‘අම්මා, මොකද අම්මා වෙලා තියෙන්නේ, මොකද උනේ?’

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

වෙහෙසකාරී එහෙත් ඵලදායි හා ප්‍රීතිමත් දිනක් නිමා කරමින් ඈ නිවෙසට පැමිණියේ සවස් වරුවේය. මෙවැනි සති අන්තයේ දින වල දුෂ්කර පාසලක ඉගැන්වීමට ඈ යන්නේ සරසවියේ ව්‍යාපෘතියක් සඳහාය. අද එහි තෙවන දිනයයි. අසරණ, දිළිඳු දරුවන් ආශාවෙන් ඉගෙන ගනු දුටු විට ඇගේ සිතට දැනෙන්නේ සතුටකි. ඒ සතුටෙන් සිත පුරවාගෙන නිවසට ගොඩ වූ ඇයට දකින්නට ලැබුණේ අම්මාගේ මැළවුණු මුහුණයි. ඇගේ හදවත දැවී ගියාක් මෙන් දැනිණි. අම්මා දුකෙන් ඉන්නේ ඇයි?

‘අම්මා, මොකද අම්මා වෙලා තියෙන්නේ, මොකද උනේ?’
ඈ අම්මා අසළින් වාඩි වූවාය. අම්මා කතා නැත.

‘මොකද අම්මෙ වෙලා තියෙන්නේ, මල්ලී මෙහෙ එනවා මොකද මේ අම්මට වෙලා තියෙන්නේ?’ ඈ මල්ලීට කෑ ගැසුවේ කෝපයෙනි. ඔහු ආවේ සිනාසීගෙනය.

‘ඔයාට කසාදයක් හොයන්න යන්නෙ අම්මලා’ ඔහුට සිනාව නවතාගත නොහැකි වූ අතර ඔහු නැවත හැරී යන්නට ගියේය. ඇය ඉමහත් පුදුමයට පත් වූවාය.

‘මොකක්, මොකක්ද අම්මෙ මේ කියන්නෙ?’

‘අනේ මන්දා’ අම්මා ඇගේ හඬ අවදි කළේ එවිටය.

‘මොකද්ද උනේ කියන්න අම්මා?’ ඈ ඇසුවේ නොඉවසිල්ලෙනි.

‘අද උදේ කුරුණෑගල නැන්දා කතා කරා…’

‘ඉතිං?’

‘ඉතිං එක එක කතා කියනවා’

‘මොනවද එක එක කතා?’

‘ඔයාගෙ වයසෙ ගොඩක් අය කසාද බඳිනවලු, කැම්පස් ගියාට වැඩක් නැතිලු, ඔයා දෙවෙනි සැරේ කැම්පස් ගියේ පළවෙනි සැරේ ප්‍රතිඵල මදි හින්දනෙ, නැන්දා කියනවා පළවෙනි සැරේ ෆේල් උන වෙලේම බන්දලා දුන්නා නම් කිසි කරදරයක් නෑලු. තව කතා ගොඩයි’ කියමින් අම්මා නැවත දුක්මුසු මුහුණින් ඉවත බලාගත්තා ය. එවර සිනාසුණේ ඇයය.

‘දැන් ඕකට ද අම්මා දුකෙන් ඉන්නෙ?’ ඈ සිනාසෙන්න ට ගත්තාය. ‘ඒක ද හදිස්සි වෙලා මට කසාද හොයන්න ගියේ?’

‘ඔයාට මොකද වෙලා තියෙන්නේ ඒ පාර?’

‘අම්මා, ඔක්කොම නෙවෙයි, ඒත් ගොඩක් මිනිස්සු කවදාවත් කැමති නෑ අනිත් අය සතුටින් ඉන්නවා දකින්න, මොනවා හරි කියලා කරලා මිනිස්සුන්ව අවුල් කරන්නමයි හදන්නෙ, නැති ප්‍රශ්නයක් හරි ඇති කරලා, ඒකට හේතුව තමයි ගොඩක් අයට තියෙන්නෙ අනේ මෙයාලා අපිට වඩා ඉහළට ගියානේ කියන ඉරිසියාව, ඒක එයාලට දරාගන්න බෑ, ඉතිං මොනා හරි කියනවා, කුරුණෑගල නැන්දටත් තියෙන්නේ ඒ අවුලම තමයි, මං කලිනුත් කියලා තියෙනවනෙ. අනික අම්මා, මගෙ වයසෙ අය දැන්මම බැන්දා කියලා මාත් බඳින්න ඕනි නෑ, අපි එක එක්කෙනාට තියෙන්නේ එක එක බලාපොරොත්තු, එක එක අරමුණු, ඉතිං කලින් බඳින අය බැන්දාවෙ, ඒක එයාලගෙ බලාපොරොත්තුවනෙ, කැම්පස් යන අය ගියාවෙ, ජොබ් කරන අය ඒවා කරගත්තාවෙ, දැන් අපෙ අයියට ඉහළින්ම කැම්පස් යන්න පුළුවන්කම තියෙද්දි ජොබ් එක්කට ගියේ, ඒ එයාගෙ තේරීම, කාටවත් අයිතියක් නෑ කවුරුවත් කරන දේවල් විවේචනය කරන්න’ කියමින් ඈ හුන් තැනින් නැගිට්ටේ බෑගයද අතට ගනිමිනි.

‘අම්මට ඔය එක එක විකාර කියවගෙන එන්නෙ අම්මා අහිංසක බව දන්න හින්දා, අම්මා ඕවා ගණන් ගන්නෙපා’ ඈ කීවේ සිනාසෙමිනි.

‘හිනා වෙලා ඉන්න අම්මා, නැති ප්‍රශ්න ඔළුවට දාගන්නෙපා, එයාලගෙ වැඩේ තමයි අනිත් අයට ප්‍රශ්න හදන එක, ඒ ප්‍රශ්න ඔළුවට අරන් හිතේ තියෙන සැනසීම නැති කරගන්නෙපා අම්මා, ඒවා ඒ මිනිස්සු හිතන ඒවා මිස අපිට අදාළ නෑනෙ, ඔව් කියලා හිනා වෙලා ඉන්න’ ඈ අම්මා දෙස බැලුවේ ආදරයෙන් මෙන්ම අනුකම්පාවෙනි.

ඇගේ කතාව ඇසූ අම්මා සුසුමක් හෙළා සිනාවක් පෑවාය.

හන්සි විජෙකෝන්

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!