බැචාලා වර්ගීකරණය ( බැචීලා ටද අදාළයි)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

*අම්මා බැචා -----------------------

අම්මා යැයි කීවාට මූ පුරුෂ ලිංගිකයෙකි. ඇතුවත් බැරි නැතුවත් බැරි එකෙකි.මොහුගේ මව් ගුණය කැපී පෙනෙන්නේ අනිත් රූමලා දෙන්නාටය.උදේම නැගිට අනිත් උන්ට බැණ වදිමින් කාමරය අස්පස් කර අතුගාන මූ තේ වක්කර දරුවන් දෙදෙනා අවදි කරයි.ඉදින් සීනි ඉවරනම් මතු දැක්වෙන "දරුවා බැචා" අවදිකොට පෝසත් බැචාගේ කාමරයට යවා ඉල්ලාගෙන එයි.ඉක්බිති ඉවුම් පිහුම් කටයුතුය.හොද්ද හැඳිගාද්දීත් අනිත් රූමලාගේ නොසැළකිලිමත්කම ගැන ආඩපාලි කියයි.උදේ පාන්දර පීනස් හොටු උඩට අදිමින් බාත් රූමයට වැදී පාපිසි පවා හෝදයි.මකුලුදැල් හා දූවිලි සමග බද්ධ වෛරයකින් පසුවෙයි. අනිත් රූමලා දෙන්නාගේ කලිසම් මතු නොව ජොකා පවා මාසෙකට සැරයක් හේදෙන්නේ අම්මා බැචාගෙ .ආඩපාලි නිසාය.රූමලාගේ එදිනෙදා කටයුතු ගැන සැළකිලිමත්වන මොහු රූමෙක් රෑ පැමිණීමට ප්‍රමාද වුවහොත් කලබල වී දුවපනී.ඌ පැමිණිපසු ඒ ටු ඉසෙඩ් ප්‍රමාදයට හෙතු කිවයුතුවෙයි.රූමලාගේ පමණක් නොව බැච් එකේම දුක් උහුලයි.අවශ්‍ය වුවහොත් වලියට පවා ඉදිරිපත්වෙයි.මේ සකලවිධ යුතුකම් වගකීම් ඉටු කොට වෙලාව තිබුණොත් අධ්‍යාපන කටයුතු ද කරන මේ අම්මා බැචා නැති කාමරය බල්ලන් කෑ පොල් මුඩ්ඩක් වැනිය.

*තාත්තා බැචා.-------------------------------------------

බැලූ බැල්මට පට්ට අලසයෙකි..නිතරම ඇඟේපතේ අමාරුවක් ගැන මැසිවිලි දොඩයි.කෙඳිරි ගායි.එහෙත් කාමරයේ ආර්ථිකය රන් කරන්නේ මොහුය.එක එකාගෙන් හිඟාකෑම ප්‍රතික්ෂේප කරන මොහු ටූත් පේස්ට් ඉවරනම් ඩස්පින් එකක් අවුස්සා හිස් ටියුබ් පලා දරුවන්ට දෙයි.අම්පාර පොලොන්නරු පැත්තේ එකෙක් නං හාල් ගෝනියක්,කුරුණාගල එකෙක්නම් පොල් ගෝනියක් බසයේ ඇන්ජිම ළඟ තබා නිදි කිරුවත් ගෝනිය ගැන මීටරෙන් එයි.මහකන්ද බසයෙන් බැස ගෝනිය කර තබාගෙන අනිත් උන්ට හොරෙන් හෝල් කන්ද තරණය කොට කාමරයට සැපත්වන හෙතෙම ගෝනිය ඇඳයටට රිංගවා “ඕං ගෙනාවා “කියයි.එහෙත් පම්පෝරි නොගසයි.හැබැයි අම්මා බැචා නැතිබැරිකං ගැන කෙඳිරිගාද්දී නං මල පනී “ඇයි යකෝ මං මසෙටම හාල් ගෙනාවෙ..සබං කෑල්ලක් ගේන්ඩ බැරිද තොපි දෙන්නෙකුට”කිව්වත් තරහ හිතේ නොරඳයි.අනිකුත් බැචාලාගෙන් එල්ලවන අභියෝගවලදී අම්මා බැචා එපා කියද්දී ඉදිරියට කඩා පනී.දවල් කාලයේදී අම්මා බැචා නිරීක්ෂණය කොට එන කොස්,අලිගැටපේර,ආදියේ අස්වැන්න නෙලීමට රෑබෝවන තුරු පුල පුලා සිටින තාත්තාබැචා අනුන් ලවා ලියවන නෝට්, කුප්පි ආදියට වැඩි නැඹුරුතාවක් දක්වයි. ඊළඟ ලෙක්චරයට නං යන බව පවසමින් දිවාකාලය පැකල්ටි කැන්ටිමේ ගතකරයි.අම්මා බැචා ඈත එනු දුටොත් හිමින් සැරේ එතනින් මාරුවීමට දක්ෂයෙකි.අධ්‍යාපනයේ වටිනාකම ගැන රූමලාට සිරිත්මල්දමටත් වඩා කරුණු කියාදෙන මොහු වේලාසන නිදාගනී. සියක් කාමරවලින් සැදුම් ලද හිල්ඩාවේ වුවත් කොතැනක හෝ බෝතල් මූඩියක් ඇරෙන්නේනම් එයද ශ්‍රවණය සඳහා තියුණු කන් ඇත්තෙකි.

*දරුවා බැචා ------------------------

අහිංසකයෙකි.කියන දෙයක් කරනවා මිස තමන්ගේ අභිමත නැත.බැණුම් ඇසීම විනෝදංංශය කරගත් මොහු.උදේට නැගිටින්නේත් රෑට නිදාගන්නේත් කොටින්ම කොමෝඩ් එක ෆ්ලෂ් කරන්නේත් ඉහත දෙදෙනාගේ ආවවාදාත්මක තර්ජන මැදය.අඩුපාඩු අසල්වාසීන්ගෙන් ඉල්ලාගෙන ඒම,පොල්ගෑම ලූනු සුද්දකිරීම වැනි සරල කාර්‍යයන් පැවරී ඇතත් පසු විපරමක් නැත්නම් සියල්ල අනාගනී.පොල් බෑයක් ඉල්ලාගෙන එන්නට කාමරයකට ගියවිට එහිදී කය්යට සෙට් වී පොල් බෑය අමතක වෙයි.අම්මා බැචා ඌ සොයාවිත් එතැනට කඩා පනිනවිට උඩ විසිවී පියවි ලොවට පැමිණෙයි.කාමරයේ වැඩිපුරම ආදරයට ලක්වන්නාද ඔහුය.ඒ නිසාම හුරතලේට හිතා මතාම ගොන් වැඩ කොට හිනාවට ලක්වීම ඔහුගේ එක් ක්‍රීඩාවකි. අනිත් දෙදෙනාටම වඩා අධ්‍යාපනයට නැඹුරුතවක් දක්වන මොහු කාමරයේ වැල මුල්ලම ප්‍රිය කරයි.ඇඳ ගජේට නං බිත්තිය පැත්ත ඉල්ලයි.. එසේ නිදාගෙන බිත්තියට මිට මොළවා ඇන එහා පැත්තෙ කාමරේ එකාත් එබඳුම පිළිතුරක් දුන්නොත් පස්වනක් ප්‍රීතියට පත්වෙයි. මෙබඳු සිඟිති ආතල් ගන්නා මූට අනිත් දෙදෙනාගේ සැළකිලි නිසා අඩුපාඩු නැත.වලියක් සෙට් උනොත් ආඳෙක් මෙන් ලුහුටා මාරුවන මොහු එක දෙක කොට දෙමාපියන්ට කියා අරූගෙන් ගේම ඉල්ලන්නට පොළඹවයි.තාත්තාබැචා සෙට් කරන පාටිවලදී පිනට බී කබරයා දැමීමේ රුසියෙකි.ස්ත්‍රී ලෝලියෙකි.ප්‍රවේශමින් ඇසුරුකළ යුත්තේය.

අසල්වාසී බැචා ----------------------

කැමති වුවත් අකමැති වුවත් උදෑසන දැකීමට සිදුවන්නෙකි.පාන්දරින් විත් වවුලෙකු මෙන් දොරෙහි හැපෙයි. නින්ද කඩාගෙන පුපුරමින් විත් දොරහැර බැලූවිට මූ දත් බුරුසුවත් සමග කාමරේ දොරකඩය. “මචාආඅං…පනා ක්‍රීම් ටිකක් දීපම්..”ඌ සුපුරුදු උදෑසන ප්‍රශස්තිය ගයයි.උගේ කාමරේ අනිත් උන් දෙන්නාගේ පමණක් නොව මුළු බැච් එකේම ප්‍රසිද්ධියෙ කිව නොහැකි සකලවිධ කේලම් දහසක් බුදුන් බුදුවන උදෑසන කුණුකෙල කටින් වමාරන්නේ,”කාටවත් කියන්න එපා බැච් එක කැඩුවා කියයි ” යන ඌණ පූරණයද සමගින් වීම විශේෂත්වයකි .මහ පාන්දර වුවත් විදුලි බුබුලු දැල්වේනම් සබා ගේ කාමරයට වුවත් තට්ටු කර පනාව දමා ලෙන්ගතුකම් පෑම මොහුගේ ජන්ම ගතියකි.මූ රෑ තිස්සේ පාඩම් කර මෙන්ටල් රිලැක්ස් කරගැනීමට වරින් වර අවේලාවේ මෙසේ වීදි සංචාරය කරන බවට පවතින කටකතා මූ එක හෙලා ප්‍රතික්ෂේප කරන්නේ මනුස්කමට කරන ඇසුරට පද හදන උන්ට සාප කරමිනි.කාමරේ අනිත් රූමලා දෙන්නාගේ දුකසැපට වඩා රටේ ලෝකේ අනිත් උන්ගෙ දුකසැප ගැන නිරන්තරයෙන් වෙහෙසෙන මේ අසල්වාසී බැචාට අල්ලපු කාමරවල උන්ගේ කරපිංචා නැට්ටේ සිට ඩෙසිය දක්වා මනා අවබෝධයක් ඇත.

මනමාල බැචා -----------------------

බැච් එකේ හැන්ඩියාය නමුත් ජලභීතිකා රොගයෙන් පෙළෙන නිසා හෝල් එකේ බාත් රූම් ඇති පැත්ත පළාතකින්වත් නොයයි..වැසි සහිත කාලගුණික තත්වයක් ඇති දවසක අම්මා මුත්තාටවත් මූ එලියට ගත නොහැක.වැස්සට අසු වුනොත් හැන්ඩිත්වය සේදී යන බැවිනි.බැලූ බැල්මට මුගේ කොන්ඩය ක්‍රේල් ලෙස පෙනුනත් ඒ ඇත්ත වශයෙන්ම නොනෑම නිසා ගෙතුණු හැඩපලුය.සති ගණනක් බැඳුණු දාඩිය කුණු තට්ටුව මූණේ බේස් ආලේපයක් ලෙස පෙනේ.ස්වභාවයෙන් ලද ආරෝහ පරිනාහ රූප කල්‍යාණය නිසා සියලු කුණු යට යයි.සඟවාගෙන පාවිච්චිකරන සෙන්ට් කුප්පියකින් මොහු සතුය.මූ එය ශිෂ්‍ය වාර්තා පොතටත් වඩා රකී.එකී සෙන්ට් කුප්පියෙන් සති ගණන් නොහෝදා කාමරයේ පිටිපස ගරාදි වැටේ කෝඳුරුවන් ඇහිරෙමින් තිබූ යට ඇඳුම් පවා සුවඳවත් කොට යලි අඳී.මැස්සන්ට බොරු කිරීමට නොහැකි බව දන්නා මොහු මැස්සන් බහුල කැන්ටින් වල ගැවසීම ප්‍රිය නොකරයි.නොකඩවා පිළිවෙතින් පෙළගැසී දේශන වලට සහභාගී වෙයි.ඒත් ලොකු ප්‍රතිඵල නැත.”හැන්ඩින්ට බඩු නැත”යන පඬි වදන යලි යලිත් සනාථ කරමින් යලි යලිත් “ඇන”ගනී.ඊට පැකල්ටිය අදාළ නැත. තමන්ගේ හැන්ඩිත්වය ගැන මහත් විශ්වාසයක් ඇත .ඒ විශ්වාසය පෙරදැරිව හැම පැකල්ටියකම ෆෝත් ඉයර් පටන් කුනු ප්‍රෙසී දක්වා වු සියල්ලන්ගෙන් ඇනගෙන මහමෙරක් සේ අකම්පිතව තවදුරටත් නොනා හිඳීමට මොහු සමතෙකි.විජය කුමාරතුංග,ජීවන් කුමාරතුංග වැනි නළුවන්ගේ මූඩ් කන්නාඩි කෑල්ලක් දෙස හොරෙන් බලාගෙන ෆික්ස් කරයි.තමන්ගේ බැචීලා ගැන උනන්දුවක් ඇත්තේම නැත්තෙකි.වසර හතරක් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ගතකරන ඕනෑම ශිෂ්‍යයෙකුට එක දිගට නොකඩවා දින තුනක් වසින වැස්සක් අත්විඳින්නට සිදුවේ.අන්න ඒ තමා මනමාල බැචා නාන දවස..!රූමලා සමග මොහු දොළට යන්නේ නානවා බලන්නට මිස නාන්නට නොවේ.අභාග්‍යයකට රූමෙකු කිසියම් අත්වැරදීමකින් හෝ ප්‍රමාදයකින් මුගේ ඇඟේ හැපී මූ දොලට වැටේ. (වට්ටවයි?)”තෙමුණු එකේ නාමු “ප්‍රතිපත්තිය අනුව නාන්නට වන් කල්හි,කොන්ඩයේ ක්‍රේල් දිය පහරට දිග හැරෙන්නේය..පොල් පරාල යාර ගණන් කුණු ඇඹරෙන්නේය.ඒ සමගම අහස කලුකරගෙන අර තුන්දාවැස්ස ඇරඹෙන්නේය.

*බඹර බැචා -----------------------

සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට හෝල් එකේ ඉන්නට හිටින්නට බැරි එකෙකි.වර්ණවත් රාත්‍රීන් අපේක්ෂා කරයි.ගැටඹේතොට දිය කැපීමේ මංගල්‍යයේ සිට ඕනෑම පැකල්ටියක වෙල්කම් ගොයින්ඩවුන් පාටි දක්වා වූ ආගමික අනාගමික උත්සවයන් භජනය කරයි.ඉතා සීරුවෙන් උපක්‍රමශීලීව හා මිත්‍රශීලීව මේවාට රිංගාගන්නා මොහු ඒවායේ ඇල්කොහොල් සංග්‍රහය කෙරෙන තැන වහා සොයාගෙන පිනට සප්පායම් වෙයි.ඉන්පසු සියල්ල කණපිට හැරී ආක්‍රමණශීලී වෙයි.අනුන්ගේ පාටි තමන්ගේ කරගනී.සංවිධයකයින්ද පෙරලාගෙන මූ නටයි.ඌ කැමති සිංදු ඉල්ලනවා පමණක් නොව ඌත් සිංදු කීමට අවශ්‍යබව කියමින් බලාත්කාරෙන් වේදිකාගතවෙයි.විරුද්ධවූවන්ගෙන් ගේම ඉල්ලයි.පාන් කාලක් කන්නට ඇඟේ මස් නැතත් උපකුලපතිට පවා ද්වන්ධ සටන්වලට ගලහ හන්දියට ආරාධනා කරයි.මේ විප්ලවය ගුටි කෑමෙන් අවසන් වේ.පසුදින ගැසූ එකා සොයාගොස් “ඇයි උඹ එහෙම දෙයක් කළේ මචං”කියමින් නහයෙන් අඬයි. නොබී ඉන්න වෙලාවලට හිත හොඳ එකෙකි.ඇඟපතේ තැලුම් සීරුම් පාරවල් මූ හඳුනාගැනීමට ඇති එකම ලකුණයි.

නයා බැචා -----------------------

කිසියම් සමාජාර්ථික හේතුවක් නිසා කල් පසුවී ආ වැඩිහිටි එකෙකි.සමාජයේ “පොරවල්”සමග යම් යම් සම්බන්ධතා ඇත.කලා කුසලතාවන්ද ඇත.ගෙදර සිට පැමිණීමට රුචියක් දක්වයි.
මූ ගැන එකඑල්ලේ හැඳින්වීමක් කළ නොහැක්කේ මූ ගැන මත දෙකක් පවතින නිසාය.එකක් මූ නිකංම නයි අරින එකෙක් බවය.අනික මූ කියන දේවල් වල ඇතතකුත් ඇති බවය.පාඨකයාට මු අවබෝධ කරගැනීමට උදාහරණ අවස්ථා දෙකක් දක්වන අතර ලිපිය නවකතාවක් වීම වැළක්වීමට එකී අවස්ථාවල කථනයන් සංක්ෂිප්ත කළ බව සළකන්න.නයා එතරම් දිගය.
1.අද කිහිලිකරුවෙන් පැන පැන එන ඔහු හෙට බෙල්ලට කොලරයක් දමාගෙන එයි.මොකද උනේ කියා බැචාලා,-විශේෂයෙන් බැචීලා විමසති.පිළිතුර අති දීර්ඝය.ඇරඹෙන්නෙ කොළඹ කරන පාට් ටයිම් ජොබ් එක හා එයින් ලැබෙන ලොකු පඩිය ගැන විස්තරයකිනි.ඒ සඳහා පැයක් ගතවෙයි.තාම කකුලට වූදේ නැත.නොයිවසිලිමත් බැචා.උඹේ කකුලට උනේ මොකද කියපංකො කියයි..”ආ.කකුලද…?.මං පෙරේදා ඒ පඩියෙන් එළවලු ගෝනියක්ම අරං ගෙදර යද්දි ගලක් පැටලිලා කකුල පෙරළුනා.”
2.ප්‍රමාද වී පැමිණි දිනක “ඇයි අද පරක්කු උනේ ..”බැචෙක් විමසයි”එවිට පිළිතුර මෙසේ ලැබෙයි”.ඊයෙ රෑ හිටියෙ කොළඹ රත්නෙ අය්යලගෙ ගෙදර.උදේ නැගිටලා එනකොට නන්දක්කා පාර අයිනෙ ලිඳේ නානවා.මාව දැකලා මල්ලියෙ කොහෙද උඹ යන්නෙ ඇහුවා.මමත් ඉතිං හරි නැති හින්දා ගිහිං තේ එකකුත් බීලා ආවා.තාම ඉන්නෙ ඒ කාපු බනිස් ගෙඩියෙන්.”…මෙහි රත්නෙ අය්යා යනු රත්නශ්‍රී විජේසිංහයන් ද,නන්දක්කා යනු නන්දාමාලිනියද වූවාට පුදුම නොවන්න….!

ප.ලි.
කරුණාකර ඔබේ අදාල බැචා/බැචීමෙන්ෂන් කිරීමෙන්වළකින්න.ශිෂ්‍යයෝ ද මනුෂ්‍යයෝය😀

©සුනිල් අබේදීර

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!