මංගල මුදුව රවුම් ඇයි?

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ලොව පළමුවැනි දියමන්ති මංගල මුදුව නිර්මාණය වෙන්නේ මිය පරළොව ගිය වැන්දඹුවකගේ අන්තිම කැමැත්තට අනුව කිව්වොත් ඔබ පුදුම වේවි.
මංගල මුදුව වගේම එහි ආරම්භයත් හරිම සිත්ගන්නා සුළු එකක්. මුදු මාරු කරගැනීමේ සම්ප්‍රදාය අවුරුදු 3000 ක් පමණ ඈතට දිවෙනවා. ලොව පළමුවැනි දියමන්ති මංගල මුදුව නිර්මාණය වෙන්නේ මිය පරළොව ගිය වැන්දඹුවකගේ අන්තිම කැමැත්තට අනුව කිව්වොත් ඔබ පුදුම වේවි. ඉතින් ඇයි මේ මුදු “ආදරයේ සදාතනික සංඛේතය” ලෙසින් සැළකෙන්නේ…?
 
මුදුව රවුම් හැඩයකට හැදුනේ ඇයි?
සදාකාලිකත්වයේ සංකේතයක් ලෙසින් මුදු පැළැඳීම මුලින්ම සිදුකළේ පුරාණ ඊජිප්තුවේ ජීවත් වුණු පාරාවෝ වරුනුයි. පුරාණ ඊජිප්තුවරුන් වැඳුම් පිදුම් කරපු ඉර ට සහ හඳ ට සමාන නිසාත්, ආරම්භයක් වත් අවසානයක්ව වත් නැති “සබඳතාවයක්” නිරූපනය කරන්නත් ඔවුන් මුද්ද වෙනුවෙන් රවුම් හැඩය තෝරා ගත්තා.
 

මුද්ද මැද තියෙන විවෘත අවකාශයෙන් නිරූපනය වෙන්නේ නොදන්නා ලෝකයක් වෙත වැටී ඇති මාර්ගය කියලත් ඊජිප්තු ජාතිකයෝ විශ්වාස කරලා තියෙනවා. පුරාන ඊජිප්තු ජාතිකයන් පැළැඳපු “ඕරෝබෝරස්” (Ouroboros) කියන මුදුවෙන් සර්පයෙක් උගේ වලිගය ගිලින ආකාරයක් දැක්වෙනවා. එයින් නිරූපනය වෙන්නේ “සදාකාලික චක්‍රය” කියන සංකල්පයයි. (“ඕරෝබෝරස්” යනු ලෝකයේ පැරැණිතම සංකේතවලින් එකක් වන අතර, එම නමේ ග්‍රීක අර්ථය වන්නේ “වලිගය කා දමන්නා” යන්නයි.) පස්සේ කාලෙදි මෙම සර්පායගේ දෑස්වලට නිල් මැණික් ගල් දෙකක් සහ වල්ගයට දියමන්ති පේළියක් එකතු වුණා.

මෑතකදී නිර්මාණය කරන ලද “ඕරෝබෝරස්” මුද්දක්
 
ආදරණීයයන්ට මුදු තෑගි කිරීම
මහා ඇලෙක්සැන්ඩර් ඊජිප්තුව යටත් කරගත්තට පස්සේ තමයි ග්‍රීක ජාතිකයෝ තම භක්තිය ප්‍රකාශ කිරීම සඳහා සිය ආදරණීයයන්ට මුදු තෑගි කිරීම පටන් ගත්තේ. මේ මුදු බොහෝමයක නිරූපනය වුණේ ප්‍රේමයට සහ රාගයට අධිපති දෙවියා ලෙසින් සැළකෙන ඊරෝස්.

රෝමන්වරු ග්‍රීසිය යටත් කරගත්තාම ඔවුන් මේ සම්ප්‍රදාය පිළිපදින්න පුරුදු වුණා. ඔවුන් විවාහ මංගල උත්සවවලදී සිය පෙම්වතියන්ට යකඩ සහ තඹවලින් කරපු මුදු පැළැන්දෙව්වා. විවාහ කරගන්නා ගැහැණියට යකඩ මුද්දලක් දාන එකෙන් රෝමන්වරු බලාපොරොත්තු වුණේ ඇයට ගෙදර තියෙක ගෘහභාණ්ඩ පාලනය කිරීමට ඇති අයිතිය පිළිගන්වන්නයි!

රෝමානු යුගයට අයත් මුද්දක්
 
රත්තරන් මුදු
කොහොම වුණත් යඩක මදුු වෙනුවට රත්තරන් මුදු භාවිතය ආරම්භ වුණේ ක්‍රිස්තු වර්ෂ 2 වැනි සියවසේදියි.
ක්‍රි.ව. 3-4 වැනි සියවස්ලදී රනින් කළ මුදු බෙහෙවින් ජනප්‍රිය වූ අතර, එය මුදුව පිරිනමණ පුද්ගලයාගේ සමාජ තත්ත්වය සහ ධනවත් බව හඟවන සාධකයක්ද වුණා. ඒ දවස්වලදී හුවමාරු වුණේ “ෆීඩි” (Fede) කියන මුදු වර්ගය. දකුණු අත් දෙකක් එකට අල්ලාගෙන සිටින මෙම ෆීඩි මුදුවලින් මිත්‍රත්වය, සහයෝගීතාවය සහ විවාහය ගිවිසුම සංඛේතවත් වුණා. මේ ෆීඩි මුදු බොහෝ ඉතාමත් වටිනා මැණික්ගල්වලින් අලංකාර කරලා තිබ්බා. ඊටත් පස්සේ මේ මුදු තවත් පෞද්ගලීකරණය කරපු රෝමන්වරු ඒවට තමන්ටම ආවේනික වූ සළකුණු කෙටුවා.
 
වෙදැගිල්ලට මුදුව දමන්නේ ඇයි?
මුද්ද කියන සංකල්පය හොයා ගත්ත පුරාණ ඊජිප්තු ජාතිකයෝ මුදු දැම්මේ වම් අතේ හතර වැනි ඇඟිල්ලට. අපි ඔය වෙදැඟිල්ල (සමහරු මේක මුදුඟිල්ල කියලත් කියනවා) කියන්නේ ඒකට. මෙම ඇඟිල්ල හරහා දිවෙන “වීනා ඇමොරිස්” නැතිනම් “ප්‍රේමයේ නහර” ලෙසින් හැඳින්වෙන නහරයක් කෙලින්ම හදවත දක්වා දිවෙනවා කියලා ඒ අය විශ්වාස කළා. ඒකයි එම අඟිල්ල තෝරගත්තේ. ඒ සම්ප්‍රදාය රෝමන්වරුත් ඉදිරියට ගෙන ගියා. එහෙත් මේ කතාව වර්ථමාන ව්‍යුහවිද්‍යාවට අනුව නිවැරැදි නොවුණත්, අපි අදටත් මංගල මුදුව පළිඳින්නේ වෙදැඟිල්ල හෙවත් වම් අතේ හතර වැනි ඇඟිල්ලට.
 
මුදුවට යොදන මැණික් සංකේතවත් කරන්නේ මොනවද?
මංගල මුදුවලට වටිනා මැණික් සහ දියමන්ති ඇල්ලීම ජනප්‍රිය වුණේ මධ්‍යකාලීන යුගයේදි. මධ්‍යකාලීන යුරෝපීයයන් ආශාවන් සංඛේතවත් කිරීම සඳහා පත්මරාග, අහස සංඛේතවත් කිරීම සඳහා නිල් මැණික් සහ අචල ශක්තිය සංඛේතවත් කිරීම සඳහා දියමන්තිද යොදාගත්තා.
 
“Marriage proposing” ඇරඹුණු හැටි
මධ්‍යකාලීන එංගලන්තයේදී විවාහ වීම කියන්නේ ඉතාමත් සරළ කාර්යයක් වුණා. එතැනදි ඕන වුණේ කසාද බඳින දෙන්නා ඒ දෙන්නගේ කැමැත්ත ප්‍රකාශ කරන එක විතරයි. බොහෝ වෙලාවට මෙම කැමැත්ත ප්‍රකාශ කළේ “විවාහය” නැතිනම් “වෙඞ්” යන්න සංඛ්තවත් වන යම් භාණ්ඩයක් හුවමාරු කරගැනීමෙන්. මෙම භාණ්ඩය වුණේ මුද්දක්. එතැනදි වුණේ පිරිමියා විසින් කාන්තාවට මුද්දක් පිරිනැමීම සහ කාන්තාව එම මුද්ද පිළිගැනීම. 8 වැනි ශතවර්ෂයේදී මෙම ක්‍රියාව නිශ්චිත සම්මතයක් බවට පත්වුණා. ඒත් මේ විදිහට සිද්ධ වෙන විවාහ මංගල්‍යවල නීත්‍යානුකූලව භාවය ගැන යම් යම් ගැටළු තිබ්බා. මේවට සාක්කිකරුවෝ සහ පූජකයෝ පැමිණීම අනිවාර්ය නොවූ නිසා විවාහ වන දෙදෙනාටම හෝ එක් අයෙකුට පස්සේ කාලයකදී තමා විවාහ වුණේ නැහැ කියලා කියන්න පුලුවන් කම තිබ්බා.
ඒ හින්දා තමයි විවාහය ශුද්ධ වූ පූජාවක් ලෙසත්, එය කතෝලික දේවස්ථානයේදී පූජකයෙකු ඉදිරිපිට සිදු කළ යුතු බවටත් ක්‍රිස්තියානි පල්ලිය නියෝග කළේ. ඒ 12 වැනි ශතර්ෂයේදී. ඔය අපි අදටත් අනුගමනය කරන නීත්‍යානුකූල විවාහයේ ආරම්භය තමයි ඒක.
 
විවාහයට පෙර මුදු පැළැඳීම තහනම්!
නියෝගයට අනුව මංගල මුදුව විවාහයේම කොටසක් වූ අතර, විවාහ වීමට අදහස් කරන්නේ නම් මිස, වෙනත් කිසිදු අවස්ථාවකදී පිරිමියෙකු විසින් කාන්තාවකගේ අතට මුද්දක් පැළැඳීම නොකළ යුතු බවට පල්ලිය නියෝගයක් නිකුත් කළා.
පල්ලියේ සිදුකරන විවාහයේදී කාන්තාව විසින් තමන් විවාහ කරගන්නා පුද්ගලයාටත් මුදුවක් පැළැන්ඳිය යුතු බවට යෝජනා වුවත්, එය නීතියක් වුණේ නැහැ. ඒ නිසා ඒක අනිවාර්ය කාරණයක් වුණේ නැහැ. පුරුෂයින්ව විශ්වාසවන්තය තබා ගැනීමේ ක්‍රමයක් ලෙස විවාහ මුදු හුවමාරු කරගැනීම ප්‍රවර්ධනය කිරීමට මේ කාලය පුරාම ක්‍රිස්තියානු පල්ලිය උත්සාහ කළත්, පසුගිය ශතවර්ෂය වෙනකම්ම මංගල මුදු වැඩියෙන්ම පැළැන්දේ කාන්තාවෝ විතරයි.
 
“ආයෙ ගෙදර එනවා”

මේ ද්විත්ව මුදු සංකල්පය ආවේ දෙවැනි ලෝක යුද්ධ සමයේ. ඒක ජනප්‍රිය වුණේ යුරෝපීය සහ ඇමෙරිකානු සොල්දාදුවන් අතර. ඔවුන් එකම විදිහේ මුදු දෙකක් හදලා ඉන් එකක් තමන්ගේ බිරියගේ හෝ පෙම්වතියේ අතටත් අනෙක් එක තමනුත් පැළැඳගෙන තමයි යුද බිමට ගියේ. ඒකෙන් ඇඟවුණේ තමන් නොවැරදීම නැවත ගෙදර එනවා කියන විශ්වාසය ඇති කරන එක. මේ සම්ප්‍රදාය කොරියානු යුද්ධයේදී මේ විදිහටම ඉදිරියට ගියා. ඊට පස්සේ ඒ පුරුද්ද සිවිල් සමාජයටත් කාන්දු වුණා. කොරියානු යුද්ධයෙන් තමයි ආසියාවට මේ සම්ප්‍රදාය ආවේ.

වර්ථමානයේදී හුවමාරැ වන ද්විත්ව මංගල මුදු
 
ඉතින් ලංකාවේ අපිත් අද කරන්නේ එදා පාරාවෝවරු අනුගමනය කරපු සම්ප්‍රදාය ඉදිරියට ගෙනි යන එක.
ඒ නිසා ඔබ විවාහක නම්, මංගල මුද්ද ගෙදර අල්මාරි ලාච්චුවේ නම්, දැන්වත් ඒක අරගෙන අතේ දාගන්න. මොකද ඒක අවුරුදු 3000 ක් පැරැණි සිරිතක්.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!