අප්‍රිකානු යතුරු හිල් පාත්ති (කෘෂිකර්මය හා ගෙවතු වගාව)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපි පුංචි කාලෙ වත්තෙ පැත්තක කුණු වලක් තිබුණා.
ගෙදර එකතු වෙන කුණු කසල ඕකට තමා දාන්නෙ.
වේලිච්ච කොල​, තණකොල, කොල කෑලි එකතු කරලා පුච්චලා දානවා.
පරන පත්තර​, බෝතල් එහෙම බෝතල් පත්තර කාරයෙකුට දීලා සල්ලි ගන්නවා.
උයන්න ගේන මාලු මස් වල හම්, බොකු කෑලි, මාලු ඔලු ගෙදර පූසයි, වටේ පිටේ ඉන්න පූසොයි එකතු වෙලා කාලා දානවා.
ඒ කාලෙ ප්ලාස්ටික් භාවිතය බොහොම අඩුයි. පොලට යනකොට එලවලු කූඩයක් අරන් යන්නෙ.මාලු මස් ඔතලා දෙන්නෙ හබරල කොල වල. සීනි තේ කොල ඔතලා දෙන්නෙ පත්තර පිටුවල.
දැන් ඉතින් ‘ආපෝ විෂ බීජ’ කියලා කෑ ගහන්න එපා.ඒ කාලෙ එහෙම තමයි.
එහෙම බලන කොට මේ කුණු වලට වැටුනේ මුළුතැන්ගෙයි අපද්රව්ය; එලවලු ලෙලි, පළතුරු ලෙලි, තේ කෝපි කුඩු වැනි දේ විතරයි.
ඒ කියන්නේ කොම්පෝස්ට් මූල ද්රව්ය.
ඒ කාලෙ ඔය කොම්පෝස්ට් සංකල්පය ප්රචලිත වෙලා තිබුණද කියලා නම් මට මතක නෑ. අපේ නැන්දලා, පුංචි අම්මලා මල් පැල, එළවලු පැල වලට දැම්මේ ගොම පෝර.
ඒත් මේ කුණු වලේ කුණු පිරුණට පස්සෙ අප්පච්චි එතන කෙහෙල් පැලයක් ඉඳවනවා මට මතකයි. ඊළඟට කාට හරි කියලා වෙන තැනක කුණු වලක් කප්පවනවා.
කොහොම හරි කෙහෙල් පැල හිටවන්න පස හාරනකොට එතන තියන කලු පාට පස වාගෙම, පස කොටනකොට පස් කුට්ටි එක්ක උඩට එන සුදුපාට, බෝල ගෙඩි වගේ පනුවොත් මට අද වගේ මතකයි.
අද හුඟක් නිවාස වලට කුණු වලක් නෑ. බොහෝ දෙනා කරන්නෙ නගර සබාවෙන් කුණු එකතු කරන දවසට කුණු එක ගෙනිහින් පාරෙන් තියන එක.
ඇත්තම කීවොත් චූං පාං වලටත් වඩා උනන්දුවෙන් කට්ටිය කුණු ලොරිය එනකල් බලන් ඉන්නවා.
මේ කුණු ලොරියට දෙන මුළුතැන්ගෙයි අපද්රව්ය කුණු ලොරියට නොදී අපටම ප්රයෝජනවත් ලෙස යොදා ගන්නට පුලුවන්නම්!
එහෙම ක්රමයක් තියනවා.
නෑ! නෑ! කුණු වලවල් ඕනෙ නෑ.
හරි හරී කොම්පෝස්ට් බින් ඕනෑත් නෑ.
නෑ! මුළුතැන්ගෙයි අපද්රව්ය එකතු කරගෙන කොම්පෝස්ට් හැදෙනකල් බලාගෙන ඉන්න ඕනෙත් නෑ.
වියළි කොළ, තණකොළ, ඉතිරි එළවළු හා අපද්රව්ය දිරාපත්වීමේදී කාබනික ද්රව්ය බිඳී, සරු,පෝෂන පදාර්ථයන්ගෙන් පොහොසත් කොම්පෝස්ට් බවට පරිවර්තනය වන බව ඔබ දන්නවා නොවැ.ඒ පරිවර්තනය ක්රියාවලිය අලංකාර ලෙස ලෙස යොදා ගත හැකි ක්රමයක් ගැනයි මම මේ කියන්න හිතුවේ.
අප්රිකානු යතුරු හිල් පාත්ති!
AFRICAN KEYHOLE GARDENS!
පසු ගියදා නෝත් කැරොලිනා ප්රාන්තයට ගිය ගමනකදී තමයි මාත් ඉස්සරලාම දැක්කේ!
1990 දශකයේ මැද භාගයේදී, දකුණු අප්රිකාවේ ලෙසෝතෝ ප්රදේශයේ ආරම්භ වූ මේ කීහෝල් ගෙවතු වගා ක්රමය සාර්ථක වුනා විතරක් නෙමෙයි මේ සංකල්පය අද ලොව පුරා ව්යාප්ත වෙලා.
නිසරු පසක බෝග නිෂ්පාදන වැඩීමට උදව් කිරීම සඳහා හඳුන්වා දුන් මේ ක්රමය අද ලෝකයේ නිරන්තරයෙන් නියඟය හා පාංශු ඛාදනයට ලක්වන රටවල් ගනනාවක භාවිතා වෙනවා. මේ වගා ක්රමය ඇමරිකාවේත් ටෙක්සාස් ඇතුලු ජනපද කීපයකම වගාවන් සඳහා සාර්ථක ලෙස උපයෝගි කර ගන්නවාලු.
ඉතින් වියළි, ශුෂ්ක ඉඩම් වලට හොඳින් අනුගත වන මේ වගා ක්රමය අපිටත් භාවිතා කරන්න පුලුවන් නොවැ. වැඩි ඉඩක් ඕනෙත් නෑ!
සාමාන්යයෙන් කීහෝල් පාත්තියක් සකසන්නේ මීටර් දෙකක් පමණ පළල රවුම් පාත්තියක් ලෙස.
ඒත් ඕවලාකාර හෝ හතරැස් වැනි වෙනත් හැඩයකට හදා ගන්නත් බැරි කමක් නෑ.
මේ රවුම මධ්යයේ පසෙහි ඉහළ තට්ටුවෙන් මදක් යටට බස්සන ලද, අඩි 1 සිට 2 දක්වා උස ආහාර අපද්රව්ය, අළු ජලය සහ පොහොර සඳහා ප්රවේශ ස්ථානයක් ලෙස භාවිතා කරන කූඩය!
ඒකට කියන්නේ කොම්පෝස්ට් කූඩය කියලා.
කූඩයෙන් පිටතට සහ පාත්තියට ජලය පහසුවෙන් ගලා යා හැකි කුඩා සිදුරු සහිත දැලකින් තමා මේ කූඩය ඉදිකරන්නේ.
පාත්තිය වටා පොළොවෙන් අඩි දෙක තුනක් පමණ උසට පිහිටා ඇති ගල් වලින් නිමවා ඇති ගල් පවුර! එය පාත්තියට එහි ස්වරූපය ලබා දෙනවා වගේම, පාත්තිය තුළ තෙතමනය රඳවා ගැනීමටත් උපකාරී වෙනවා.
රවුමේ එක අද්දරක පාත්තියේ යේ මැදට පහසුවෙන් ප්රවේශ විය හැකි කොටසක්!
එයින් ගෙවිලියට හෝ ගොවියාට ඉතිරි එළවළු , අළු, ජලය සහ මුළුතැන්ගෙයි අපද්රව්ය මැදින් ඇති කොම්පෝස්ට් කූඩයට එක් කිරීමට පුලුවන්. මේ ආකාරයෙන්, ශාක සඳහා පෝෂ්ය පදාර්ථ සැපයීම වසර පුරාම කළ හැකියි.මේවා ජලය හා එකතුව දිරාපත් වී සෑදෙන කොම්පෝස්ට්, නැවත ජලය එක් කල විට, සාරය පස පුරා පතුරමින්, වාණිජ පොහොර එකතු කිරීමකින් තොරව පොහොර සපයනවා.
මේ ප්රවේශවන කොටස පැරණි තාලයේ යතුරු අගුලක හැඩයෙන් යුක්ත නිසාලු මේ පාත්ති වර්ගයට යතුරු හිල් පාත්ති කියන්නේ.
ඉතින් මේ විදිහට සාදාගන්නා මේ පාත්ති වල පලතුරු, එළවලු ඕනෑම දෙයක් අපට වගා කරන්න පුලුවන්!මේ පාත්ති සලාද කොළ, නිවිති, ඔෞෂධ පැළෑටි වගේම ළූණු, සුදුළූණු, කැරට් සහ බීට් වැනි පැල රෝපණය සඳහා වඩාත් සුදුසුයි කියලයි කියන්නේ!
අප්රිකාවේ ගෘහණියන් නම් මේ පාත්ති සකස් කර ගන්නේ කුස්සියට ආසන්නවලු!
එවිට මුළුතැන්ගෙයි අපද්රව්ය කොම්පෝස්ට් කූඩයට එක් කිරීමට ලේසි නොවැ. අනික වගාවත් කුස්සිය ලඟම!
ඉතින් ඔබටත් ඔබ කැමති ඕනෑම හැඩයකින් ඔබේම යතුරු හිල් පාත්තියක් සාදා ගැනීමට පුලුවන්!
පලවන පින්තූරය මා දුටු අප්රිකානු යතුරු හිල් පාත්තිය​. අනිත් පින්තූර අන්තර්ජාලයෙන්!
අදහසක් ගන්න පුලුවන් වේවි.
-ශ්රීපාලි
ප.ලි. අනේ මටත් ආසයි අපේ වත්ත පැත්තක අප්රිකානු යතුරු හිල් පාත්තියක් හදා ගන්න​. මේ අපේ මහත්තුරු කරලා දෙනවයි කීවට ඕව කවදා වෙන වැඩද කියලා දෙයියො තමයි දන්නේ.
ආ! මට තව පොඩි ප්රශ්නෙකුත් තියනවා.
ඔය මහත්තුරු ගොල්ලො ‘බලමු’ කීවොත් වැඩේ යන්නෙ කෙරෙන පැත්තටද නොකෙරෙන පැත්තටද?
උපුටා ගැනීම:  Sripali Kotuwella

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!