කලකට පසු ගත් නිවැරදි තීන්දුවක්….. පියල් නැවතත් දඟ පන්දු පුහුණුකරු වෙයි……

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
2018 දෙසැම්බර් මස 10 වෙනිදා රාත්‍රියේ ඉංදීය ජාතික ක්‍රිකට් පිලත් සමග නවසීලන්තේ සිටි ඉංදීය පිලේ පන්දු රැකීමේ පුහුණුකරු බව්වාගෙන් මට දුරකතන ඇමතුමකි.

“හිරන්ත අයියේ පියල් සර් අකිලගෙ ටෙස්ට් එකට අද රෑට බ්‍රිස්බන් වලට එනවා. පුලුවන් සපෝට් එකක් දෙන්න” යි බව්වා මගෙන් ඉල්ලීය.

පසුදා උදේම බ්‍රිස්බන් වලට ආ පියල්ව බ්‍රිස්බන් හි හිල්ටන් හෝටලයට ගොස් මම හමුවුනෙමි.

“මොනාද මචං මගෙන් වෙන්න ඕනේ” මගේ අඩවියට ආ පියල්ගෙන් මම එසේ ඇසුවෙමි.

“මට නම් මොකුත් වෙන්න ඕන නෑ මචං. මෙයා හෙට ටෙස්ට් එක ගැන හිතලා හොදටම අප්සෙට් ගහලා ඉන්නෙ. මෙයාගේ හිත හැදෙන දෙයක් කරන්න තියෙනවා නම් ලොකු දෙයක්.” අකිල දනන්ජයට රහසින් අකිලව පෙන්වා පියල් මට එසේ කීවේය.

පියල් පැමිණ සිටියේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල දනන්ජය සමඟය. ඒ අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදිදැයි තහවුරු කර ගැනීමට ICC ය නියම කල පරීක්ෂනයක් සඳහාය.

පසුදා පැවැත්වෙන පරීක්ෂනය නිසාදෝ අකිල දනන්ජය සිටියේ තරමක් ව්‍යාකූල මනසකින් බව ඔහුගේ මුහුණෙන් පිලිබිඹු වෙයි. ඒත් පියල් අකිලට නොයෙක් විහිලු තහලු කර හවස් වන විට ඔහුව සැහැල්ලු තත්වයකට ගෙනාවේය.

“බෝලින් ඇක්ෂන් එකක් හදලා ආපහු පරණ තත්වෙට ගන්න එක තමයි මචං අමාරුම වැඩේ.” පියල් දඟ පන්දු පුහුණුකරුවෙකු මුහුණදෙන අසීරුම අභියෝගය මට විස්තර කරයි.

පසුදා ඇලන් බෝඩර් ක්‍රීඩාංගනයේ අකිලගේ පරීක්ෂනය ඇරඹුනේ උදේ නවයට පමණය.
“ටෙස්ට් එක ඉවරවෙලා කෝල් එකක් දෙන්නම්” කියා උදේම මට පියල්ගෙන් මැසේජ් එකක් ලැබී තිබුණි.

දහවල් කාලයත් ගෙවී ගොස් හවස් වරුවට ආවත් මට අර පියල් දෙනවා යැයි කියූ ඔහුගේ දුරකතන ඇමතුම ආවේ නැත. හවස හතර හමාරට පමණ පියල්ගෙන් දුරකතන ඇමතුමක් ආවේය.

ඇලන් බෝඩර් ක්‍රීඩාංගනයට ගිය මට පියල්ගේ සහ අකිලගේ විඩාබර එහෙත් සැනසිලිදායක, සතුටු මුහුණු දැක ගන්නට ලැබුණි.

“ටෙස්ට් එකනම් හොදටම හොදට කරා. උදේ ඉදන් අපි දෙන්නටම කෑමක් නෑ. පාන් කියාගන්න බැරිව ඉන්නේ”යි පියල් කීවේය.

දිවා ආහාරයෙන් පසු බ්‍රිස්බන්හි සියලු අවන්හල් වසා දමා ඇත. නැවත ඒවා විවෘත වන්නේ හවස හයට පමනය. ඒ වෙලාවේ විවෘත කර තිබුණු ජපන් අවන්හලක් අමාරුවෙන් සොයා ගෙන දහවල් ආහාරය ගැනීමේදී හවස පහට ආසන්නව තිබුණි.

පියල්ටත් පුහුණුකරුවාගේ භූමිකාවට පමණක් පණ පොවා ආ කාරණයට පමණක් සහභාගී වී ආපසු ලංකාවට යාමට පහසුවෙන්ම හැකියාව තිබිනි. ඒත් ඔහු අකිලට දයාබර ලොකු අයියා කෙනෙකු නැත්තම් පියෙකුගෙ භූමිකාව ඉටු කරමින් ඔහුට නියම වී තිබුණු රාජකාරියටත් එහාට ගොස් අකිලට ඉටුකල සේවය ගැන මම එසේ සාක්ෂි කරුවෙකු උනෙමි.

මුත්තයියා මුරලිදරන් යනු ටෙස්ට් කඩුලු 800ක් එනම් ලොව වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නායි. ඔහු දග පන්දු යවන්නෙකි.

IPL තරඟාවලිය සදහා සහභාගි වන සන්‍ රයිස් හයිඩ්‍රාබාද් පිලේ දඟපන්දු පුහුණුකරු බවට 2015 වසරේ පත්වන්නේ මුත්තයියා මුරලිදරන් ය. ඒ වසරේ සන් රයිස් හයිඩ්‍රාබාද් පිලේ දඟ පන්දු යවන්නන් ඉතාම දක්ෂ ලෙස ක්‍රීඩා කරයි. IPL තරඟාවලියෙන් පසුව ලංකාවට එන මුරලි එක්තරා රූපවාහිනී නාලිකාවක් සමග සම්මුඛ සාකච්චාවක් පවත්වයි.

නිවේදකයා මුරලිගෙන් මෙසේ අසයි.

“ඔබ ඉතාම හොද දඟපන්දු පුහුණුකරුවෙක්. ඒ බව ඔබම පහුගිය IPL තරඟාවලියෙදි ඒක ඔප්පු කලා. කවද්ද ඔබ ජාතික පිලේ දඟපන්දු පුහුණුකරු වෙන්නේ”

මුරලි නිවේදකයාගේ ප්‍රශ්ණ වලට මුරලිගේ සිංහල වලින් පිලිතුරු දෙන්නේ මෙසේයි.

“අයිපීඑල් ටීම් එකක් කියන්නේ ලෝකේ ඉන්න බෙස්ට්ම බෝලර්ස්ලා ටික තෝරගෙන සති කීපයක් සෙල්ල්ලම් කරන එකක්. ඒ බෝලර්ස්ලට මොකුත් කියලා දෙන්න මට වෙන්නෙ නෑ. ඒත් ජාතික පිලෙ දඟපන්දු පුහුණුකරු කියන්නේ ටෙස්ට්, එක්දින, T20 කියන ෆෝමැට්ස් තුනම බලන්න ඕන ඉතාම සංකීර්ණ අමාරු වැඩක්”

“හරි එතකොට ඔබ ජාතික පිලේ පුහුණුකාර දූරය ලබාගන්නේ කවද්ද?” නිවේදකයා අසයි.

“ලෝකේ ඉන්න හොදම ස්පින් බෝල් කෝච් ඉන්නෙ අපේ ලංකාවේ ටීම් එකත් එක්ක. එයා මගේ ස්කූල් ටීම් එකට මහනුවර ශාන්ත අන්තෝනි විදුහලේ මාත් එක්ක එකට ගැහුවා. එයා තමයි පියල් විජේතුංග. ජාතික පිලේ දඟපන්දු පුහුණුකරු කියන්නේ භාරදූර වැඩක්. මං ක්‍රිකට් ගැහුවට පුහුණු කරන්න දන්නෙ නෑ. පුහුණුකාර කමයි බෝල් කරලා විකට් ගන්නවයි කියන්නෙ දෙකක්. බෝලේ අරන් විකට් ගන්න මට පුලුවන්. ඒත් ස්පිනර්ස්ලව පුහුණු කරන්න පුලුවන් පියල්ට” මුරලි පිලිතුරු දෙයි.

“අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න ලෝකේ ටෙස්ට් විකට් වැඩියෙන්ම ගත්ත ඔබට වඩා හොදට කොහොමද ඒක කරන්න වෙන අයෙක්ට පුලුවන් කියලා” නිවේදකයා මුරලිව ප්‍රශ්න කරයි.

“බෝලේ අතට ගත්තාම මේ බැට්ස්මන්ට මේ බෝලේ දාලා තමයි අවුට් කරන්න ඕන කියලා මට තේරෙනවා. ඒත් කොච් කරනවා කියන්නේ ඒක බෝල් කරන එකට වඩා වෙනම විෂයක්.”

“ජාතික කංඩායමේ මැච් එකක් යනකොට මෙයා තමයි අපේ ස්පින් බෝල් කෝච් කියලා ටී.වී එකේ පෙන්නන එකනෙ ඔබ දකින්නෙ. ඒත් ඒක හරියට Iceberg එකක් වගේ. ඔහුගේ රාජකාරිය ඊට වඩා ගැඹුරුයි.” මුරලි දිගටම කියයි.

“නැෂනල් ස්පින් බෝල් කෝච් නැෂනල් ටීම් එකේ ඒ මැච් එකට ගන්න ඕන හරිම ස්පිනර්ස්ලා පික් කරන්න ඕන. මැච් එක ලයිව් බලන ගමන්, ඇනලයිසර්ට කියලා සමහර තැන් රීප්ලේ කරලා අඩුපාඩු බලන්න ඕන. සෙෂන් එකෙන් සෙෂන් එකට ස්පිනර් එක්ක කතා කරලා අඩුපාඩු පෙන්නලා දෙන්න ඕන. ටෙස්ට් මැච් එකක් නම් රෑට හොටේල් එකට ගිහිල්ලා මුලු මැච් එකේම ස්පිනර්ස්ලා බෝල් කරපුවා රෑ එක දෙක වෙනකල් බලලා ටෙස්ට් මැච් එකේ ඊගාව දවසෙ උදේ ස්පිනර්ස්ලත් එක්ක පොඩ්ඩක් අඩුපාඩු ගැන කතා කරන්න ඕන. කරන්න ඕන දේවල් කියා දෙන්න ඕන. “

“ඊගාවට ස්පින් බෝල් කෝච් වෙන ස්කොඩ් වල ඉන්න ස්පිනර්ස්ලා ගැන ඇහැ තියාගෙන ඉන්න ඕන. A ටීම්, පාසල් ක්‍රිකට්, වෙළඳ සේවා ක්‍රිකට්, ක්‍රීඩා සමාජ ක්‍රිකට් වගේ ඒවල හොද ස්පිනර්ස්ලා කවුද කියලා බලන්න ඕනේ. දේශීය අම්පයර්ස්ලගෙන් අහන්න ඕන එයාලා දැකපු හොද ස්පිනර්ස්ලා ඉන්නවද කියලා. ජාතික කංඩායමේ ක්‍රීඩකයන් සහ අනෙක් ක්‍රීඩකයන්ගෙනුත් අහන්න ඕන හොද ස්පිනර්ස්ලව මොකක් හරි මැච් එකකදි හමු උනාද කියලා. එහෙම නම් කියවුන අයව අධ්‍යනය කරලා ඔවුන් ජාතික පිලට සුදුසුද බලන්න ඕන. එහෙම අලුතෙන් දකින අයගෙ අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කරවන්න ඕන “

“අමාරුම දේ ඇක්ෂන් එක ප්‍රශ්ණ ගත ස්පිනර්ස්ලගෙ ඇක්ෂන් එක හදන එක. එහෙම හැදුවාම එයාගෙ නැචුරල් ටැලන්ට් එක යනවා. ඒක ආපහු ගන්න ඕන. ඒක හරිම අමාරු වැඩක්. අනික ස්පිනර්ස්ලට නිතරම වේරියෂන් කියලා දෙන්නත් ඕන.”

“මේක කරන්න පුලුවන් දේශීය දඟ පන්දු පුහුණුකරුවෙක්ට. විදේශිකයන්ට ඒක කරන්න බෑ. මට ඒක කරන්නත් බෑ. ඒකට ලෝකේ ඉන්න හොදම කෙනා තමයි පියල්. වාසනාවට පියල් ඉන්නෙ අපේ ටීම් එකත් එක්ක. ඉතිං මගේ අවශ්‍යතාවයක් එතෙන්ට එන්නෙ නෑ.”

මුරලිගෙන් ඇසූ ප්‍රශ්නයට දීර්ග පිලිතුරක් මුරලි ලබාදෙයි. ඒ කාලයේ ජාතික පිලේ දඟ පන්දු පුහුණුකරු වූයේ පියල් විජේතුංගයි. ඉන් පසු කාලයක පියල්ගේ සේවය ජාතික පිලට අහිමි වී ගියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දඟ පන්දු පුහුණුකරුවෙකු බදවා ගැනීමට පසුගිය කාලයේ පුවත්පත් දැන්වීමක් ප්‍රසිද්ද කලේය. දැනගන්නට ලැබෙන පරිදි ඊට අයදුම් කල අයදුකරුවන් අතරින් ටොම් මූඩි ප්‍රමුඛ සම්මුඛ පරීක්ෂන මංඩලයක් මගින් සුදුසුම කෙනාව ඊට තෝරාගෙන ඇත. ඒ අනුව පියල් විජේතුංග ඉදිරි එංගලන්ත තරඟාවලියෙන් පසුව ජාතික ක්‍රිකට් පිලත් සමග එක්වනු ඇත.

අදිවාදයෙන්ම පිළිගත යුත්තේ ලෝකයේ දැනට ඉන්නා හොදම දඟ පන්දු පුහුණුකරුවා පියල් බවය. මුරලි, රංගන හේරත්, සචිත්‍ර සේනානායක, සීක්කුගේ ප්‍රසන්න, දිල් රුවන් පෙරේරා, අජන්ත මෙන්ඩිස්, අකිල දනන්ජය, දිල්ශාන් ආදී විශාල දඟ පන්දු යවන්නන් පිරිසකගෙ පුහුණුකරුවා වූයේ පියල් ය.

අපේ ජාතික ක්‍රිකට් පිලේ පිතිකරණය පැත්තෙන් ලොකු අඩුපාඩුවක් නැත. අපට තරඟ ජයගත නොහැක්කේ ප්‍රතිවාදී කඩුලු දහය දවාගත හැකි පන්දු යවන්නන් නොමැති කම නිසාය.

අපේ හැකියාව ඇත්තේ දඟ පන්දුවේය. අති දක්ෂ දඟ පන්දු යවන්නන් රාශියක් අප සතුය. නමුත් අඩුපාඩුව වන්නේ ඔවුන් කලමනාකරනය කරගැනීමට සමත් දඟ පන්දු පුහුණුකරුවෙකු පසුගිය කාලයේ අපට නොසිටීමය.

පියල් ඉදිරිපිට ඇත්තේ විශාල අභියෝගයකි. ඔහු විසින් අලුත් දඟ පන්දු යවන්නන් සොයාගත යුතුය. දඟපන්දු යවන්නන්ගේ සංචිතයක් නැවතත් ඇති කල යුතුය. රෑ එළිවෙනවිට ප්‍රතිපල ගෙන එන ප්‍රාතිහාර්‍යයන් කල නොහැකි වුවත් නිසැක ලෙසම වසරක් දෙකක් යනවිට දඟපන්දුවෙන් වැඩ පෙන්නන අලුත් කොල්ලන් රැසක් පියල් විසින් නැවතත් කරලියට ගෙනෙනු ඇත.

අප කියනා දේ නොසලකා හැරියත් එතෙක් මෙතෙක් ලෝකයේ බිහිවූ සුපිරිම දඟ පන්දු යවන්නාවූ මුරලිගේ නිර්දේශය පමණක් වුවත් පියල් ගැන තක්සේරුවකට එළඹීමට සෑහේ.

පියල් විජේතුංග ජාතික දඟ පන්දු පුහුණුකරු ලෙස නැවත පත්වීම ශ්‍රී ලංකා ජාතික පිල නැවතත් සුපුරුදු පරිදි ජයග්‍රාහී මාවතට පිවිසීමේ ආරම්භය වනු ඇති බව මගේ විශ්වාසයයි.

පියල්ට සුබ පැතුම්!

-හිරන්ත හේරත්-

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!