනෙක, ඉන් වසර හතරකට පසුව අක්කර සියයේ වනාන්තරයේ (Hundred Acre Wood) සිතියම පවුම් 350,000කට අලෙවි වීම යි.

චිත්‍ර ශිල්පි ඊ. එච්. ෂෙපර්ඩ් ඇඳි පූ සිතුවමක් – wikimedia.org

ජාතික විනී ද පූ දිනය

ජනවාරි 18 යනු එක්සත් රාජධානියට විශේෂ දවසක්. හේතුව, එදින ‘ජාතික විනී ද පූ දිනය’ වශයෙන් නම් කර තිබීම. එදින පූ වලහා සහ කර්තෘ සමරනවා. පූ දිනය ලෙස ජනවාරි 18 තෝරාගෙන ඇත්තේ එදින පූ චරිතයේ නිමැවුම්කරු ඒ ඒ මිල්නේ ගේ උපන් දිනය නිස යි. ලබන ජනවාරියේ යෙදෙන විනී ද පූ 95 සංවත්සරය වෙනුවෙන් Once There Was a Bear නමින් අලුත් විනී ද පූ කතා එකතුවකුත් සැප්තැම්බර් මාසයේ නිකුත් වුණා. Farshore ප්‍රකාශනයක් ලෙස එළිදැක්වුණු එම අලුත් කතා, ඒ ඒ මිල්නේ ගේ රචනා විලාසයට අනුව ප්‍රතිරචනය කළේ ජේන් රියෝඩැන්. මුල් චිත්‍ර ශිල්පී ඊ. එච්. ෂෙපර්ඩ් ගේ ශෛලියට චිත්‍ර ඇන්දේ මාර්ක් බර්ගෙස්.

” ඔවුන් ( මිල්නේ සහ ෂෙපර්ඩ්) තුළ අතිශය සර්වකාලික යමක් තියෙනවා කියා මට හිතෙනවා. මේක වැඩිහිටියන්ගෙන් තොර ලෝකයක්. ළමයි, සෙල්ලම් බඩු, සත්තු ඔයා කැමැති ආකාරයකට හඳුන්වන්න පුළුවන් ඕනෑම කෙනෙක් එතැන ඉන්නවා. ඒ නිසාම (පූ) කතාවල විස්මය ජනක නිදහසක් තියෙනවා. හැම පරම්පරාවක්ම ඒවාට ආකර්ෂණය වෙන එක හේතුවකුත් ඒකයි. ඇත්තෙන්ම ඒවා සදාකාලිකයි ” ජේන් රියෝඩැන් කියනවා.

 පූස්ටික්ස් පාලමේ සිතුවමක් – wikimedia.org

පූ සැමරුම වෙනුවෙන් ඩිස්නි සමාගම අඟල් 12 විනී ද පූ කෙනෙක් හඳුන්වා දුන්නා. එක්සත් රාජධානිය නිකුත්කළ Pooh, Piglet, Owl, Rabbit, Tigger, Kang, සහ Roo ගේ රුව රන් සහ රිදී සැමරුම් කාසි පූ සැමරුමේ ම කොටසක්. පූ ට පෙර එසේ සැමරුම් කාසි නිකුත් කර ඇත්තේ Peter Rabbit, Harry Potter, Paddington Bear සහ Alice in Wonderland වෙනුවෙන් පමණයි. පූ ඔරලෝසු, සැමරුම් පත් ආදි නොයෙක් ආකාරයේ සිහිවටන පූ ගේ 95 සැමරුම වෙනුවෙන් පූ පාඨකයන්ට ලබාගත හැකි යි.

විනී ද පූ ගේ සර්වකාලික වටිනාකම

මේ සියල්ලෙන් නැවත නැවතත් පැහැදිලි වන්නේ, ජේන් රියෝඩැන් ද කියන ආකාරයට විනී ද පූ ගේ සර්වකාලික වටිනාකම සහ ජනප්‍රියත්වය යි. පූ කතා මාලාවේ චරිත වශයෙන් යොදා ගෙන ඇත්තේ ඒ ඒ මිල්නේ ගේ එකම පුතු ක්‍රිස්ටෝපර් ගේ ක්‍රීඩා භාණ්ඩ සතුන්. එම මුල් සෙල්ලම් භාණ්ඩ අදත් නිවුයෝර්ක් මහජන පුස්තකාලයේ තැන්පත් කර තියෙනවා. හැබැයි එකක් හැර. ක්‍රිස්ටෝපර් ක්‍රීඩා කළ Roo අද එහි නැහැ. ඒ 1930 ගණන්වල Roo නැති වුණු නිස යි.

රුක් නිවහනේ දොරට ඉහළින් “MR. SANDERZ “යන්න පවා කැටයම් කර තියෙනවා -news.airbnb.com 

කෙසේ වුවත් පුස්තකාලයක තැන්පත් කර තබන්නට තරමට ඒ ක්‍රීඩා භාණ්ඩවලට වටිනාකමක් ලැබුණේ ක්‍රිස්ටෝපර් ඒවායින් ක්‍රීඩා කළ නිසා නොව, ක්‍රිස්ටෝපර් ගේ පියා ඒ ඒ මිල්නේ ඒවාට සදාතනික වටිනාකමක් ලබාදුන් නිස යි. ළමා ලෝකයත් වැඩිහිටි ලෝකයත් කුතුහලයෙන් සහ සදාතනික මතකයකින් පිරවූ ඒ ඒ මිල්නේ 1996 දී ජීවිත ගමන අවසන් කළා.

” මගේ ළමා උරහිසට නැඟල තාත්ත එයාට ඕන තැනට ගියා කියල මට හිතෙනවා. එයා මගේ කීර්තිනාමය සොරකම් කරල එයාගේ පුතා කියන හිස් ප්‍රසිද්ධිය ඉතිරි කළා “

මිල්නේ ගේ මරණයෙන් පසුව පුතු ක්‍රිස්ටෝපර් එසේ කීවා. එහෙත් ඒ වචන ඒ ආකාරයෙන්ම පිළිගන්නට ලෝ වැසියන් අකැමැති බව වසරින් වසර ඔප්පු වෙමින් පවතිනවා.

 

උපුටා ගැනීම: roarmedia

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!