හැටපස් යාගය නොහොත් කොහොඹා කංකාරිය

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කොහොඹා කංකාරියේ ඉතිහාසය සදහන් වෙන්නේ මෙහෙමයි. මෙහි සදහන් සියලු විස්තර ගොඩක් මහන්සි වෙලා පොත්පත් කියවලා කන්කාරියක් කරපු තැනක දවස් 3 ක් එකදිගට රැයක් දවාලක් නැතුව බලාගෙන ඉදල සොයාගත්ත තොරතුරු

හැටපස් යාගය නමින් හැදින්වෙන කොහොඹා කංකාරිය එහෙමත් නැත්නම් කොහොඹා යක් කංකාරිය ගැන තමයි අද මම තොරතුරු ගෙන එන්නේ. කොහොඹා කංකාරියේ දී කොහොඹා කියන දෙවියන් ප්‍රධාන තැනක් ගන්නවා වගේම වැදුම් පිදුම් ලබනවා. කොහොඹා දෙවියන්ගේ උත්පත්ති කතාව පිළිබඳව එක එක පරම්පරාවලින් එක එක විදිහට කියවෙනවා.

කොහොඹා කංකාරියේ ඉතිහාසය සදහන් වෙන්නේ මෙහෙමයි.

සත්සීයක සේනාවක් සමග ලංකාවට සැපත් වෙන විජය කුමාරයා කුවේනියගේ උපකාරයෙන් ලංකාවේ රජ බවට පත් වෙනවා. කුවේණිය රජුගේ අගමෙහෙසිය බවට පත් කරගත්තත් ඇය යක්ෂ ගෝත්‍රික කාන්තාවක් හෙයින් පසුව කුවේණිය පලවා හැර විජය රජතුමා ඉන්දීය කුමරියක සරණ පාවා ගත්තා. මෙයින් උරණ වූ කුවේණිය විජය රජතුමා ට ශාපයක් කළා. ඒ අනුව සිහිනෙන් දිවියෙකු දැක වැළදුණු සුව නොවන රෝගයකින් විජය රජතුමා මියගිය අතර ඔහුගේ අවෑමෙන් රජ වෙන පඬුවස්දෙව් රජතුමාට ද ඒ ශාපය පල දීම නිසා රෝගාතුර වී අසාද්‍ය තත්වයට පත් වෙනවා. දිවියන් සිහිනෙන් පෙනී ඇතිවෙන දෝෂයක් නිසා මෙම රෝගය දිවි දෝෂය නමින් හැදින්වුනා.

අප මහා බුදුරජානන් වහන්සේ ලංකාව ආරක්ෂා කරන ලෙසට දෙවියන්ට පිරිනිවන් මංචකයේදී දේශනා කල බව ඔබ අසා ඇති. පඩුවස්දෙව් රජතුමාට ඇති වූ මෙම දිවි දෝෂය ගැන ප්‍රශ්නය දිව්‍ය ලෝකය දක්වා පැතිරුනා. දේව සභාවේදී රැස්වුණු දෙවියන් අතර රජු වූ ශක්‍ර දේව රාජයා විසින් පඩුවස්දෙව් රජුට වලදී ඇති දිවි දෝෂය සුව කිරීමට නම් මලෙන් උපන් යන අරුත ඇති මලය රජතුමා (මලේ රජතුමා ලෙසද හැදින්වේ) ගෙන අයුතු බැව් දැන එම කාර්යය ඊශ්වර දෙවියන්ට පවරනවා. ඊශ්වර දෙවියන් විසින් එම කාර්යය අසුරයන්ගේ නායකයා වන රාහු අසුරයාට භාර දෙනවා.

Kohoba kankariya

ඉන්පසුව රාහු අසුරයා සුකරයෙකුගේ(ඌරකුගෙ) වෙස් අරගෙන මලේ රජුගේ රටට ගොස් රජුගේ අවධානය දිනාගැනීම සදහා රජ උයන තලා පාගා විනාශ කරනවා, රජතුමාට මේ සිදුවීම නිසා දැඩි කෝපයක් ඇති වී ඌරා මරා දැමීම සදහා දුන්නත් ඊතලයත් රැගෙන ඌරා ලුහුබදිනවා. රාහු අසුරයා ඌරු වෙසින් ම රජතුමාව ලංකාවට උපායෙන් රැගෙන එනවා. ලංකාවේදී සුකරයට ඊතලය වැදී ඌරා එතනම ගල් වූ බවත් මේ නිසා මෙය දෙවියන්ගේ උපායක් බව රජතුමා තේරුම් ගත් බවත් සදහන් වෙනවා. නමුත් සමහරු පවසන්නේ ලංකාවේ හන්තාන අඩවිය තෙක් රජතුමා රාහු අසුරයව ලුහුබැද පැමිණි බවත් එහිදී රාහු අසුරය මලේ රජතුමාට කරුණු පැහැදිලි කරන ලද බවත් ය. එසේම රාහු අසුරයව ලුහුබැඳ පැමිණි මලේ රජතුමා ට ලංකාවට ඇතුළු වීමෙන් අනතුරුව සක්දෙවිඳු පෙනී සිටි අතර සක්දෙවිඳු විසින් පඬුවස්දෙව් රජතුමාව සුව කරගැනීමට මලේ රජතුමාව එකග කරගත් බවත් පැවසෙනව.

කෙසේ වෙතත් අනුරාධපුරයේ මහමෙවුනා උයනේදී මලේ රජතුමා හැටපස්යාගය නමින් යාගයක් කර පඬුවස්දෙව් රජතුමාව සුව කරන ලද බව පැවසෙනවා. එම හැටපස් යාගය මුල් මඩුවේ කොහොඹා කංකාරිය එහෙමත් නැත්නම් මුල්මඩුවේ කොහොඹා යක් කංකාරිය නමින් ප්‍රචලිත වූ බව සදහන් වෙනවා.මලේ රජතුමා ඒ සදහා මලය රටෙන් තවත් බමුණන් ගෙන් වූ බවද සදහන් වෙනවා.එසේම මෙම යාගය සදහා මලේ රජතුමාගේ ඇරයුමෙන් ලංකාවට ඔහුගේ සොහොයුරන් සතර දෙනෙක් පැමිණි බවටත් මතයක් තිබෙනවා. කෝට්ටේ රාජධානියේ ලියවී ඇති කුවේණි අස්නට අනුව 1414 සහ 1468 අතර වකවානුවේදී කෝට්ටේ රාජධානිය කරවූ 6 වන පරාක්‍රමබාහු රජතුමාට සෙත් පතා කොහොඹා කන්කාරියක් පවත් වූ බවත් සදහන් වෙනවා. එසේම “සිහබා අස්න” ට අනුව ක්‍රි.ව.1707-1739 අතර කාලවකවානුවේදී කන්ද උඩරට අවසන් සිංහල රජතුමා වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුට සෙත්පතා ද කොහොඹා කන්කාරියක් පැවැත්වූ බවද සදහන් වෙනවා
කොහොඹා කංකාරියේ ඉතිහාසය එහෙම සදහන් වෙද්දී දැන් අපි බලමු කොහොමද මේ කොහොඹා කංකාරියක් එහෙම නැත්නම් හැටපස්යාගයක් පැවැත්වෙන්නේ කියලා.

කොහොඹා කංකාරිය ක ආරම්භය සදහා මුලින් ම කෙරෙන්නේ කප් සිටුවීමයි. එහිදී තෙමසක් තුල ශාන්තිකර්මය කෙරෙන බවට දෙවියන්ට භාර වී කංකාරිය පැවැත්වීමට අදහස් කරන භුමිය මල්,බුලත් ආදියෙන් සරසා දෙවියන්ට යාතිකා කර භුමිය තුල කිරි අත්තක් සිටුවීම සිදු කරයි.

කංකාරිය සිදු වන දිනට පෙර එම තෝරාගත් භුමියේ විශාල මඩුවක් ඉදි කරනු ලබනවා. මෙම මඩුව තුල තමයි කංකාරිය නටන්නේ. එසේම මෙම මඩුව දිගින් හැට රියනකුත් පළලින් තිස් රියනක් ද විශාලත්වයෙන් යුතු බව පැවසෙනවා. මේ මඩුව සරසා ගන්නේ ස්වාභාවික දේවල් යොදාගෙන. එනම් ගොක් අතු, කෙසෙල් අතු, ආදිය යොදාගෙන මඩුව සැරසිලි කර හැඩ වැඩ ගන්වනවා.පොල්, නවසි , බෝධිලි ,කුන්දිරා, රන් තැඹිලි, ගොන් තැඹිලි, තල් ,දෝතළු, නා , බුලත්, පුවක් මල්, පොල් මල්, ආදිය සහ අඹ, අන්නාසි කෙසෙල් කැන්, ආදී පලතුරු වර්ග රාශියක් මෙන් ම කොස් ගෙඩි ත් මෙම මඩුව පුරාම එල්ලනු ලබවනවා.

Kohoba kankariya

මෙලෙස සරසා ගත් මඩුවේ එක කෙලවර කොටස් තුනකට වෙන් වෙලා තියෙන මල් යහනාවක් හදන්න ඕනේ.මෙම මඩුවේ දෙකෙළවර අයිලය සහ යක්ගෙය නමින් ඉදි කරගන්න මෙම ඉදි කිරීම් ගොක් කොළවලින් සැරසිලි ගන්වා ගන්නවා.අයිලය අසල මුව සහිත කෙසෙල් ගසක් සිටුවනවා. මුවමල විදීමේදී යොදාගැනෙන්නේ මෙම කෙසෙල් මුව තමයි. මඩුව සැදීමෙන් අනතුරුව කංකාරිය ආරම්භයේදී මඩුව පේ කිරීම නමින් චාරිත්‍රයකුත් සිදු කෙරෙනවා. මුලිකවම කංකාරියකට වෙස් යක්දෙස්සන්, ගුරුන්නාන්සේ, බෙරවායන් සහ කොට්ටෝරුවන් සහභාගී වෙනවා.යක්ගෙය යනු වෙස්යක්දෙස්සන්, ගුරුන්නාන්සේ , බෙරවායන් හා කොට්ටෝරුවන්ගේ නවාතැන වන අතර අයිලය දේව රුප සහ දේවාභරණ තැම්පත් කරන ස්ථානය ලෙස යොදාගනී. කංකාරියේ මුල් තැන ගුරුන්නාන්සේ ට හිමිවන අතර බෙරවායන් සාමාන්‍ය උඩරට බෙරවායෙකුගේ ඇදුමින් සැරසී සිටිනවා.ඔවුන්ගේ වාදන භාණ්ඩය වන්නේ උඩරට ගැටබෙරයයි. කොට්ටෝරුවන් ලෙසින් හැදින්වෙන්නේ යක්දෙස්සන්ගේ සහ බෙරවායන් සදහා කංකාරි භුමිය තුල සිටින ආවතේව කරුවන්ය.

කොහොඹා කන්කාරියේදී අලුත් කොහොඹා, මහා කොහොඹා සහ පරණ කොහොඹා කියන දෙවිවරු තුන්කට්ටුවක් , බණ්ඩාර දෙවිවරු හත්කට්ටුවක්, වැදී යක්කු දොළොස්කට්ටුවක් කඩවර යක්කු දෙතිස් කට්ටුවක් පිදුම් ලබනවා කියල සදහන් වෙනවා. ඒ වගේම වෙස් තට්ටුව සහ වෙස් ඇදුම් කට්ටලය කියන්නේ මලය රජතුමාගේ ඇදුම් කට්ටලය කියලත් සදහන් වෙනවා.

Not Registered Yet Website view

කොහොඹා කන්කාරියක ප්‍රධාන කොටස් මේ විදිහට සදහන් කරන්න පුළුවන්.
කප් සිටුවීම
දේවාභරණ අයිලයට වැඩමවීම.
මහයාතිකාව
මගුල් බෙර වැයීම
ආතත හෙවත් යහන් බෙර වැයීම
යක් ඇණවුම
අයිලය යැදීම / දේවාරාධනාව
අස්නේ නැටීම
යක් තුන් පද නැටීම
හත් පද පෙළපාලිය
ගුරුගේ මාලාව
මල් යහන් කවි
කතා පහ නැටීම
දාන පහ
දුනු මාලප්පුව
කෝල් නඩුව
ආවැන්දුව
යක්කම් පහ නැටීම
මල් හත් පදය නැටීම
හන්තාලය නැටීම
කප ගැලවීම
කඩවර ගොටුව
ගබඩා කොල්ලය
ගෙට ගිනි තැබීම
කොහොඹා හෑල්ල
මුව මල පිදීම
මාරාව නැටීම.

කප් සිටුවන ආකාරය පෙර සදහන් කල නිසා දැන් බලමු දේවාභරණ අයිලයට වැඩමවීම පිලිබදව. මෙහිදී වෙන්නේ පංච තුර්ය නාද සිදු කරමින් දේවාලය තුල සිට සුවද දුම් අල්ලමින් දේවාභරණ පෙරහැරෙන් කංකාරි මඩුවට වැඩමවීමයි.අනතුරුව දේවාභරණ මල් යහන තුල තැම්පත් කර මල් පහන් පහන් සුවද දුම් පුදා කෝල්මුර කවි ගායනා සිදු කරනවා. ල්යහන ලග හදපු පොඩි මල් යහනක් ලගින් අටමගලය ඇඳලා ආතුරයාව වාදී කරවලා පුජාභාණ්ඩ තියල කවි කියමින් ආතුරයාට සෙත් ශාන්ති කිරීමට තමයි මහයාතිකාව කියන්නේ. සම්පුර්ණ හැටපස් යාගයටම යොදා ගැනෙන්නේ ගැටබෙර තමයි. බෙර වලට සුවද දුම් අල්ලා තෙරුවන් කෙරෙහි පුජාවක් විදිහට මගුල් බෙර වැයිමක් සිදු කෙරෙනවා. ඊට පස්සේ කෙරෙන්නේ යහන් බෙර වැයීම. ඒ කියන්නේ මගුල් බෙර වැයීම සිදු කරාට පස්සේ එක් එක් බෙරවාදකය ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ දක්ෂකම පෙන්නන්න හොද බෙර පදයක් වයල පෙන්වනවා. යහන් බෙර වයල ඉවර වුනාට පස්සේ වෙස් නැට්ටුවන් නා පිරිසිදු වී සම්පුර්න වෙස් ඇදුම් කට්ටලයෙන් සැරසෙනවා. අනතුරුව උඩුවියන් යටින් ඔවුන් කංකාරි මඩුවට පැමිණ එකිනෙකාට ආචාර කරගැනීමක් සිදු කරනවා.දෙවියන් හට මල් යහනට වඩින ලෙසට ආරාධනා කිරීම සදහා බෙර වයමින් කවි ගායනා කිරීම සහ කවි බෙර හද මැද්දේ නර්තනය සිදු කිරීම යක් ඇණවුම නමින් හැදින්වෙනවා. මෙහිදී යක්කුන්ටද ආරාධනා කරනවා.අයිලය යැදීම නමින් හැදින්වෙන්නේ වැදී යක්කු දොළොස් කට්ටුවකට අයිලයට වඩින ලෙසට ආරාධනා කිරීමයි. අනතුරුව සිදු වන්නේ අස්නේ නැටීම නම් අවස්ථාවයි. එහිදී ප්‍රධාන යක්දෙවිගුරුන්නන්සේ කවි ගයනා කරන අතර සෙස්සෝ අත්වැල් ඇල්ලීම සිදුකරයි. නර්තනයද මෙහිදී සිදු කරයි. පසුව යක් තුන් පද නැටීම සිදු කරයි. එහිදී ද නැටීමක් සිදු නොවන අතර බෙරවායන් දෙදෙනා බැගින් තම හැකියාවන් ප්‍රදර්ශනය කරයි.
උඩරට නර්තනයේ ඉහලම නර්තනයන් කිහිපයක් අනතුරුව සිදු කරයි. එනම් හත් පද නැටීම නම් අංගය මීලගට සිදු කරනවා. බෙර පද හතක සමගින් නර්තනයේ දීම මෙහිදී සිදු වෙනවා. ඒ පද හත මෙහෙම සදහන් කරන්න පුළුවන්.

  1. මුට්ටි පදය
  2. දුම්මල පදය
  3. මල් පදය
  4. බුලත් පදය
  5. කොතල පදය
  6. සළු පදය
  7. පොල් පදය

පසුව කෙරෙන්නේ බත්මාලාව එහෙම නැත්නම් ගුරුගේ මාලාව කියන අංගයයි. මෙහි නාට්‍යමය අනුස්සරයකුත් තිබෙනවා.

පසුව සිදු වෙන්නේ කතා පහ නැටිමයි. කවි ගායනා කරමින් නර්තනයේ යෙදිමින් මෙම කතා පහ නැටීම සිදු වෙනවා. ඒ කතා පහ මෙලෙස දක්වන්න පුළුවන්.

  1. විජය රාජ කතාව (විජය කුවේණි කතාව)
  2. කුවේණි කතාව (කුවේනියගේ උත්පත්තිය)
  3. පඩුවස් කතාව (දිවි දෝෂය පිලිබඳ කතාව)
  4. දඩු මොනර කතාව (කොහොඹා දෙවියන්ගේ උත්පත්ති කතාව)
  5. සිතාපති කතාව (මලය රජ තුන්කට්ටුවේ උත්පත්ති කතාව )

කතා පහෙන් අනතුරුව සිදු වෙන්නේ දාන පහ නැටිමයි. එනම්

  1. වැදී දානය (වැද්දන් ගැන කියවෙන කතාවක්)
  2. ඌරු දානය (මලය රජු ලංකාවට පැමිණීම ගැන කියවෙන කතාවක් )
  3. දිවි දානය (දිවි දෝෂය ගැන කියවෙන කතාව )
  4. පලවල දානය (මලය රජු ගැන කියවෙන කතාව )
  5. සුරබි දානය (කොහොඹා කංකාරියේ උපත ගැන කියවෙන කතාව)

නටමින් ගයමින් සිදු වෙන මෙම අංගයන් ට අනතුරුව සිදු කරන්නේ දුනු මාලප්පුව නම් අංගයයි. එහිදී මලය රජතුමා ඌරාට විදින්න සැරසුණු ආකාරය නර්තනයෙන් ඉදිරිපත් කරනවා, පසුව කෝල් කඩුව නම් අංගය කොලායුධය නම් දෙවියන්ගේ ආයුධය රැගෙන නර්තනයේ යෙදෙමින් ඉදිරිපත් කරනවා. මෙහිදී කෝල්මුර ගයන ද සිදු කෙරෙනවා.
හැටපස් යාගයේ දීර්ඝතම නර්තනය එළිදැක්වෙන්නේ මිලගටයි. එනම් වට්ටම් 12 කින් වගේම අඩවූ කස්තිරම් රාශියකින් සහ හස්ත මුද්‍රා රාශියකින් යුත් මෙම නර්තනය බොහෝ වෙලාවක් රගදක්වෙනවා පසුව වීර මුණ්ඩ නම් දෙවියන් වෙනුවෙන් යක් දෙස්සන් දෙපස සිට පොල් මල් අතට ගෙන නර්තනයක යෙදෙනවා.. එලෙස පොල් මල ගෙන ගසමින් යෙදෙන මෙම නර්තනයේදී යක් දෙස්සන් දෙපසට ගමන් කරමින් සිදු කරන නර්තනය දැඩි වේගවත් බවක් ගන්නා අවස්තාවන් ද තිබෙනවා.
අනතුරුව සිදු වන්නේ තරමක හාස්‍යයක් සහිත වූ නර්තනාංග කිහිපයක් ඉදිරිපත් කිරීමයි. නර්තනාංග සේ පැවසුවද මේවා රංගනයන් හි ආභාෂයක් තිබෙනවා මෙය යක්කම් පහ නැටීම ලෙස හදුන්වනවා.. එම යක්කම් පහ මෙලෙස හදුන්වනවා.

  1. වැදී යක්කම
  2. නයා යක්කම
  3. ඌරා යක්කම
  4. දර්ශනී යක්කම
  5. මහා යක්කම

පසුව තුන්සරණේ කවි ගායනා කරමින් හත්තාලය නැටීම නම් අංගය ඉදිරිපත් කරනවා.පසුව කවි ගායනා කරමින් ම ප්‍රධාන යක්දෙස්සා විසින් මුලදී සිටුවනු ලැබූ කප ගලවනවා. පසුව සිදු කෙරෙන විශේෂ පුජාවක් වන්නේ කඩවර පිදීමයි. මෙහිදී ගායනා කරන කවි වල රසවත් භාවය ඔබ අසාම දැනගන්න. මෙහිසී සිදු කරන්නේ කඩවර දෙවියන් උදෙසා බත් සහිත පුජාවක් පුජා කිරීමයි. කඩවර ගොටුව නමින් සාදන මෙය ආතුරයාගේ ඔලුවේ තියාගෙන කඩවර කවි කියමින් සෙත් කරමින් නර්තනයේ යෙදෙනවා.

සෑම කංකාරි මදුවකම තියෙනවා පොඩි ගබඩාවක්. කන්කාරියට අවශ්‍ය හාල් පොල් , පොල් මල් ඇතුළු හැම දේම වගේ තියෙන්නේ ඔය ගබඩාවේ ඇතුලේ තමයි. ප්‍රධාන යක් දෙවි ගුරුන්නාන්සේ වීරමුණ්ඩ දෙවියන්ගේ වෙස් අරගෙන ගබඩාව කොල්ල කන ආකාරයක් නාට්‍යමය අනුසාරයෙන් රග දක්වනවා. අනතුරුව සෙසු යක් දෙස්සනුත් ගබඩාවේ ඇති දේ බෙදා ගත පසු ගබඩාවට ගිනි තබනවා.පසුව සිදු වන්නේ කොහොඹා දෙවියන්ගේ උත්පත්ති කතාව ගායනයෙන් සහ නර්තනයෙන් ඉදිරිපත් කිරීමයි. දැන් පැමිණ සිටින්නේ කංකාරියේ අවසානය පෙනෙන දුරකටයි. මුව මල පිදීම නමින් අංගයක් මීලගට සිදු වෙනවා. එනම් කංකාරි මඩුව ඉදි කරද්දී අයිලයේ පිටිපස්සේ මුව සහිත කෙසෙල් ගසක් සිටුවන බව පැවසුවා ඔබට මතක ඇති. ඒ කෙසෙල් මුවට ඊතලයකින් විදලා මුව කඩාගෙන මුව පතුරු ගසමින් අයිලයට උඩින් විසි කරමින් නර්තනයක යෙදෙනවා. පසුව සිදු වන්නේ මරා පද නැටීම නමින් හදුන්වන අංගයයි. ප්‍රධාන යක්දෙවී ගුරුන්නාන්සේ මාරා පදය සහ ආලත්ති පදය කියන පද දෙකට රංගනයක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ කංකාරිය ඉවරි කියල තුන් පාරක් කියල ප්‍රධාන බෙර ගුරුන්නාන්සේ එහෙම නැත්නම් ප්‍රධාන බෙරවායා ඉදිරිපත් කරන බෙර පදයෙන් කංකාරිය අහවර වෙනවා. ඊට පස්සේ සහභාගී වුනු යක්දෙස්සන් බෙරවායන් එකිනෙකාට ආචාර කරගන්නවා.

ඔන්න ඔහොම තමයි හැටපස් යාගයක් පවත්වන්නේ. බොහොම භාරදුර කාර්යයක් . මෙම විශිෂ්ට ජාතික උරුමය රැකගන්න අපේ උඩරට නර්තන ශිල්පි පරපුර ඉටුකරන මෙහෙවර අපි කෘතවේදීව සිහිපත් කලයුතු වෙනවා. නාවලපිටිය ප්‍රදේශයේ උදවියට නම් මේ ලගදිත් කොහොඹා කන්කාරියක් බලාගන්න අවස්තාවක් තිබුනා. නාවලපිටිය-රඹුක්පිටිය ප්‍රදේශයේ පැවැත්වුනා දැන් මාස හත අටකට කලින් කොහොඹා කන්කාරියක්. බලන්න බැරි උනා නම් කියන්න තියෙන්නේ කොහොඹා කන්කාරියක් වත් බලන්න තරම් පිනක් කරලා නැහැ කියල තමයි.
ආයුබෝ වේවා
කල සෙත උතුම් වේවා……………..
දෝස දුරු වේවා
සක්‍ර මහ බඹු ආයුබෝවා……………

 

මෙහි සදහන් සියලු විස්තර ගොඩක් මහන්සි වෙලා පොත්පත් කියවලා කන්කාරියක් කරපු තැනක දවස් 3 ක් එකදිගට රැයක් දවාලක් නැතුව බලාගෙන ඉදල සොයාගත්ත තොරතුරු. ඒ නිසා උපුටා ගන්නවනම් එය ගෞරවනීය ලෙස සිදු කරන මෙන් ඉල්ලා සිටිනවා, මගේ පොස්ට් එක වෙන group වල තමන්ගේ නමින් පළකිරීමෙන් වලකින මෙන් ඉල්ලාසිටිනවා.

මෙහි ඇති සියලු චායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද චායාරූප වේ*

 

Author – Sameera Wijethunghe

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!