බදුදීම් ප්‍රශ්නය – මහාචාර්‍ය රෝසා භෞතික විද්‍යා විවරණය (අදහස්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ගැටළුව :

සාමාන්‍ය ප්‍රවේගයෙන් සරල රේඛීය මාර්ගයක ගමන්ගන්නා VIP සුඛෝපභෝගී මෝටර් රථයක පසුපස අසුනේ වම් කෙළවර වාඩිවී යන පුද්ගලයෙක් ඉදිරිපස මධ්‍යගත ගුවන්විදුලි යන්ත්‍රයේ යම් සංඛ්‍යාතයක විකාශය වන තමා අත් අඩංගුවට ගන්නා ලෙස දැක්වෙන පුවත අසයි.මේ ඇසූ මොහොතේ පටන් අදාල පුද්ගලයා අතුරුදන් වේ.පොලිස් කණ්ඩායම් 6ක් යොදා දින 5ක් සෝදිසි මෙහෙයවීම සිදු කළද සොයාගැනීමට නොහැකි වන්නේ නම් පුද්ගලයාට සිදුවූයේ කුමක් ද? (සිදුවීම පරිපූර්ණ තත්ව යටතේ සිදුවන්නේ දැයි උපකල්පනය කරන්න)

1.පෘථිවි වායුගෝලයෙන් මිදී කක්ෂගත වීම
2.වාහනය සමගම ඌර්ධවපාතනය වීම
3.වෙනත් කාල මානයක හෝ සමාන්තර විශ්වයක සිරවී සිටීම
4.බෞද්ධාලෝක මාවතේ නිවස’ තුළ සිටීම
5.විල්පත්තු වනාන්තරයේ සැඟවී සිටීම

 

විවරණය:

මෙම ප්‍රශ්නය ගැටලුසහගත ලෙස පෙනුනද ඉතාමත් සරල ය.සරල දෙයට සරලයි යැයි නොකියා කොහොමද? ඇතැම් පිළිතුරු විද්‍යාත්මක පදනමක් පවා නොමැත.පසුගිය විභාග ප්‍රශ්න හොඳින් අධ්‍යනය කළ අයෙකුට එක මිනිරන් බිංදුවක් වැය නොකර පිළිතුර තීරණය කළ හැක.
පළමු පිළිතුර බැලූ බැල්මෙන් ම ඉවත් කළ හැක.සාමාන්‍ය ප්‍රවේගය ලෙස දක්වා ඇත්තේ VIP වාහනයක සාමාන්‍ය ප්‍රවේගයයි.මෙය වියෝග ප්‍රවේගයට ඉතා ආසන්න අගයක් බව සැබෑ ය.නමුත් පාරේ යන අහිංසක කොල්ලන් හප්පා උසාවි යාමට සිදුවේ යන බිය හේතුවෙන් එම අගය වියෝග ප්‍රවේගයට වඩා යන්තමින් කුඩා අගයක පවත්වා ගනී.එහෙයින් කක්ෂ ගත වීමක් සිදු විය නොහැක.පළමු පිළිතුර ඉවත් කළ හැක.මේවා නම් පීනට් ය.

පිළිතුරු පහ දුටු පමණින් ම 2 හා 5 වරණ ඉවත් කළ හැක.මෙයටත් කටු වැඩ කිරීම ජපන් light rail එක චීනයට දීමටත් වඩා පාපයකි.පෙර වකවානුවේ හොඳින් අධ්‍යනය කළ දරුවෙකුට පුද්ගලයා අතුරුදන් වී ඉතාම ඉක්මනින් වාහන දෙකක් හමුවූ බව සිහියට නැගෙනු ඇත.එවිට 2 වරණය පහසුවෙන් ඉවත් වේ.ආසන්න ප්‍රශ්න වල ගිනි තැබූ වාහන,අතුරුදන් වාහන පිළිබඳ විමසා ඇතත් එක් වරම හමුවූ වාහන පිළිබඳ දක්වා නැත.එනමුත් වැඩි පමාවකින් තොරව 2 වරණය ඉවත් වේ.
ඇතැම් දරුවන් කිසිදු වග විභාගයකින් තොරව විල්පත්තුව දුටු පමණින් නිවැරැදි පිලිතුර එය යැයි සිතා තීරණය කර ඇත.නමුත් ප්‍රශ්නයේ පරිපූර්ණ අවස්තාවේ සිදු වූ බව උපකල්පනය කරන ලෙස දැක්වීම වරදවා වටහා නොගත යුතු ය.විල්පත්තුවේ තවදුරටත් සැඟවීමට ගොයම් ගස් දෙකකට වඩා උසැති ගසක් නොපවතින බව දැන සිටීම සාමාන්‍ය දැනීම ය.මෙවැනි පිළිතුරු තෝරන දරුවන්ගේ පස්සා පැත්තට ආදරයෙන් පාරක් ගැසිය යුතු ය.

තුන් වන පිළිතුර කල්පනා කරන ලමයෙක්ට එතරම් අමාරු නොවුනත්,හරිහැටි බේරුම් කර නොගතහොත් ඇතැම් දරුවන් විශාල කාලයක් අපරාදේ නිකං වැයකරගනු ඇත.ගුවන් විදුලියේ යම් සංඛ්‍යාතයක් විකාශය වූ බව ප්‍රශ්නයේ සඳහන් නිසා ඒත් සමග යම් කේන්ද්‍රගත වූ විශ්ව ශක්තියේ බලපෑමක් හෝ රාහු නීච වූ අන්තර් ක්‍රියාවකින් වෙනත් කාලරාමුවකට අදිසි දොරටුවක් විවර වූ බවක් වැඩිපුර කල්පනා කරන ලමයින් සිතුවා වන්නට පුලුවන.එහෙත් නමස්තේ නාරායන වාලම්පුරියක් හෝ ශක්ති පිරමීඩයක් වාහනය තුළ හෝ අතුරුදන් තැනැත්තා සතුව පැවති බව ප්‍රශ්නයේ නොදැක්වේ.රේඩියෝවේ මධ්‍ය පිහිටීම හෝ අතුරුදන් තැනැත්තාට එහි සිට ඇති දුර මෙයට අදාල නොවන බව වැටහිය යුතුය.අසුනේ වමේ වාඩිවී යන බැවින් මොහු වාමාංශිකයෙක් ලෙස තීරණය කර ගුරුත්ව බලපෑම හා පෘථිවි ආනතිය මගින් මොහු ඉබේ අතුරුදන් කලේ යැයි ශෝකාලාප දක්වමින් ගෝල් පේස් එක ඉදිරියේ තනියෙන් උද්ඝෝෂණ කරන්නට සිතුනේ නම් හෙමින් සීරුවේ ඔලුව අතගා බලන්න.අං එනවාද කියා.

ඉවත් කළ යුතු වරණ ඉවත් කළ විට පිළිතුර නිකම්ම පෙනේ.පොලිස් කණ්ඩායම් හයක් යොදා දින පහක් සෝදිසි කල මුත් හම්බ නොවුණේ… යැයි දැක්වීම තුළ ම ඕනෑනම් දක්ෂ දරුවෙක් පිළිතුර තේරිය හැක.ගණනය සඳහා පරිපූර්ණ තත්ව සලකන ලෙස ප්‍රශ්නයේ දක්වා ඇත.එම තත්ව යටතේ නිවස’ තුළ සිටියදීම වාහනයක ගමන් කරමින් සිටීම හෝ වාහන නිවසට ප්‍රතිවිරුද්ධ දිශාවකින් හමුවීම වැනි සිදුවීම් පවා (අතාත්වික සේ පෙනුන ද) ඉතාම පහසුවෙන් සිදුවිය හැකි අතර එමගින් ඇතිකරන බලපෑම නොගිණිය හැකි තරම් කුඩා ය.පෙර විභාග ප්‍රශ්න කළ දරුවෙකුට ඉතාම සරල ප්‍රශ්නයකි.ආසන්න අවුරුදු 10ක ප්‍රශ්න කෙරේ නිකං වත් නොබැලූ ආදරණීය දරුවෙකු නම් අමාරු ලෙස පැවසිය හැක.මේවාත් බැරි නම් කොමස් කලාට කම් නැත.

සඳරු සන්දීප

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!