මිනිස්සු හීන දකින්න ඕන, ඇහැරිලා ඉද්දි.. මොකද නින්දෙන් දකින හීන ඇහැරුණා ම අමතක වෙලා යනවා.. නිදිගැට කඩාගන්නත් අපිට හුඟාක් වෙලා යන හින්දා.. මිනිස්සු හීන දකින්නැතුව ජීවත් වෙනකොට මලානික පාටයි.. අපි හැමෝගෙම ජීවිතවල එක අවධියක් තියනවා අපි හීන පොදි ගාණක් බැඳලා එක පාර ම ඒවා කුණාටුවකට අහුවෙලා සුණුවිසුණු වෙලා ගිහින් අන්තිමේදි අපි “හීන” කියන වචනෙටත් බයවෙන.. ඒත් කාලය කියන්නෙ හරි අරුම පුදුම දෙයක්, කාලයට පුළුවන් අපිට අලුතෙන් ම හීන මවන්න උදව් වෙන්න.. එහෙම නේද..? නෑ ඒක කරන්නෙ කාලය නෙමෙයි.. මොකද කාලය ප්‍රශ්න විසඳන්නෙ නෑ.. ඇත්ත කතාව තමයි, කාලයත් එක්ක අපි ප්‍රශ්නවලට හුරුවෙනවා.. වේදනා දරාගන්න හුරුවෙනවා.. අන්තිමේදි විනාශ වෙලා ගිය හීන ඔක්කොම පැත්තක තියලා අපි අලුත් හීන හොයාගෙන යනවා..
ඒ කතාව පිස්සුවක් වගේද..? ඒත් ඒ පිස්සුව තමයි මිනිස්සුන්ව ජීවත් කරන්නෙ.. මිනිස්සුන්ට පිස්සු තියෙන්න ඕන.. මිනිස්සු පිස්සුවෙන් වගේ දේවල් හඹායන්න ඕන.. අපි හැම කෙනෙක් ඇතුළෙ ම මොකක්හරි පිස්සුවක් තියනවා.. කල්පනා කරලා බලන්න.. ඔයාලගෙ ජීවිතේ ම පිස්සු වට්ටපු දෙයක් නැද්ද කියලා.. සමහරු ගේම් ගහන්නෙ පිස්සුවෙන් වගේ.. ෆිල්ම් බලන්නෙ පිස්සුවෙන් වගේ.. පොත් කියවන්නෙ පිස්සුවෙන් වගේ.. ආදරේ කරන්නෙ පිස්සුවෙන් වගේ.. ඉගෙනගන්නෙ පිස්සුවෙන් වගේ.. සිගරට් බොන්නෙ පිස්සුවෙන් වගේ.. සල්ලි පස්සෙ දුවන්නෙ පිස්සුවෙන් වගේ.. ජීවිතේ කියන්නෙ ම පිස්සුවක් වෙච්චකොට කවුරුත් කොහොමද තව කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්නෙ “උඹට පිස්සු” කියලා.. තමන්ට ම කියලා පිස්සුවක් තියන මිනිස්සු හරි ම වාසනාවන්තයි.. සමහර මිනිස්සු ජීවත් වෙන්නෙ ම ඒ පිස්සුව හින්දා.. සමහර මිනිස්සු ජීවිතේ තෘප්තිමත් වෙන්නෙ ඒ පිස්සුව ඇතුළෙ.. සමහරු බලාපොරොත්තු ගොඩනගන්නෙ ඒ පිස්සුව උඩ..
ඒක හරියට මං තාම හොග්වෝට්ස්වලින් ලියුමක් එනකං බලන් ඉන්නවා වගේ.. ඒක නොවෙන බව ඇත්ත.. ඒක ෆික්ෂන් එකක් බව ඇත්ත.. ඒත් මෙන්ටලි මගෙ ලෝකෙ ඇතුළෙ මට තියන ලොකු ම පිස්සුව ඒක.. මේ පිස්සු ඇතුළෙ නිර්මාණය වෙන බලාපොරොත්තු තමයි මිනිස්සුන්ව තෘප්තිමත් කරවන්නෙ.. මං දිහා බලලා “උඹට පිස්සුද..?” අහන මිනිස්සු දිහා මම බලන්නෙ සානුකම්පාවෙන්.. මං දන්නවා හීන නැති, පිස්සුවක් නැති හිස් මිනිස්සු ජීවිතේ ඇතුළෙ බලාපොරොත්තුවක් නැතුව මොන තරම් අසරණද කියලා.. ග්‍රීක් මිතලොජිවල එන පැන්ඩෝරා බොක්ස් එක ඇතුළෙ ඉතුරු වුණේ “බලාපොරොත්තුව” විතරයි.. අපි පිස්සුවෙන් වගේ හඹායන දේවල් තමයි අපිව ජීවත් කරවන්නෙ.. ඒකයි ආදරේ, අවිශ්වාසය, ලෙඩදුක්, යුද්ධ මේ හැමදේම අපේ ජීවිත ඇතුළෙ පුදුමාකාර විපර්‍යාස ගොඩක් කරනකොට අපි කොච්චර වැටුණත්, ෆීනික්ස් කුරුල්ලො වගේ පිච්චුනු ගින්දරින් ම ආයෙ ආයෙත් ඉපදිලා අර මං මුලින් ම කිව්ව හීන හඹායන්න වෙර දරන්නෙ..
හීන විනාශ වෙලා ගිහින්, බලාපොරොත්තු නැතිවෙච්ච තැනක ඉතුරුවෙන්නෙ කාලකණ්ණිකම විතරයි.. එතකොට අපිට හඹායන්න පිස්සුවක් නැතිවෙනවා වගේ ම අහේතුකව ම අපිට පිස්සු හැදෙන්න පටන් ගන්නවා.. හරියට දාලා ගිය මිනිස්සු හැරිලා එනකං නැවතුණ තැන ම බලන් ඉන්නවා වගේ.. ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් වෙන අතරමැද වයිෆයි කනෙක්ෂන් එක ලොස්ට් වෙලා වගේ.. කියවන්න ගත්ත පොතක් මැද අපිට අපිව ම මුණගැහිලා හිරවෙලා ඉන්නවා වගේ.. ටයිමින්වලට මිෂන් කම්ප්ලීට් කරගන්න බැරුව ගේම් ඕවර් වෙනවා වගේ.. එක්සෑම් එකේදි අපිට හොඳට ම තේරෙන ප්‍රශ්න ඉස්සරහ මෙමරි ලොස්ට් වෙනවා වගේ.. මේ ලොස්ට් වීම් අස්සෙ අපේ හීන, බලාපොරොත්තු කුඩුපට්ටම් වෙලා යනවා.. ඒත්, තාමත් අපිට “තව එක පාරක්” කියලා හිතන්න බැරිකමක් නෑ.. ඒ උනාට ගොඩක් දෙනෙක් කරන්නෙ වැටිච්ච තැන ඉඳගෙන තවත් කෙනෙක් හඹායන පිස්සුවකට ඇඟිල්ල දික් කරන එක.. ප්‍රශ්නවලින් හෙම්බත් වෙච්ච මිනිස්සු ඔයාව අධෛර්යමත් කරයි, ඔයාගෙ හීනවලට හිනාවෙයි, ඔයාගෙ පිස්සුව විවේචනය කරයි.. හැමදේම විවේචනය කරන මිනිස්සුන්ට ඔයාගෙ ජීවිතේ ගැන උත්තර බඳින්න කාලය නාස්ති කරන්න තරම් පොල් බූරුවෙක් වෙන්නෙපා.. මිනිස්සු එහෙම කරන්නෙ ඇයි කියලා හිතන්නෙ නැතුව, මිනිස්සු කරන්නෙ එහෙම තමයි කියලා හිතන්න..
තමන්ගෙ හීන, තමන්ගෙ පිස්සු, තමන්ගෙ බලාපොරොත්තු.. ජීවිතේ කියන්නෙ එච්චරයි.. එතනින් එහාට මිනිස්සු කියන කතා වෙන ම ආතල් එකක් කරගන්න..♥️
සටහන | හිරූ ඩයස්