තවමත් නොබිඳුණු පැරණි ම ඔලිම්පික් වාර්තා 11ක් (ක්‍රීඩා හා විනෝද)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

සාමාන්‍යයෙන් ඔලිම්පික් උළෙල යටතේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් අතුරින් වැඩි දෙනෙකුගේ අවධානය යොමු වන්නේ මලල ක්‍රීඩා ඉසව් සඳහා යි. ඒ මලල ක්‍රීඩා ඉසව්වල දක්නට ලැබෙන දැඩි තරගකාරීත්වය නිසා යි. එම තරගකාරීත්වය නිසා මලල ක්‍රීඩා ඉසව්වලින් ඔලිම්පික් වාර්තා බිහිකිරීම හැකියාව ලැබෙන්නේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණ යි. ඔලිම්පික් ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී ඒ අයුරින් වාර්තා තැබූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් හමුවනවා. නමුත් එම වාර්තාවන්ගෙන් බහුතරයක් පසුගිය කාල සමයේ දී බිඳ වැටුණත් සමහර ඔලිම්පික් වාර්තා දශක කිහිපයක් තිස්සේ තවමත් නොබිඳී පවතිනවා. මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ දශක 3කට වැඩි කාලයක් පුරාවට නොබිඳී පවතින ඔලිම්පික් මලල ක්‍රීඩා වාර්තා 11ක් පිළිබඳව යි.

11) ජැකී ජොයිනර්-කර්සි (අමෙරිකාව)- කාන්තා සත්ප්‍රයාම 

කාන්තා සත්ප්‍රයාම තරග ඉසව්ව 1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී මුල්ම වරට හඳුන්වා දුන්නා. එම තරග ඉසව්ව සඳහා සහභාගි වන ක්‍රීඩිකාවන් මීටර් 100 කඩුලු පැනීම, මීටර් 200, මීටර් 800, උස පැනීම, දුර පැනීම, යගුලිය විසි කිරීම, හෙල්ල විසි කිරීම යන ඉසව් හතට ම සහභාගි විය යුතුයි. එහි දී තරගකරුවන් එක් එක් ඉසව්වෙන් පෙන්වන දක්ෂතාවන්ට අනුව ලකුණු ලබා දීමක් සිදුකරනවා. තරගයේ ජය හිමිවන්නේ ඉසව් හතෙන් වැඩිම ලකුණු එකතුව ලබාගන්නා ක්‍රීඩිකාවට යි.

https://assets.roar.media/assets/uUyKSoqO8QTFDocf_ZeonDownloader---514886118.v2.jpg
ජැකී ජොයිනර්-කර්සි 1988 සෝල් ඔලිම්පික් උළෙලේ දී – gettyimages

1988 සෝල් ඔලිම්පික් තරගාවලියේ කාන්තා සත්ප්‍රයාම ඉසව්ව සඳහා සහභාගි වුණු අමෙරිකාවේ ජැකී කර්සි ඒ වන විටත් එම ඉසව්වේ ලෝක ශූරිය ලෙසින් වැජඹුණා. 1988 ජූලි මාසයේ අමෙරිකාවේ දී පැවති සත්ප්‍රයාම තරගයකට සහභාගි වී ලකුණු 7215ක් ලබාගෙන ඇය එම වාර්තාව පිහිටුවා තිබුණා. එලෙස දස්කම් අතර සිටි කාලයක ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වුණු කර්සි මීටර් 100 කඩුලු, මීටර් 200 සහ දුර පැනීම යන ඉසව්වලින් අනිකුත් ක්‍රීඩිකාවන්ට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇය ලකුණු 7291ක් ලබාගෙන නව ලෝක වාර්තාවක් මෙන් ම ඔලිම්පික් වාර්තාවක් ද පිහිටුවමින් කාන්තා සත්ප්‍රයාම ඉසව්ව ජයග්‍රහණය කරා. එහි දී ඇය අතින් බිඳ වැටුණේ 1984 ඔලිම්පික් උළෙලේ දී ග්ලයිනිස් නන් නම් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාව ලකුණු 6390ක් ලබාගෙන තබා තිබුණු ඔලිම්පික් වාර්තාව යි. එදා මෙම සුපිරි ක්‍රීඩිකාව සත්ප්‍රයාම ඉසව්ව බිහි කළ ලෝක වාර්තාව සහ ඔලිම්පික් වාර්තාව තවමත් නොනැසී පවතිනවා.

10) සෝවියට් රුසියාව – කාන්තා මීටර් 400 සහාය දිවීම 

1988 ඔලිම්පික් උළෙලේ දී සෝවියට් රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 10ක් දිනා ගත්තා. එහි දී ඔවුන් එකම එක ලෝක වාර්තාවක් බිහි කිරීමට සමත් වුණා. ඒ කාන්තා මීටර් 400 සහාය දිවීමේ ඉසව්ව යටතේ යි. එදා ටටියානා ලෙඩොව්ස්කායා, ඔල්ගා නසරෝවා, මාරියා පිනිගිනා සහ ඔල්හා බ්‍රයිෂිනා ක්‍රීඩිකාවන් සිව්දෙනා එම තරග ඉසව්ව විනාඩි 3:15.17ක කාලයකින් නිමා කරමින් ලෝක වාර්තාවක් සහ ඔලිම්පික් වාර්තාවක් පිහිටැවූවා.

https://assets.roar.media/assets/uUyKSoqO8QTFDocf_ZeonDownloader---514886118.v2.jpg
400 සහාය දිවීමේ තරගයේ අවස්ථාවක් – gettyimages

එහි දී ඔවුන් අතින් බිඳ වැටුණේ 1984 වසරේ දී නැගෙනහිර ජර්මානු ක්‍රීඩිකාවන් විනාඩි 3:15.92ක කාලයකින් පිහිටුවා තිබුණු ලෝක වාර්තාව යි. 1984 ඔලිම්පික් උළෙලේ දී අමෙරිකානු ක්‍රීඩිකාවන් විනාඩි 3:18.29ක් ලෙසින් තබා තිබුණු ඔලිම්පික් වාර්තාව ද එදින බිඳ වැටුණා. ගෙවුණු වසර 33ක කාලය ඇතුළත එම ලෝක වාර්තාව සහ ඔලිම්පික් වාර්තාව බිඳ දැමීමට කිසිදු රටකට හැකියාවක් ලැබුණේ නැහැ. 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී අමෙරිකානු කණ්ඩායම විනාඩි 3:16.87කින් මෙම තරග ඉසව්ව ඔලිම්පික් වාර්තාව ආසන්නට පැමිණි බව මෙහි දී සිහිපත් කළ යුතුයි.

9) ෆ්ලෝරන්ස් ග්‍රිෆිත්-ජොයිනර් (අමෙරිකාව) – කාන්තා මීටර් 200 

1988 ඔලිම්පික් උළෙලේ දී අමෙරිකාවේ ෆ්ලෝරන්ස් ග්‍රිෆිත්-ජොයිනර් කාගේත් අවධානය දිනාගත් ක්‍රීඩිකාවක් බවට පත් වුණා. ඒ කෙටි දුර ධාවන ඉසව්වලින් ඇය පෙන්වූ සුපිරි දස්කම් නිසා යි. එහි දී මීටර් 200 ඉසව්ව තත්පර 21.34කින් නිම කළ මෙම ක්‍රීඩිකාව නව ලෝක වාර්තාවක් සහ ඔලිම්පික් වාර්තාවක් බිහි කිරීමට සමත් වුණා.

https://assets.roar.media/assets/uUyKSoqO8QTFDocf_ZeonDownloader---514886118.v2.jpg
මීටර් 200 ඉසව්ව ජයගත් ග්‍රිෆිත්-ජොයිනර් (gettyimages)

එහි දී ඇය අතින් බිඳ වැටුණේ නැගෙනහිර ජර්මානු ක්‍රීඩිකාවක වුණු මරීටා කොච් 1979දී තත්පර 21.71ක කාලයකින් මීටර් 200 ඉසව්ව නිම කරමින් තබා තිබුණු ලෝක වාර්තාව යි. 1984 ඔලිම්පික් උළෙලේ දී අමෙරිකානු ක්‍රීඩිකාවක වුණු වැලේරි බ්‍රිස්කෝ-හූක්ස් තත්පර 21.81ක් ලෙස තබා තිබුණු ඔලිම්පික් වාර්තාව ද එහි දී බිඳ වැටුණා. ගෙවුණු වසර 33 ඇතුළත මෙම ඔලිම්පික් වාර්තාව ආසන්නයටවත් පැමිණීමට කිසිදු ධාවන ශූරියකට හැකියාව ලැබුණේ නැහැ.

8) පවුලා ඉවාන් (රුමේනියාව) – කාන්තා මීටර් 1500 

කාන්තා මීටර් 1500 ඉසව්ව මුල් ම වරට ඔලිම්පික් උළෙලකට ඇතුළත් කෙරුණේ 1972 වසරේ දීයි. ඉන් වසර 16කට පසුව සෝල් ඔලිම්පික් උළෙල ආරම්භ වෙද්දී එම තරග ඉසව්වේ ඔලිම්පික් වාර්තාව ටටියානා කසන්කිනා නම් සෝවියට් රුසියානු ක්‍රීඩිකාව සතු ව තිබුණා. 1980 මොස්කව් ඔලිම්පික් උළෙලේ දී විනාඩි 3:56.56ක කාලයකින් මීටර් 1500 ඉසව්ව නිමා කර ඇය එම වාර්තාව පිහිටුවා තිබුණා.

https://assets.roar.media/assets/uUyKSoqO8QTFDocf_ZeonDownloader---514886118.v2.jpg
පවුලා ඉවාන් සෝල් ඔලිම්පික් උළෙලේ දී – gettyimages

එලෙස සෝවියට් රුසියානු ක්‍රීඩිකාවක් සතුව තිබුණු ඔලිම්පික් වාර්තාව 1988 ඔලිම්පික් උළෙලේ දී බිද වැටුණා. ඒ පවුලා ඉවාන් නම් රුමේනියානු ක්‍රීඩිකාව අතින්. එහි දී ඇය වාර්තා කළ කාලය විනාඩි 3:53.96ක් ලෙසින් සටහන් වුණා. 1992 බාර්සිලෝනා ඔලිම්පික් උළෙලේ දී හසීබා නම් ඇල්ජීරියානු ක්‍රීඩිකාව විනාඩි 3:55.30කින් මීටර් 1500 ඉසව්ව නිමා කරමින් ඉවාන්ගේ ඔලිම්පික් වාර්තාවට යම් අභියෝගයක් එල්ල කළ ද ඉන් පසුව කිසිදු ක්‍රීඩිකාවක ගෙන් එවැනි තර්ජනයක් එල්ල වුණේ නැහැ.

7) ජැකී ජොයිනර්-කර්සි (අමෙරිකාව)- කාන්තා දුර පැනීම 

සෝල් ඔලිම්පික් උළෙලේ දී සත්ප්‍රයාම ඉසව්වෙන් ලෝක වාර්තාවක් තැබූ ජැකී ජොයිනර්-කර්සි නම් ක්‍රීඩිකාව දුර පැනීම ඉසව්වෙන් ද නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා. එහි දී ඇය පිනූ දුර ප්‍රමාණය මීටර් 7.40ක් ලෙසින් සටහන් වුණා. එදා කර්සි අතින් බිඳ වැටුණේ 1980 මොස්කව් ඔලිම්පික් උළෙලේ දී සෝවියට් රුසියාවේ ටටියානා කොල්පකෝවා මීටර් 7.06ක දුරක් පනිමින් තබා තිබුණු වාර්තාව යි.

https://assets.roar.media/assets/uUyKSoqO8QTFDocf_ZeonDownloader---514886118.v2.jpg
ජැකී කර්සි දුර පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම ලබාගත් මොහොත – gettyimages

ගෙවුණු වසර 33ක කාලය තුළ පැවති ඔලිම්පික් තරගාවලිවල දී කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් වාර්තා වුණු ඉහළ ම දස්කම 2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී වාර්තා වුණා. ඒ බාටෝලේටා නම් අමෙරිකානු ක්‍රීඩිකාව පිනූ මීටර් 7.17ක දුර ප්‍රමාණය යි. ඉන් පැහැදිලි වන්නේ ජැකී කර්සිගේ වාර්තාවට ගෙවුණු වසර 33 ඇතුළට කිසිදු අභියෝගයක් එල්ල වී නොමැති බවයි.

6) සර්ජි ලිට්විනොව් (සෝවියට් රුසියාව)- පිරිමි මිටිය විසි කිරීම 

මිටිය විසි කිරීමේ පිරිමි ඉසව්ව මුල්ම වරට ඔලිම්පික් උළෙලකට ඇතුළත් කෙරුණේ 1900 වසරේ දීයි. 1988 සෝල් ඔලිම්පික් උළෙල ආරම්භ වෙද්දී එම තරග ඉසව්වේ ඔලිම්පික් වාර්තාව හිමි ව තිබුණේ යූරි සෙඩික් නම් සෝවියට් රුසියානු ක්‍රීඩිකයා සතුවයි. ඔහු 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලේ දී මීටර් 81.80ක දුරකට  මිටිය විසි කරමින් එම වාර්තාව පිහිටුවා තිබුණා.

https://assets.roar.media/assets/uUyKSoqO8QTFDocf_ZeonDownloader---514886118.v2.jpg
ලිට්විනොව් මිටිය විසිකිරීමේ ඉසව්වට සහභාගි වෙමින් – gettyimages

ඒ අයුරින් පිහිටුවා තිබුණු ඔලිම්පික් වාර්තාව 1988 ඔලිම්පික් උළෙලේ දී බිඳ වැටුණා. ඒ සර්ජි ලිට්විනොව් නම් සෝවියට් රුසියානු ක්‍රීඩකයා අතින්. එහි දී ඔහු මිටිය විසි කළ දුර ප්‍රමාණය මීටර් 84.80ක් ලෙසින් සටහන් වුණා.

5) ෆ්ලෝරන්ස් ග්‍රිෆිත්-ජොයිනර් (අමෙරිකාව)- කාන්තා මීටර් 100 

1988 සෝල් ඔලිම්පික් තරගාවලියේ කාන්තා මීටර් 100 ඉසව්ව සඳහා සහභාගි වුණු අමෙරිකාවේ ෆ්ලෝරන්ස් ග්‍රිෆිත්-ජොයිනර් ඒ වන විටත් එම ඉසව්වේ ලෝක ශූරිය ලෙසින් වැජඹුණා. 1988 ජූලි මාසයේ අමෙරිකාවේ දී පැවති මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වී තත්පර 10.49කින් මීටර් 100 ඉසව්ව නිමකට  ඇය එම වාර්තාව පිහිටුවා තිබුණා.

https://assets.roar.media/assets/uUyKSoqO8QTFDocf_ZeonDownloader---514886118.v2.jpg
මීටර් 100 කාන්තා ඉසව්ව ජයගත් ග්‍රිෆිත්-ජොයිනර් – gettyimages

එලෙස දස්කම් අතර සිටි කාලයක 1988 ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වුණු මෙම ක්‍රීඩිකාව තත්පර 10.54ක කාලයකින් මීටර් 100 ඉසව්ව නිමා කරමින් නව ඔලිම්පික් වාර්තාවක් බිහි කළා. එහි දී ඇය අතින් බිඳ වැටුණේ 1984 ඔලිම්පික් උළෙලේ දී එවිලින් ඇෂ්ෆර්ඩ්  නම් අමෙරිකානු ක්‍රීඩිකාව තත්පර 10.97ක කාලයකින් මීටර් 100 ඉසව්ව නිමකරමින් තබා තිබුණු ඔලිම්පික් වාර්තාව යි.

4) මාටිනා හෙල්මාන් (නැගෙනහිර ජර්මනිය) – කාන්තා කවපෙත්ත විසි කිරීම 

1988 සෝල් ඔලිම්පික් උළෙලේ දී නැගෙනහිර ජර්මානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 6ක් දිනා ගත්තා. එහි දී ඔවුන් ඔලිම්පික් වාර්තා කිහිපයක් බිහි කිරීමට සමත් වුණා. ඒ අතුරින් එක් ක්‍රීඩිකාවන් වුණු මාටිනා හෙල්මන් කාන්තා කවපෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් නව ඔලිම්පික් වාර්තාවක් බිහි කළා.

https://assets.roar.media/assets/uUyKSoqO8QTFDocf_ZeonDownloader---514886118.v2.jpg
 මාටිනා හෙල්මාන් සෝල් ඔලිම්පික් උළෙලේ දී – gettyimages

මාටිනා මීටර් 72.30ක දුරකට කවපෙත්ත විසි කිරීමට එදා සමත් වුණා. එහි දී ඇය අතින් බිඳ වැටුණේ නැගෙනහිර ජර්මනියේ ම එවෙලින් ජාල් නම් ක්‍රීඩිකාව 1980 මොස්කව් ඔලිම්පික් උළෙලේ දී මීටර් 69.96ක් තරම් දුරකට කවපෙත්ත විසිකරමින් තබා තිබුණු වාර්තාව යි.

3) ලෝනා ස්ලුපියනැක් (නැගෙනහිර ජර්මනිය) – කාන්තා යගුලිය විසි කිරීම 

1980 මොස්කව් ඔලිම්පික් උළෙලට අමෙරිකාව සහභාගි වුණේ නැහැ. එනිසා මලල ක්‍රීඩා ඉසව්වල පෙරමුණ ගැනීම සඳහා සෝවියට් රුසියාව සහ නැගෙනහිර ජර්මනිය අතර ප්‍රබල සටනක් පැවතුණා. එදා සෝවියට් රුසියාව රන් පදක්කම් 15ක් ලබාගෙන එම සටනින් ජයග්‍රහණය කරද්දී නැගෙනහිර ජර්මනියට රන් පදක්කම් 11ක් හිමිවුණා. එහි දී නැගෙනහිර ජර්මනිය වෙනුවෙන් විශිෂ්ට දස්කමක් දැක්වූ ලෝනා ස්ලුපියනැක් නම් ක්‍රීඩිකාව යගුලිය විසි කිරීම ඉසව්වෙන් ඔලිම්පික් වාර්තාවක් සමඟින් රන් පදක්කම දිනා ගත්තා.

https://assets.roar.media/assets/uUyKSoqO8QTFDocf_ZeonDownloader---514886118.v2.jpg
ලෝනා ස්ලුපියනැක් ඔලිම්පික් පිටියේ දස්කම් දක්වමින්  – gettyimages

එදා මීටර් 22.41ක් තරම් දුරකට යගුලිය විසි කරමින් ස්ලුපියනැක් බිඳ දැමුවේ 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලේ දී බල්ගේරියානු ක්‍රීඩිකාවක් වුණු ඉවන්කා ක්‍රිෂ්ටෝවා මීටර් 21.76ක් ලෙසින් තබා තිබුණු වාර්තාව යි. 1988 සෝල් ඔලිම්පික් උළෙලේ දී ලිසොව්ස්කායා නම් සෝවියට් රුසියානු  ක්‍රීඩිකාව මීටර් 22.24ක් තරම් දුරකට  යගුලිය විසිකරමින් ලෝනා ස්ලුපියනැක්ගේ ඔලිම්පික් වාර්තාවට යම් අභියෝගයක් එල්ල කළත් ඉන් පසුව කිසිදු ක්‍රීඩිකාවක ගෙන් එවැනි තර්ජනයක් එල්ල වුණේ නැහැ.

2) නඩිස්ඩා ඔලිසරෙන්කෝ (සෝවියට් රුසියාව) – කාන්තා මීටර් 800

ඔලිම්පික් තරග ඉතිහාසයේ ධාවන ඉසව් යටතේ පවතින පැරණි ම ඔලිම්පික් වාර්තාවට හිමිකම් කියන්නේ නඩිස්ඩා ඔලිසරෙන්කෝ නම් සෝවියට් රුසියානු ක්‍රීඩිකාව යි. 1980 මොස්කව් ඔලිම්පික් උළෙලේ දී කාන්තා මීටර් 800 ඉසව්ව  විනාඩි 1:53.43ක කාලයකින් නිමකර ඇය එම ලෝක වාර්තාව පිහිටැවූවා.

https://assets.roar.media/assets/uUyKSoqO8QTFDocf_ZeonDownloader---514886118.v2.jpg
නඩිස්ඩා ඔලිසරෙන්කෝ මීටර් 800 ඉසව්ව ජයගනිමින් – gettyimages

1972 මියුනිච් ඔලිම්පික් උළෙලේ දී ෆැල්ක් නම් නැගෙනහිර ජර්මානු ක්‍රීඩිකාව විනාඩි 1:58.55ක කාලයකින් මීටර් 800 ඉසව්ව නිම කරමින් තබා තිබුණු ඔලිම්පික් වාර්තාව ද එහි දී බිඳ වැටුණා. එදා ඇය තැබූ ඔලිම්පික් වාර්තාවට ගෙවුණු වසර 33 ඇතුළට අභියෝගයක් එල්ල කිරීමට කිසිදු ක්‍රීඩිකාවකට හැකියාව ලැබුණේ නැහැ.

1) බොබ් බීමන් (අමෙරිකාව) – පිරිමි දුර පැනීම 

1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් තරගාවලියේ පිරිමි දුර පැනීමේ ඉසව්ව කාගේත් අවධානය දිනාගත්තේ ගුරුවරයා සහ ගෝලයා එහි දී තරග වැදුණු නිසා යි. එදා සිය ගුරුවරයා වුණු රැල්ෆ් බොස්ටන් පරාජය කළ බොබ් බීමන් නම් අමෙරිකානුවා මීටර් 8.90ක දුරක් පනිමින් නව ලෝක වාර්තාවක් මෙන් ම ඔලිම්පික් වාර්තාවක් ද පිහිටැවූවා.

https://assets.roar.media/assets/uUyKSoqO8QTFDocf_ZeonDownloader---514886118.v2.jpg
බොබ් බීමන්ගේ සියවසේ පිම්ම – gettyimages

එලෙස බීමන් තැබූ ඔලිම්පික් වාර්තාව බිඳ දැමීමට මයික් පවෙල් සහ කාල් ලුවිස් ප්‍රබල උත්සාහයක නිරත වුණත්, ඔවුන්ට එය අභිබවා යාමට හැකි වුණේ නැහැ. එනිසා  දැනට ඉතිරි ව පවතින පැරණිම ඔලිම්පික් මලල ක්‍රීඩා වාර්තාව වන්නේ බොබ් බීමන්ගේ දුර පැනීමේ වාර්තාව යි.

 

උපුටා ගැනීම: roarmedia

Nadun Liyanagedara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!