කඩං වැටෙන ජංගි!

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

කඩං වැටෙන ජංගි!
(මේ කතාව කියවලා නමක් දාලා දෙන්න කිව්වාම හස්බන්ඩ් දාපු නම තමා ඔය)

පොත් කියවන කොල්ලෝ…. ( අන්තිමට මංම නමක් දා ගත්තා ඕං)

මං දුවගෙන ඇවිල්ලා කෝච්චියට නැග ගත්තේ දොර වැහෙන්න ඔන්න මෙන්න තියලා. සීත කාලේ වේලසනින්ම ඇවිල්ලා. ගස් වල කොල හැලෙන කාලේ ඉවර වෙලා තිබුනේත් නැහැ. මෆ්ලරයයි බීනියයි නිසා පොඩ්ඩක් සීත අඩු උනත් ඇඟිලි තුඩු පුපුරන තරම් සීතල. සීත කාලේ තදින්ම පටන් ගන්න නිසා වැඩ ඇරුනට පස්සේ මං ගියා පොඩි එවුන්ට සීත ඇඳුම් ගන්න. පොඩි එවුන් ලොකු වෙන එක කොච්චර වේගෙන් සිද්ද වෙනවද කියලා තේරෙන්නේ ඍතුවෙන් ඍතුවට අලුත් ඇඳුම් ගන්න වෙනකොට.

බෑග් ටිකත් කර ගහගෙන මං අයිනකට හේත්තු උනා. වාඩි වෙන්න ඉඩ නෑ. වාඩි වෙන්න තියා හිට ගන්ඩවත් ඉඩක් නැහැ . වෙනදා වෙලාවට වඩා පරක්කු නිසා වෙනදා නගින කෝච්චි පෙට්ටියට නැග ගන්නත් බැරි උනා. කොහෙද ඉතිං ගෑනුනේ. රෙදි අතගාන්න ගියාම ගෙවල් තියෙනවා කියලා මතක් වෙන එකක් යැ. විශේෂයෙන්ම මෙල්බර්න් සෙන්ට්‍රල් වගේ ශොපින් පලාතකට ආවාම. කොච්චර අතගෑවත් අන්තිමට ලෝකේ බේරගන්න කන්සෙප්ට් ටික මතක් වෙලා පොඩි එවුන්ට විතරක් ඇඳුම් අරන් එනවා. මොකෝ මං ඉතිං උස මහත යනවා කියලායැ.

පොඩ්ඩක් හරි බරි ගැහිලා වටපිට බැලුවේ අල්ල ගන්න පොල්ලක්වත් තියෙනවද කියලා. එහෙම හිතන කොටම කෝච්චිය ඊළඟ ස්ටේශන් එකේ නවත්තලා ආපහු යද්දි ආපු තෙරපුම අතින් කටින් බෑග් ගොඩක් උස්සන් හිටපු මට දරා ගන්න බැරි උනා. මොකෝ දනි පනි ගාලා උඩ තියෙන පොල්ලක එල්ලෙන්න කියලායෑ. මං ඉතිං බැලන්ස් නැතුව මගේ එහා පැත්තේ හිටපු මනුස්සයගේ ඇඟේ හැප්පුනා. ඒ මනුස්සයා අත දික් කරලා මාව වැටෙන එක නැවැත්තුවේ නැත්තං බෑග් ටිකත් එක්ක මං කාගේ හරි ඔඩොක්කුවක නවතින්න බොහොම ඉඩ කඩ තිබුණා .

මං බිම බලාගෙන හිටපු නිසා දුඹුරු පාට සපත්තු දෙක විතරයි මෙච්චර වෙලාම දැක්කේ.

“ස්තූතියි , මාව වැටෙන්න දෙන්නෙ නැතුව නවත්ත ගත්තට” කියලා කියන ගමන් මං උඩ බැලුවා.

මනුස්සයෙක් කිව්වට හම්මා එළකිරි කොලුවෙක්නේ. එයා ඔළුව හොලවලා මගේ ස්තූතිය පිළි ගන්න ගමන් “ඔයා හොඳින් නේද?” කියලත් ඇහුවා.

” ඔව්, කාගෙවත් ඔඩොක්කුවකින් ඉවර උනේ නෑ වාසනාවට” මං හිනා වෙන ගමන් උත්තර දුන්නා.

කොලුවා හිනා උනා මගේ උත්තරේ ට. ඊට පස්සේ එයා ටිකක් එහාට ගිහින් මට එයා හේත්තු වෙලා හිටපු පොල්ලෙන් අල්ල ගන්න ඉඩ හදලා දුන්නා. එතකොට තමයි මං දැක්කේ එයාගේ අතේ තියෙන පොතේ නම .

“Kite Runner- ඒක හරිම ලස්සන පොතක්”

“ඔයා කියවලා තියෙනවාද?”

“ඔව් කාලීඩ් හුසේයිනිගේ පොත් ඔක්කොම ලස්සනයි”

මං පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා අතේ මිරිකගෙන හිටපු බෑග් ටික බිමින් තිබ්බා. ඊට පස්සේ මගේ හෑන්ඩ් බෑග් එකේ තිබුන And the Mountains Echoed පොත ඇදලා එලියට ගත්තා.

“මේක ඊළඟට එයා ලියපු එක”
මං කිව්වා.
ඊට පස්සේ කොලුවයි මායි පොත් ගැන කතා කරා. ඇත්තම කිව්වොත් මං හින්දා උගේ පොත් කියවිල්ලට කෙල උනා !

අන්තිමට මං බහින තැනත් ලං උනා. එයාට ඕනේ උනා මං මොන පසුබිමකින් ආපු කෙනෙක්ද කියලා දැන ගන්න. එක අතකට ඒක හොඳයි . නැත්තං ඉන්දියාවෙන් ආපු කෙනෙක් කියලා හිතා ගන්න එකට මං කොහෙත්ම කැමති නැහැ .
“ඉපදිලා හැදුනේ වැඩුනේ ශ්‍රී ලංකාවේ ”

” මම හිතුවා ” කොලුවා කිව්වා.

ඒ කොහොමද යකෝ ඒ? මං එහෙම හිතුවා විතරයි, මගේ මූනේ භාව ප්‍රකාශනය දැකලාද කොහෙද කොලුවා ඒකටත් උත්තර දුන්නා.

“ශ්‍රී ලංකාවේ මිනිස්සු හරි සුන්දරයි . කොයි වෙලෙත් හිනා වෙලා ඉන්නේ”
මං ඉතිං තව මල් මල් හිනාවක් කොලුවට දුන්නා. එහෙම නැතුව කොහොමද ,මෙච්චර කරටියටම නග්ගනකොට!

” ආව්.. බොහොම ස්තූතියි ! ඔයා මොන පසුබිමකින්ද?”

“ඉටෑලියන්”

හම්බේ! මට එහෙම කියවුනේ නැහැ හොඳ වෙලාවට. කොහොමත් මං ඉන්න පලාතේ ඉන්නේ ඉතාලි සහ ග්‍රීක් පසුබිම් වලින් එන මිනිස්සු.

මං බහින තැන ළං උනා. බෑග් ටිකත් එකතු කර ගත්ත මම කොලුවව හමුවීම සතුටක් කියලා කෝච්චි පෙට්ටියේ දොරක් ගාවට ගියා. මේ වෙද්දි සෙනග අඩු වෙලා වාඩි වෙන්න ඉඩ තිබුනත් පොත් වල ගිලිලා හිටපු හින්දා අපිට වාඩි වෙන්න සිහියක් තිබුනේ නැහැ .

“ඔයා social media වල ඉන්නවද?”

“ඔව් ෆේස් බුක්, ඉන්ස්ටා, ලින්ක්ඩ් ඉන්……but not in tinder” මං පේලියට කියාගෙන ගියා.

“ඒක නෙවෙයි, you know… guys are too sexy, when they read books ” කොලුවා තව මොනවත් අහන්න ඉස්සෙලා මේ මොහොත සුන්දර අත්දැකීමක් කරන්න මං එහෙම කිව්වා.

කොලුවා කොහොමත් සෙක්සි. පොත් කියවද්දි too sexy වෙන එක අරුමයක් යෑ. එහෙම කියලා මං බැහැලා ආවා. කොලුවගේ මූනේ ආඩම්බරකමයි ලැජ්ජාවයි ස්තුතිවන්තකමයි ඔක්කොම එකට එකතු වෙලා රතු වෙලා තිබුන බව කෝච්චිය මාව පහු කරලා යද්දි මං දැක්කා. එයා මට අතත් වැනුවා. මගේ අත්දෙකේම බෑග් බොලව්. කොහොම වනන්නද අත!

කෝච්චිය ගියා. කාලෙත් ගියා. කෝච්චියේ පොත් කියවන අය ඕන තරම් හම්බ උනාට කොලුවව නම් ආයේ හම්බ උනේ නෑ.

කෝවිඩ් 19 නිසා අපි හැමෝටම ගෙවල් වලට කොටු වෙලා ඉන්න උනා. කාලේ තිබුනට කරන්ඩ වැඩ අඩු උනා. පුස්තකාල වහලා නිසා පොත් ගන්න තැනකුත් නැහැ . පොත් කඩත් අත්‍යවශ්‍ය සේවාවක් නොවන නිසා වහලා තිබුනේ.

ඒ අතරේ මට ඇවිල්ලා තිබුනා Upfield train readers කියලා ගෲප් එකක suggestion එකක්. අප්ෆීල්ඩ් කියන්නේ අපේ පැත්තට තියෙන කෝච්චියේ නම. කරන්න මෙලෝ දෙයක් නැති උනාම මූණු පොතෙයි , ඉන්ස්ටා වලයි උඩට පහලට යන වෙලාවක නිකමට වගේ මං ඒ ගෲප් එකේ Join බොත්තම එබුවා. පැයක් යද්දිම Approval එක ලැබිලා මං ගෲප් එකේ සාමාජිකයෙක් උනා. අලුත් ගෲප් එකක්ට බැඳුනාම ඒකේ අන්තෙටම ගිහින් හොයනවනේ. ගෲප් එක පටන් අරන් තිබුනේ කෝවිඩ් 19 නිසා සීමාවන් පනවපු කාලේ. ඉතිං වැඩි දුරක් යන්න ඕනේ නෑ ගෲප් එකේ පළවෙනි පෝස්ට් එක දකින්න.

පළවෙනි පොස්ට් එක තිබුනේ මෙන්න මෙහෙම.
‘එයාට තිබුනේ තද දුඹුරු පාට ඇස්. කැරලි කොණ්ඩෙ. අත් දෙකෙන්ම බෑග් ගොඩක් අරගෙන කෝච්චිට නැග්ගේ. කෝච්චිය අද්දනකොට එයාව වැටෙන්න ගියා. මං අල්ල ගත්තා. එතනින් තමයි අපි කතා කරන්න පටන් ගත්තේ. මං කියවමින් හිටියේ කාලිඩ් හුසෙයිනිගේ Kite Runner පොත. එයා ඒක දැකලා පොත් ගැන කතා කරන්න ගත්තා. එයා ඒ දවස් වල කියවමින් හිටියේ කාලිඩ් හුසෙයිනිගේ And the Mountains Echoed , එහෙම තමයි එයා විස්තර කරන්න පටන් අරන් තිබ්බේ.

ඈ එතකොට මේ මං ගැනද කියන්නේ? මට එක පාරටම හිතුනා. මේ සිද්දිය වෙලා අවුරුදු තුනක් ! මේ කොලුවා තාමත් මේක මතක තියාගෙන ඉන්නවද?

ඒකේ තව සෑහෙන ගොඩක් විස්තර තිබ්බා.
ඝර්ම කලාපීය රටක හැදිච්ච නිසා එයා සීතලට කැමති නැහැ . මං සීත ඇඳුම් නැතිව නිකම් ටී ශර්ට් එකක් ඇඳලා හිටපු එක ගැන එයා පුදුම උනා. කෝච්චිය ඇතුලේ සෙනග ගොඩක් නිසා මං ජැකට් එක බෑග් එකට ඔබලා තිබ්බේ. කොලුවා එහෙම ලියලා තිබ්බා.

ඒ විතරක් නෙවෙයි මං ඇඳලා තිබුණු ඇඳුමේ පාට. මගේ මෆ්ලර් එක මොන වගේද? මගේ පාට ගාලා නැති නියපොතු ගැන. සපත්තු වල පාට. ඒ ඩිංගට මේ යකා බලලා තියෙන තරම!

මං විගහට ගිහින් කොලුවගේ ප්‍රොෆයිල් එක බැලුවා. මේ ඒ කොලුවමද කියලා සැකහැර දැන ගන්න එපෑ. මේ කියන්නේ මං ගැන නෙවෙයි නම්. හත් ඉලව්වේ මේ ඒ කොලුවම තමා. ප්‍රොෆයිල් එක restricted නිසා වැඩි දෙයක් බලන්න බෑ. හැබැයි තියන ප්‍රොෆයිල් පින්තූර දෙක තුනෙන් මේ ඌමයි කියලා මං අඳුර ගත්තා.

දැන් මොකද්ද කරන්නේ. මං එහෙම හිතලා කමෙන්ට්ස් කියවන්න පහලට ගියා. අප්ෆීල්ඩ් කෝච්චියේ කියවන්නෝ හරි හරි කතා තමයි දාලා තිබුනේ. සමහරු මගේ උප නගරය හැශ් ටැග් කරලා තිබුනා. මම බැහැපු ස්ටේශන් එක අවට තියෙන ඔක්කොම පොත් කියවන සංගම් සහ සංසද එක්ක ඒක බෙදාගෙන තිබුණා. මේ අවට ඉන්නවා නම් එයා කවදා හරි ආයිත් හම්බවෙයි. කියලා ගොඩක් දෙනා දාලා තිබ්බා. තව හොයන්න. බලාපොරොත්තු අතහැර ගන්න එපා. තවත් සමහරු එහෙම කියලා තිබ්බා.

දැන් මං මේකට උත්තරයක් ලියන්නම ඕනේද? ඇයි ඒ ළමයා මාව හොයන්නේ? මට තිබුණ ප්‍රශ්ණ තමා ඔය!

ඔන්න ඔහේ මොකක් හරි ලියපං කියලා මගේ හිත කිව්වා. අන්තිමට මං කොලුවව ටැග් කරලා මෙන්න මෙහෙම ලිව්වා.
“ඔයා දන්නවද?, පොත් කියවන කොල්ලො මාර සෙක්සි! ”

ඔච්චර දේවල් මතක නම් ඒකත් මතක ඇතිනේ මං හිතුවා. විනාඩි දෙකක්වත් ගියේ නෑ මට උත්තරයක් තියෙනවා කියලා notification එකක් ආවා.

“I finally found her” කියලා ඒකේ තිබ්බා.

ෆ්‍රෙන්චෙස්කො ඩි ලරොස්සෝ කොලුවා ඊළඟ පැයේම මැසෙන්ජර් එකෙන් කතා කලා පොත් ගැන . කමක් නැත්තම් යාලුවෙක් විදියට එකතු කර ගන්න කියලා ෆ්‍රෙන්චෙස්කො ඉල්ලුවා. මගේ දරු පවුල දැකලා ඌ සෙට්ටපොච්චි නොවේවා කියලා හිතලා මං Accept බොත්තම එබුවා!

අචලා සිරිතුංග

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!