බෞද්ධ ඇතුළු අන්‍යාගමිකයින්ටත්, කාන්තාවන්ටත්, ඕනෑම වෙලාවක මුස්ලිම් පල්ලියකට යන්න පුළුවන්ද?

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

 

කොළඹ රතු පල්ලියේ මේ අලංකාර ඡායාරූප පෙළ දැකපු බොහෝ දෙනෙක්ට ඇති වුණ ගැටළුව තමයි බෞද්ධ ඇතුළු අන්‍යාගමිකයින්ටත් ඕනෑම වෙලාවක මුස්ලිම් පල්ලියකට යන්න පුළුවන්ද කියන එක. ඒ ගැන විස්තර දැනගන්න, අපි SL Musilim Memes admin රෆීක් ට කතා කළා.

1.ලංකාවෙ බෞද්ධ ඇතුලු වෙනත් ආගමිකයින්ට, මුස්ලිම් සහෝදරයන්ගේ පල්ලි ඇතුළට යන්න පුලුවන්ද?

ඔව්, ලංකාවේ තියෙන ඕනෑම මුස්ලිම් පල්ලියකට නීත්‍යානුකූලව ඇතුල්වෙන්නත්, තොරතුරු දැනගන්න, චායාරූප ගන්න ඕනෑම කෙනෙකුට නිදහස තියෙනවා. පල්ලිය ඇතුලේ පැය විසිහතරෙම කවුරුහරි පූජකවරයෙක් ඉන්නවා, එයත් එක්ක හරි එවෙලේ පල්ලියේ ඉන්න කෙනෙක් එක්ක කතාකරලා පාවහන් ගලවලා ඇතුල්වෙලා බලන්න පුළුවන්. පන්සලකට, කෝවිලකට යනකොට වගේ සංවර ඇඳුමකින් සැරසිලා ගියොත් ඒක ඒ ආගමික  ස්ථානයට කරන ගරුකිරීමක් වේවි)

2. සමහර අය කියනවා තමන් එහෙම පල්ලියට යන්න ගිය අවස්ථාවක ඇතුල් වෙන්න ඉඩ දුන්නේ නැහැ කියලා?

ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක් හැටියට කෙනෙකුගේ අයිතියක් පොදු ආගමික ස්ථානයක් නැරඹීමට යන එක. ඒක වලක්වන්න අයිතියක් නැහැ. සමහර දුර පැතිවල මිනිස්සු ඒ පැතිවල සංස්කෘතික බලපෑමත් එක්ක පල්ලියට ඇතුල්වෙන එක වැරදිදෙයක් විදිහට දකින්න පුළුවන්, ඒත් ඒ අදහස ඒ අයගේ පෞද්ගලික අදහසක් මිස ආගමික ඉගැන්වීම නෙමෙයි

 

3. කාන්තාවන්ටත් යන්න පුළුවන් ද?

ඔව්, ඕනෑම කාන්තාවකට මුස්ලිම් පල්ලියක් නරඹන්න යන්න පුළුවන්. ඒක මුස්ලිම්ද සිංහලද දෙමළද අදාල නැහැ.

 

4. මුස්ලිම් සහෝදරියන්ට පල්ලියට ඇතුල් එන්න අවසරයක් නැහැ නේද?

අවසර නැතුව නෙමෙයි, මුස්ලිම් කාන්තාවන් පල්ලියට එන එක ආගමෙන් අනිවාර්ය කරලා නැහැ. ඒකට හේතු දෙක තුනක් තියෙනවා. ප්‍රධානම හේතුව වෙන්නේ මේ පහතින් දක්වලා තියෙන එක. මගේ පේජ් එකට මෙ ප්‍රශ්නය අහලා කමෙන්ට් කරන ගැහැණු ලමයින්ට මම ප්‍රසිද්ධියේ උත්තර නොදෙන්නේ ඒකෙන් එයාල අපහසුතාවයට පත්වෙයි කියලා හිතලයි. ඒත් සමහර අය මැසේජ් කරලා ඇහුවම තේරුම් කරලා දෙනවා.

පැහැදිලි කිරීම: ඉස්ලාම් ආගමේ ගැහැනු අයට සම තැන ලබාදීලා තියෙනවා. එයාලත් අනිත් අය වගේම දවසට පස් වතාවක් ආගම කියන්න ඕන. පිරිමි අයට විතරක් පල්ලියට එන්න කියලා තියෙන්නේ ගැහැණු අයට මාසික ඔසප් කාලයේදී අතිවන අපහසුතාවය නිසා අගම කියන එක අවශ්‍ය නොවන හේතුව මතයි.ඔසප් කාලයේදී ගැහැණු අයට ආගම කියන එක තහනම් ඒ කාලය ඉවර වෙලා හොදින් නාගෙන පිරිසිදු වෙනකං. ඉතින් පල්ලියට යන එක අනිවාර්ය කලොත් වෙන්නේ ගැහැණු අයගේ පෞද්ගලිකත්වයට හානිවෙන එක. ඔසප් කාලය සාමාන්‍යයෙන් පිට අය දැනගන්න අවශ්‍ය දෙයක් නෙමෙයි, ඉතින් හැමදාම පල්ලියට යන ගැහැණු කෙනෙක් සතියක් විතර නාවොත් සමාජය දැනගන්නවා ඇයගේ අපහසුතාවය. ගෙදර ආගම කියද්දී මේ ප්‍රශ්ණ නැහැ, එතකොට දැනගන්නේ තමුන්ගේ පව්ලේ අය විතරයි. ඒ වගේම පල්ලිය කියන්නේ ආගම සිහිකරන ස්ථානයක් නිසා තරුණ ගැහැණු පිරිමි එකට එකතු උනාම ආගමික භක්තිය අඩුවෙන්න පුළුවන්. ඒක අපි හොඳහැටි වත්මන් සමාජයේ දකින දෙයක්. දැන් පිරිමි පල්ලියට එන්නේ ආගමික භක්තියෙන් ආගම සිහිකරන්න උනාට දෙපාර්ශවයම එකතුවෙන තැනක් උනොත් ඒ භක්තිය අඩුවෙන්න පුළුවන් ඒ වගේම සමාජයෙන් පල්ලියට එන තරුණයා වැරදි කෝණයකින් බලන්නත් පුළුවන්.

 

5.  පන්සලකට ගියොත් අපි මල් පහන් පූජා කරනවා, දේවාලයකට ගියොත් පලතුරු වට්ටියක් පූජා කරනවා, ඒ වගේ පල්ලියකට ආවම වෙනත් ආගමිකයන්ට කරන්න පුළුවන් විශේෂ යමක් තියෙනවද?

පල්ලියකට ගිය කෙනෙක් දන්නවා පල්ලියක් ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මුස්ලිම් පල්ලියක් කියන්නේ විශාල ශාලාවක් විතරයි. පිටතින් එක් එක් හැඩයන් වර්ණයන් ගත්තට ඇතුලට ගියාම බොහෝවිට තනි වර්ණයක් ආලේප කරපු ශාලාවක් විතරයි තියෙන්නේ. ඇතුල් වෙද්දිම දෑත්, මුහුණ සහ කකුල් පිරිසිදු කරගන්න ජල කරාම හෝ ජලය පුරවන ලද විශාල පොකුණක් තියෙනවා. ඉතින් මුස්ලිම් කෙනෙක් ආගම කියන්න ඇතුලු වෙනවානම් පාවහන් ගලවලා අත්පය පිරිසිදු කරගෙන ඇතුල්වෙන්න අවශ්‍යයි. ඇතුලේ තියෙන විශාල ශාලාවේ කිබ්ලාව (මක්කම) දෙසට මුහුණලා සිටගන්න පුළුවන් විදිහට පොලොව මත ඉරි ඇඳලා තියෙනවා ඊට අමතරව පොත් රාක්ක මත කුරානයේ පිටපත් සහ හදීස් (ආගමික ඉගැන්වීම) සහිත පොත් බලාගන්න පුළුවන්. ඉතින් වෙනත් ආගමක් අදහන කෙනෙක් ගියොත් හදීස් පොත් හෝ පරිවර්තනය කරන ලද කුරානය කියවන්න පුළුවන්. සාමාන්‍යයෙන් වාඩිවෙන්නේ පොලොවේ, පුටු හෝ බංකු භාවිත කරන්නේ හිටගෙන ආගම සිහිකරන්න අපහසුම ආබාධිත හෝ වයසක අය විතරයි. අනෙක් ආගමික් ස්ථාන වගේ පිළිම, ස්මාරක හෝ විශේෂ ඉදිකිරීම් නොමැතිනිසා විශේෂයෙන් කරන්න දෙයක් නැහැ.

 

6. යන්න කලින් අවසර ගන්න ඕනද?

සාමාන්‍ය පල්ලියකට ඇතුල්වෙන්න විශේෂ අවසරයක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි පල්ලිය පිළිබඳව තොරතුරු ලබාගන්නට අවශ්‍ය නම් කලින් දැනුවත් කරලා පල්ලියට අදාල තොරතුරු දන්න කෙනෙක් ඉන්න වෙලාවක ගියොත් පහසු වෙයි.

7.කොළඹ රතු පල්ලියේ ඉහළ මාලයට මුස්ලිම් නොවන අයට යන්න දෙන්නේ නැද්ද?

සාමාන්‍යයෙන් බොහෝ පල්ලිවල මහල් දෙක තුනක් තියෙනවා. පල්ලියක් විශාල ලෙස ගොඩනගන්නේ සිකුරාදා දහවල් අනිවාර්ය ආගමික වතාව (ජුම්මා) සඳහා විශාල මුස්ලිම්වරු ප්‍රමාණයක් පල්ලියට පැමිනෙන නිසයි. මුස්ලිම් පල්ලියක දිනකට පස්වතාවක් ආගම සිහි කරනවා, බොහෝවිට ඒ සෑම අවස්ථාවකම ආගම සිහිකිරීමට පුද්ගලයන් 200ක් 500ක් වැනි ප්‍රමාණයක් පැමිනෙනවා. එවැනි අවස්ථාවන්වල බොහෝවිට පල්ලියේ විවෘතව තබන්නේ බිම් මහල පමණයි. එවැනි අවස්ථාවන්වල මුස්ලිම් හෝ කිසිම කෙනෙකුට ඉහල මහලට ගමන්කිරීමට අවශ්‍යතාවයක් ඇතිවන්නේ නැහැ එමනිසා සාමාන්‍ය වේලාවන්වලදී ඉහල මහලයන් සහිත පල්ලිවල එම අතිරේක මහලයන් ආරක්ෂාව උදෙසා වසාතැබීමට කටයුතු කරනවා.

කොළඹ රතු පල්ලියේද කටයුතු සිදුවන්නේ මේ ආකාරයෙන්ම තමයි, සාමාන්‍ය ආගමික වතාවන් සඳහා පුද්ගලයන් 500ක් වැනි ප්‍රමාණයක් පැමිනෙනවා ඔවුන් සඳහා බිම් මහල ප්‍රමාණවත් නිසා උඩුමහල් සතියේ දින හයක්ම වසා තබනවා. සිකුරාදා දිනයන්හිදී එක්වර පුද්ගලයන් 5000ක් පමණ පැමිනෙන නිසයි එම දිනයේ පමණක් ඉහල මහල් විවෘත කරන්නේ. රතු පල්ලියේ ඉහල මහලට යන්න අවශ්‍ය කෙනෙකුට සිකුරාදා දිනයන්වල පහසුවෙන්ම ගිහින් බලන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය දිනයක ඉහල මහලට ගමන් කිරීමට අවශ්‍ය නම් මුස්ලිම් හෝ මුස්ලිම් නොවන ඔනෑම කෙනෙකුට පල්ලි පාලනාධිකාරියට දැනුම්දීමක් කර විශේෂ අවසරයක් ගන්නට සිදුවෙනවා. ඔනෑම පල්ලියක කිසිම කොටසකට මුස්ලිම් නොවන කෙනෙකුට යන්න නොදී ඉන්නේ නැහැ.

…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

තමන් ලබා දුන්නු පිළිතුරු සියල්ලම තමන් දැනට සතු දැනුම භාවිතයෙන් දුන්නු ඒවා නිසා, මෙහි වැරැද්දක් සාක්ෂි සහිතව පෙන්වාදුන්නොත් එය නිවැරදිකරගන්න සූදානම් බව රෆීක් (මොටේ) අවසානයේ අපිට කිව්වා.

කලින් ලිපියේදී වගේම මේ ලිපියේදී ත්, කිසිම පැකිලීමක් නැතිව, නිරහංකාරව වගේම  පැහැදිලිව පිළිතුරු සපයන්න ඉදිරිපත් වුණ එක ගැන ආයෙමත් වතාවක්  ‍‍‍‍‍‍‍‍‍අපි ඔහුට හද පතුලෙන්ම ස්තුතිවන්ත වෙනවා.

බෞද්ධයින් පල්ලි වලට යන්න බය වෙන්නෙත්, මුස්ලිම්වරුන් පන්සල් වලට එන්න බය වෙන්නෙත් මොකටද? එකම රටක ජීවත් වෙන, එකට බස් එකේ යන එන, එකට ඉස්කෝලෙ, අමතර පන්ති වල ඉඳගත්ත සහෝදර සහෝදරියන් දිහා සැකෙන් බලන්නෙ ඇයි?

බොහෝ දෙනෙක් අදහන ආගම් දෙමාපියන්ගෙන් ලැබුණු ආභාෂය මිස, තමන් විසින් තෝරලා බේරලා වැළඳගත්ත දෙයක් නෙමෙයි. ඉතින් ඒ තමන්ට උපතින් ලැබුණු  ආගම ඇතුලෙ ජීවත් වෙන එකත් කොහොමටත් වැරැද්දක් නෙමෙයි.

වැරැද්ද තවත් ආගමක් දිහා සැකෙන් බලන එක, වැරදි අදහස් වලින් තමන්ගෙ ඔලුවත් පුරවගෙන, තවත් කෙනෙක්ටත් ඒ වැරදි අදහස් ප්‍රේරණය කරන එකයි! 

තවත් ආගමක් ගැන කුතුහලයක්, ගැටලුවක් තිබෙනවා නම් ඒ ගැන අහන්න පැකිලෙන්න එපා. තමන්ගේ ආගම ගැන කෙනෙක් ඇහුවොත් ඒක සමච්චලයට ගන්න එපා. දන්න දෙයක් නම් අනිවාර්යයෙන්ම කියලා දෙන්න හැබැයි නොදන්න දේවල් නම් කොහොමටවත්ම කියන්න යන්න එපා!  

එකම රටක ජීවත් වෙන ජාතීන් අතර සැකය කුතුහලය නිසා මේ තරම් දුරස්ථ බවක් ඇති  නොවුුණා නම්, අද අපිට  පාස්කු ප්‍රහාරය වගේ වේදනාබර මතකයන් ඉතුරු වෙන්නේ නැහැ. Hints ගහන්න, තවත් ආගමකට ඇද කරන්න නෙමෙයි, අපේ  වැඩිහිටියන්ට නැති කරන්න බැරි වුණු ඒ දුරස්ථ බව නැති කරන්න සමාජ  මාධ්‍ය පාවිච්චි කරමු. 😀❤️

…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

තවත් මේ වගේ ලිපි කියවන්න A/L පන්තිය Facebook page එකට එකතු වෙන්න.

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!